චීස්වලින් රසැති කෑම

අගෝස්තු 26, 2020

 

බොහෝ දෙනෙක් රස බලන්න කැමැති මින් පෙර රස නොවිඳී අලුත් ආහාර වර්ගයි. එවැනි ආහාර වර්ග අමුත්තන්ට පිළිගන්වන්නත් කදිමයි. චීස් කියන්නේ ඕනෑම ආහාරයක් රසවත් කළ හැකි අමුද්‍රව්‍යක්. ඒ නිසාමයි චීස් යොදා ගෙන සැකසිය හැකි ආහාර වට්ටෝරු කිහිපයක් තරුණී පාඨක ඔබට තිළිණ කරන්න හිතුවේ.

චීස් පාන් පිසා, චිකන් චීස් රෝල්ස්, චීස් ස්ටික්ස් සහ චීස් හෑෂ් බ්‍රවුන්ස් වැනි වෙනස්ම විදිහේ ආහාර වර්ගවලින් ඔබේ දෛනික කෑම වේලට වෙනසක් ඇතිකර ගන්න.

 

 

උපදෙස්

විධායක සූපවේදී

සුජිත් ආරියරත්න

 

චීස් පාන් පීසා

CHEESE BREAD

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පෙති 6ක්

බටර් තේ හැඳී 3ක්

මොසරැල්ල චීස් ග්‍රෑම් 100ක්

බැදගත් සොසේජස් හෝ

කුකුළු මස් ග්‍රෑම් 200ක්

රවුම් හැඩයට කපා ගත්

ලූනූ ග්‍රෑම් 50ක්

රවුම් හැඩයට කපා ගත්

මාළු මිරිස් ග්‍රෑම් 50ක්

කපාගත් තක්කාලි පෙති

ග්‍රෑම් 100ක්

කපාගත් බෙල්පෙපර්

ග්‍රෑම් 100ක්

රස පදමට ලුණු සහ ගම්මිරිස්

සාදන ක්‍රමය

මුලින්ම පාන් පෙති කීපයක් සුදානම්කර ගෙන ඒවායේ වාටි ඉවත් කර බටර් ටිකක් තවරා ගන්න.

දැන් මේ පාන් පෙති මත මුලින්ම මොසරැල්ලා චීස් තවරා ගන්න. ඉන්පසු බැදගත් කුකුළු මස් හෝ සොසේජස් ටිකත් පැතලි පෙති ආකාරයට කපා ගෙන මොසරැල්ලා චීස් ඇතිරූ පාන් පෙති මත අතුරන්න.

ඊට උඩින් කපාගත් මාළු මිරිස්, ලූනු, සහ තක්කාලි පෙති දමා සරසා ගන්න. රස අනූව ලුණු, ගම්මිරිස් ඉස අවසානයටත් මොසරැල්ලා චීස් ස්වල්පයක් දමා ගන්න.

ඉන්පසු සෙල්සියස් අංශක180ට කලින් රත්කරගත් උඳුනක විනාඩි 7, 8ක් පුලුස්සා ගන්න.

මේ පාන් පීසාවලට පොඩ්ඩෝ නම් ගොඩක් කැමැති වේවි.

කෑම කන්න හොර ඉස්කෝලේ යන පොඩ්ඩන්ගේ පාසල් ගෙන යන කෑම පෙට්ටියට එකතු කරන්න හොඳම කෑම වර්ගයක් තමයි මේක.

2020/08/26 තරුණි පුවත්පත බලන්න