වර්ෂ 2025 ක්වූ June 30 වැනිදා Monday
දරුවන්ට ආදරේ නම් විවාහයට පෙර රුධිර පරීක්ෂාවක් කරන්න

තැලසීමියා රෝගය යැයි කියූ සැණින් අපගේ මතකයට එන්නේ තැලසීමියා පොරොන්දමයි. කේන්දරවල පොරොන්දම් ගළපනු වෙනුවට තැලසීමියා රෝගය සඳහා රුධිර පරීක්ෂාව සිදුකරමින් තැලසීමියා පොරොන්දම ගළපා ගැනීමේ වැදගත්කම දිනෙක අවබෝධ වනුයේ ඔබේ දරුවන්ට ඉන් වන්දි ගෙවීමට සිදු වූවෝතිනි.
තම දියණිය අනාගතයේ නිරෝගී මවක් ලෙස ජීවිතය පවත්වාගෙන යනු දැකීමට කැමැති නම් තැලිසීමියාව සඳහා වූ රුධිර පරීක්ෂාව කිරීමට පසුබට නොවන්න. හිරණ්‍යාත් සේමිතත් මේ පිළිබඳ උනන්දු වූයේ ඒ නිසාමයි.
තැලසීමියා යනු උපතින් ඇතිවන ලේවල අසාමාන්‍යතාවකි. මේ අයට කිසිදු රෝග ලක්ෂණයක් පහළ නොවේ. හඳුනාගත හැකි වන්නේ රුධිර පරීක්ෂාවකින් ම පමණි. බොහෝවිට වෙනත් රෝගයකට සිදුකරන රුධිර පරීක්ෂාවක දී මෙම රෝග තත්ත්වය ඇති බව නිරීක්ෂණය වේ.
සුළු තැලසීමියා රෝගීන් ඊළඟ පරම්පරාවට රෝගය ව්‍යාප්ත කරන වාහකයන් වෙයි. මෙවැනි දෙදෙනකු අතර සිදුවන විවාහයකින් ඇතිවන දරුවන්ගෙන් සමහරකුට පමණක් රෝග ලක්ෂණ සහිතව මහ තැලසීමියාව සෑදිය හැකිය.
යම් පවුලක මව සහ පියා තැලසීමියාව රෝග වාහක දෙදෙනකු නම් ඔවුන්ගේ දරුවන්ගෙන් සියයට 50කට සුළු තැලසීමියාව ඇති වීමේ සම්භාවිතාවක් ඇත. ඒ හැර එසේ උපදින දරුවන්ගෙන් සියයට 25කට මහ තැලසීමියාව ද ඉතිරි සියයට 25 ම නිරෝගී වේ.
මහ තැලසීමියාව
සුළු තැලසීමියාව ඇති මව්පියන්ගෙන් මෙය ඇති වීමට බොහෝ ඉඩ ඇත. මෙකී දරුවන්ගෙන් සියයට 25කට මහ තැලසීමියාව සෑදීමේ ප්‍රවණතාවක් ඇත.
විවාහ වීමට පෙර රුධිර පරීක්ෂාව
ආසියාතික රටවල බහුලව ඇති ජානමය රෝග තත්ත්වයක් වන තැලසීමියාව ගැහැනු අයකුට සාපේක්ෂව පිරිමි අයකුට සෑදීමේ සම්භාවිතාව වැඩිය. නමුදු දරුවකුට සෑදීමට මව පියා දෙදෙනාටම තැලසීමියා රෝග තත්ත්වය තිබිය යුතුවේ.
රුධිර පරීක්ෂාවක් සිදු නොකර පවුල්වල ඥාති සබඳතා මත විවාහ වන යුවළවලට මෙම රෝග තත්ත්වයන් සෑදීමේ සම්භාවිතාව ඉතා වැඩිය. දැන් දැන් ලංකාවේ සෑම පළාතකම තැලසීමියා රෝග තත්ත්වයන් හඳුනාගත හැකි අතර වයඹ, උතුරු මැද, මධ්‍යම පළාත්වල බහුල ලෙස ව්‍යාප්තව ඇත.
මෙය බෝවන රෝගයක් නොව පරම්පරාවෙන් පරම්පරාවට මවුපියන්ගෙන් දරුවන්ට උරුම වන රෝගයකි. මව්පියන්ගේ රුධිරයේ ඇති අසාමාන්‍ය තත්ත්වයක් නිසා දරුවන්ට මෙම රෝගය උරුම වෙයි. සුළු තැලසීමියාව සහ මහ තැලසීමියාව ලෙස තැලසීමියා රෝගය ප්‍රධාන කොටස් දෙකකි.මේ රෝග තත්ත්වය නිසා රෝගීන්ගේ රතු රුධිර සෛල අකාලයේ විනාශ වෙයි. මාස තුන, මාස 18 අතර කාලයේ මෙකී රෝග ලක්ෂණ පහළ වේ. හඳුනාගත් රෝගී දරුවන්ට නිසි ප්‍රතිකාර නොකළහොත් කුඩා කාලයේදීම දරුවා මියයයි.
රෝග ලක්ෂණ
* අකාලයේ රතු රුධිර සෛල විනාශවීම නිසා සුදුමැලි වීම සහ ඇස් කහපාට වීම
* ශරීරයේ වැඩීම නිසි පරිදි සිදු නොවීම.
* නිතර නිතර ආසාදන රෝගවලට ලක්වීම.
* ප්ලිහාව හා අක්මාව ඉදිමීම නිසා උදරය ඉදිරියට නෙරා ඒම.
ප්‍රතිකාර
සුළු තැලසීමියාවට ප්‍රතිකාර අවශ්‍ය නැත. එය එතරම් හානිකර ද නැත.
* මහ තැලසීමියාවට මසකට වරක් පමණ රුධිරය ලබාදිය යුතුය.
* ශරීරයේ තැන්පත්වන යකඩ ඉවත් කිරීම සඳහා ප්‍රතිකාර අවශ්‍ය වේ.
* ප්‍රතිශක්තිකරණය සැපයිය යුතු වේ.
රෝගය වළක්වා ගන්නට නම්
බටහිර රටවල බොහෝ විට සිදු කරන පරිදි අනිවාර්යයෙන්ම රුධිර පරීක්ෂාවක් දෙදෙනාම කළ යුතුය. මෙය ආදර සබඳතාවල දී කිරීමට මැළි බවක් මානුෂිකව සිතුණත් අඩුම තරමේ යෝජිත විවාහ කටයුතුවල දී හෝ එම විවාහයේ දෙපැත්ත ගැළපේ නම් රුධිර පරීක්ෂාවකට යොමු කිරීම ඉතා කාලෝචිතය.
මෙය සාමාන්‍ය රුධිර පරීක්ෂාවකි. ඒ සඳහා වැය වනුයේ අඩු මුදලකි. එකම පවුලට අයත් ලේ නෑයන් නම් අනිවාර්යයෙන්ම රුධිර පරීක්ෂාවක් කරගන්න. තැලසීමියා රෝගීන් දෙදෙනකු අතර විවාහ කටයුත්තක් සිදු වූයේ නම් දරුවන් සෑදීම පිළිබඳ දෙවරක් හිතන්න.
තැලසීමියා වාහකයකු නම්
ඔබ තැලසීමියා වාහකයකු දැයි සැක හැර දැනගැනීම ඉතා වැදගත් වන්නේ තැලසීමියා වාහකයකු ගේ දරුවන්ට දරුණු රුධිර රෝගයක් වන මහ තැලසීමියාව ඇති විය හැකි බැවිනි.
තැලසීමියා වාහකයකු හඳුනාගන්නේ කෙසේද?
ඒ සඳහා රුධිර පරීක්ෂාවක් කරගත යුතුමය. ඔබේ රතු රුධිර සෛල ප්‍රමාණයත් රුධිරයේ ඇති හිමොග්ලොබින් ප්‍රමාණයත් යන කරුණු සැලකිල්ලට ගෙන එය සිදුකිරීමට පරිණත වෛද්‍යවරයාට පහසුය. රතු රුධිරාණුවල තිබිය යුතු හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වීමෙන් ලේවල තිබිය යුතු රතු පැහැය අඩුවී යයි. මෙය රක්තහීනතාවයි.
තැලසීමියා වාහකයකු රෝගියෙක් ද?
නැහැ. ඒ නිසා ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නැත.
තැලසීමියා වාහකයකු වෙනත් රෝගවලට ගොදුරු වනවා ද?
නැත
තැලසීමියා වාහකයකු කායික හෝ මානසික රෝගියෙක් ද?
නැත.
ප්‍රතිකාර මඟින් තැලසීමියා වාහක තත්ත්වය මඟ හරවා ගත හැකි ද?
නොහැකිවේ. උපතින්ම තැලසීමියා වාහකයකු වුවහොත් එය ජීවිත කාලය පුරාවටම පවතී.
තැලසීමියා වාහක තත්ත්වයේ පවතින අයෙක් මහතැලසීමියා තත්ත්වයට හැරෙන්න පුළුවන්ද?
කොහෙත්ම නෑ.
රාජ්‍ය අනුග්‍රහයෙන් හෝ පුද්ගලික මට්ටමින් අවුරුද්දක් සම්පූර්ණ වූ සෑම දරුවකුටම තැලසීමියා පරීක්ෂාවක් කරන්නේ නම් ඔහු හෝ ඇය විවාහ වන කාලයේදී ඔවුන් ඒවා ගළපා විවාහ වනු ඇත. එය අපේ රටේ මෙවැනි රෝග නැති කිරීමට ඇති එකම විසඳුමයි.
උපදෙස්
ආයුර්වේද විශාරද පණ්ඩිත
විශේෂඥ වෛද්‍ය මානව උපදේශක වෛද්‍ය
සුදත් ගුණතිලක