අරවින්දගේ ප්ලැටෝනියානු ප්‍රේමය

(Platonic Love)-බතී
අප්‍රේල් 21, 2025

'සබීතා’ චිත්‍රපටයේ විසේකාර තරුණියකගේ චරිතයක් නිරූපණය කරමින් 80 දශකය ආරම්භයේදී සිනමාවට පිවිසෙන සබීතා පෙරේරා කෙරෙන් දිස්වූ උතුරා ගිය භද්‍ර යෞවනයේ පිළිබිඹුව නිසා එදා ජනප්‍රිය සිනමාවට ඇය අවශ්‍යම නිළියක් විය. ඒ අනුව මල් ගස් වටේ පෙම් ගී ගයමින්, නටමින් ප්‍රේක්ෂකයා ආනන්දයෙන් මත් කළ

සබීතාට චරිතාංග නිළියක ලෙස ස්වකීය කුසලතා විහිදුවන්නට හැකි වූ චිත්‍රපටය තිස්ස අබේසේකර අධ්‍යක්ෂණය කළ විරාගය යි.

මාර්ටින් වික්‍රමසිංහගේ නවකතා අතර බෙහෙවින් විවාදයට තුඩු දුන් ‘විරාගය’ නවකතාවේ අරවින්දගේ ජීවිතයට බලපෑ ප්‍රබල චරිතය බතීය. එම චරිතය රඟපාන්නට සබීතා ලැබූ වරම ඇගේ නිළි ජීවිතයේ ජයග්‍රහණයකි. පියාගේ මරණින් පසු මේනකාගේ අධික වස්තු තණ්හාව නිසා, අරවින්ද තම උපන් ගෙය හැර ගොස් හුදෙකලාව වෙසෙයි. එහිදී

ඔහු බතී නමැති පුංචි දැරිවියකට කෑම බීම ඉඳුම් හිටුම් දී තම නිවෙසේ නතර කොටගෙන දරුවකු ලෙසින් ඇතිදැඩි කරමින් සතුටු වූයේය. එහෙත් අරවින්දගේ එම සද්්භාවය ගම්මුන්ගේ ඕපාදූපවලට ගොදුරු වූ අතර ඊට අම්මා, අක්කා ඇතුළු පවුලේ සියලු ඥාතීනුද එකහෙළාම විරුද්ධ වූහ . එම විරෝධතා උපේක්ෂාවෙන් දරාගෙන සිටියද බතී නව යොවුන් තරුණියක වූ පසු ජිනදාස නමැති ගමේ තරුණයකුට ආලය කරමින් ලියූ පෙම් කවක් අරවින්දගේ අතට හසුවීමත් සමඟ ඔහු කෝපයට පත්වූයේය. 'බතී ‘ යනුවෙන් අඬගසා ඇය පෙනෙන්නට නොසිටියෙන් අරවින්ද ඇගේ කාමරයට ගිය විට කණ්ණාඩි මේසය මත තිබූ පොතක් ඇතුළත නවා තිබූ ලියුමක් දැක එය දිගහැර බලයි. එහි තිබුණේ

බතී පෙම්වතාට ලියූ කවියකි. ඔහු එය කියවමින් සිටියදී කාමරයට ඇතුළු වන බතී එය දකී.

‘ මට කතා කෙරුවද ,’ ඇය අසන්නේ කෝපයෙනි. ඇගේ දෑස ද කෝපයෙන් දිලිසෙයි. 'කවුද මේ කවි ලිව්වේ?’ අරවින්ද අසන්නේ කෝපයෙනි. ‘මම’ ඇය පිළිතුරු දෙන්නේ කිසිදු ගරුසරුවක් නැතිවය. අරවින්ද අතැති කඩදාසිය දෙස බලමින් ඇය වෙත හෙළන්නේ නොරිස්සුම් බැල්මකි.

‘කවි ලියන්න ඉගෙන ගත්තේ කොහොමද?’

‘මම කවි ලියන්න ඉගෙන ගත්තේ නැහැ.’ ඇය කෝපයෙන් ඔහු දෙස බලයි. ඇය පිළිතුරු දෙන්නේ ද නොරිස්සුම්සහගතවය. ‘ඉගෙන ගන්නේ නැතිව කවි හදන්න බැහැනෙ’. ‘මම කවි පොත් කියවලා කවි ලියන්න ඉගෙන ගත්තා’.

‘කියව තියෙන්නේ වල් කවි පොත්’.

එසේ කියමින් අරවින්ද අතැති කඩදාසිය ඉරා දමයි. ඇය ඉරා දැමූ කඩදාසිය දෙස බලා හිඳී. අරවින්ද නැවතත් කෝපයෙන් ඇය අමතයි.

‘ මීට ඉස්සෙල්ලාත් කවි ලියල තියෙනවද?’ බතී පිළිතුරු නොදී සිටී.

‘මං ඇහුවේ මීට ඉස්සෙල්ලත් කවි හදල ති‍යෙනවද කියල.‘අරවින්ද නැවතත් හඬ නගා අසයි.

‘ ඔව්, දෙතුන් පාරක් හදල තියෙනවා’.

බතීගේ පෙම්වතා ගෙදරට ගෙන්වා කතා කිරීමෙන් පසු අරවින්ද යළිත් ඇය අමතයි.‘ඊයේ ඇවිල්ල ගිය ඩ්‍රැයිවර්ට උඹ ලියුම් ලිව්වද?

‘නැහැ’

‘ඒ මිනිහා ලියුම් ලිව්ව ද? ‘

'නැහැ’ ඇය පිළිතුරු දෙන්නේ මුරණ්ඩු ලෙසය. ‘ඒ මිනිහා උඹ බලන්න ආව ද?

පිළිතුරු දෙනු වෙනුවට ඇය ඔහු දෙස රවාගෙන සිටී. එක්වරම අරවින්ද ඇයට වේගවත් කම්මුල් පහරක් ගසයි. කිසිසේත් බලාපොරොත්තු නොවූ අවස්ථාවක හෙණ පහරක් මෙන් වැදුණු පහරින් ඇය කෝපයෙන් පුපුරයි. ඇගේ දෑස ද කෝපයෙන් ගිනි ගෙන ඇත. ‘පලයන් කාමරයට’

බතී, වහා ගස්සාගෙන කෝපයෙන් පුපුර පුපුරා ආපසු හැරෙයි.

කෙසේ වෙතත් අරවින්ද බතී ජිනදාසට සරණපාවා දුන්නේ රියැදුරකු ලෙස රස්සාව කරගෙන ජීවත්වන්නට මෝටර් රථයක් ද

මිලට ගෙන දී දෑවැද්ද වශයෙන් රුපියල් 500 ක් ද පිරිනමමිනි.

අනතුරුව හුදෙකලාව ජීවත් වූ අරවින්ද දැඩි ලෙස රෝගතූරව සිටින බව අසා බතී, ජිනදාස සමඟ වහා ඔහු සොයා පැමිණෙයි.

ඒ වනවිටත් රෝගාතූරව හඳුනාගත නොහැකි ලෙස කෘෂ වී ඇඳේ වැතිර සිටින අරවින්ද දැක ඇය බලවත් සේ කම්පා වෙයි.

ඔහු අසල දණ ගසාගන්නා ඇය ශෝකයෙන් මෙසේ කියයි.

‘අනේ මහත්තයා මහත්තයාට මෙච්චර අමාරුයි කියල අම්ම මට ලියල එව්වේ නෑ’.

අරවින්ද වේදනාබර දෑසින් බතී දෙස බලා හිඳී.

‘ අපි ආවේ මහත්තය අපෙ අහ එක්ක යන්න. කවුරුවත් ඕනෙ නැහැ’ ඇය සෙමින් ඉකි ගසයි. ‘මගේ මේ අත් දෙකෙන් මට පුළුවන් මහත්තයාව බලාගන්න’ ඇය යළි ඉකි බිඳිමින් කියයි. අරවින්දගේ මුහුණේ නැඟෙන්නේ සතුටු සිනහවකි.

‘බතී මොකටද කරදර වෙන්නේ. මං වැඩි කලක් ජීවත්වෙන එකක් නෑ. ඒ ටිකත් ඔය විදියට ගෙවිල ගියදෙන්‘ ඔහු කියන්නේ ආත්මානුකම්පාවෙනි. එසේ වුවද ඔහුගේ දෙතොලේ ඇත්තේ බතීගේ

දයාවෙන් උපන් සොම්නස්සහගත බවකි.

‘අනේ මහත්තයා බලාගන්න එක මට කරදරයක් නෙවි සතුටක්...මහත්තයා අපට කළ උදව් උපකාර ජාති ජාතිවත් ගෙවලා ඉවර

කරන්න බැහැ’. ඇය යළිත් ඉකි ගසයි. අරවින්දගේ දෙතොලේ නැඟෙන්නේ සතුටු සිනහවකි. යළි ජීවත්වීමේ ශ්‍රද්ධාව ඇති කරන්නට බතීගේ ඒ වචන ඔහුට හොඳටම

ප්‍රමාණවත්ය. ජිනදාස සමඟ අරවින්ද ගෙදරට රැගෙන යන බතී ඔහුට ඇපඋපස්ථාන කරන්නේ මවක මෙන් සෙනෙහසිනි. ඇඳේම සිටියදී ඔහුගේ ඇඟපත තෙත මාත්තු කොට හැඳ සිටින පරණ ඇඳුම් ද උනා අලුත් ඇඳුම් අන්දවා ජිනදාස ලවා ඔසවාගෙන ගොස් මිදුලේ

හාන්සි පුටුවක හිඳුවා තබයි. අසීමිත සෙනෙහසින් සහ දයාබරිතව බතී ගෙන් කෙරෙන හෙදකම්වලින් යළි ජීවය ලබන අරවින්ද මෙසේ උදම් අනයි.

‘’නොතිත් ආශාව දැන් මගේ ශෝකයට නොව සොම්නසට හේතු වෙයි. මගේ ආත්ම විශ්වාසය නැති විය. මගේ ලෙඩේ සුව නොවෙයි. එහෙත් කරුණාව, දයාව, ඇල්ම ආදී මිනිස් දහමින් නොතොර තැනක ජීවත්වීම නිසා මගේ කලකිරීම දුරු විය’’.

‘විරාගයේ’ අරවින්ද එසේ සොම්නසින් මියයන්නේ බතීගේ ඒ විසල් ආදරය, දයාව සහ කරුණාව මැදය. අරවින්ද සෙ‍වණේ හැදුණු

වැඩුණු බතී ඉහත දැක්වූ ආකාරයට වරෙක ඔහු ඉදිරියේ කෝපාවිෂ්ටව හැසිරුණු අන්දමත් අවසානයේ කරුණවන්ත මවක ලෙස ඔහු රැක බලාගත් ආකාරයත් ප්‍රේක්ෂකයා තුළ පහන් සංවේගයක් දනවන්නට හැකි වූයේ එම චරිතයේ සංකීර්ණතා මැනවින් හඳුනාගන්නට සබීතා පෙරේරා දැක්වූ සමත්කම නිසාය. ඒ

සෑම අවස්ථාවකදීම ඇගේ මුහුණේ පළවූ ඉංගිතයන් බතීගේ චරිතයේ ඇතුළාන්තය වටහා ගන්නට ප්‍රේක්ෂකයා පෙළඹවීමක් විය.

 

 

ගුණසිරි සිල්වා