බිත්ති ඔරලෝසුව හැඩකළ මැයි මල්

අප්‍රේල් 24, 2019

ගහකොළ මලින් ඵලින් බරවන මේ වසන්ත මාසයේ දැකිය හැකි සොඳුරු මලක් තමයි මැයි මල. රතට රතේ ගහපුරාම මලින් බරවන මේ සොඳුරු මැයි මල ඇසුරු කරගෙන අපූරු බිත්ති ඔරලෝසුවක් නිර්මාණය කරගෙන ඇති ආකාරය බලන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය

වෙළෙඳපොළෙන් මිලදී ගත් ඔරලෝසු කටු සහ මැෂිමක්.

පසුබිම සඳහා සදුසු ළා වර්ණයේ, ඝනකම සහිත

කඩදාසියක්.

අඟල් 1/2 පැතලි පින්සලයක්

රතු සහ කොළ ඒ4 කඩදාසි

පේපර් කුවිලිං මෝල්ඩ්

බයින්ඩර් ගම්

ගම් ටේප් ඔතනලද කම්බි

කළු හෝ සුදු ග්ලිටර් අවුට් ලයිනර්

කුවිලිං ටූල් එකක්

බොක්ස් බෝඩයක්

රෙදි පින්තාරු තීන්ත

 

නිර්මාණය සකසා ගන්නා ආකාරය

පළමුව පසුබිම සඳහා තෝරාගත් කොළය ගම් ආධාරයෙන් බොක්ස් බෝඩය මත හොඳින් අලවාගන්න. මෙහිදී නිර්මාණයට පිටතින් අඟල් 02 ක් පමණ ඉඩ තැබිය යුත්තේ රාමුවක් යෙදිය යුතු බැවිනි.

දැන් අප මැයි මල් ටික සකසා ගනිමු. එහිදී ස්වාභාවික මැයි මලේ හැඩය නිරික්ෂණයකර එම හැඩයට පතරොමක් සකසා ගන්න.

ඒ අනුව මල් ගණනට අවශ්‍ය පෙති (05 බැගින්) ටික කපාගන්න. රතු ඒ4 කඩදාසිවලින් මෙවැනි පෙති කොටස් දෙකක් අවශ්‍ය වේ. මෙහිදී එම පෙති දෙකක් මැදට ගම් ටේප් ඔතන ලද කම්බියක් හරි මැදින් තබා ගම්ගා අලවා පෙති ටික සකසාගන්න.

අනතුරුව එම පෙතිවල සැබෑ මලේ ස්වභාවය මතු කිරීමට ෆෝක් ආට් වන් ස්ට්‍රෝක් ක්‍රමය භාවිත කරන්න. එනම් කහ, තැඹිලි එකවර පින්සලට ගෙන වර්ණ ගැන්විම කළයුතු වේ.

මලෙහි ස්වාභාවික පෙනුම වඩාත් ඉස්මතු කිරීම සඳහා නො. 03 රවුම් පින්සල ගෙන කහ සහ දම් පැහැයෙන් තිත් තබාගන්න.

මැද රේණු සැකසීම සඳහා කළු වර්ණයේ ඒ4 කඩදාසි පටියකින් ටයිට් රෝලක් සකසා එයින් 1/2 ක් කපා (මාකිස් හැඩයට) එයට ටේප් ඔතනලද කම්බියක් කෙළවරට දවටාගන්න. දැන් එම කොටස් පහක් පමණ තබා සුදුසු පෙති පහක් තෝරා යටින් කම්බි තදට ඔතාගන්න.

දැන් කොළ සකස් කිරීම සඳහා කොළ වර්ණයේ ළා සහ තද පැහැ ඒ4 කඩදාසි භාවිත කරන්න.

එක් කොළයක් සඳහා පටි භාගයකින් මාකිස් හැඩය සකසා මැදට ගම් ටේප් ඔතනලද කම්බිය භාවිතයෙන් කොළ ඉති සකසාගන්න.

මල් පොහොට්ටු සඳහා තද කොළ පැහැ පටි 06 ක් පමණ දිගට අලවා ටූල් එක ආධාරයෙන් ටයිට් රෝලක් සාදාගන්න.

එය පේපර් කුවිලිං මෝල්ඩ් එකට දමා ගැඹුරු හැඩයක් සකසා ගම් ආලේපකර වියළෙන්නට තබන්න. දැන් එහි මනි පත්‍ර සැකසීම සඳහා පටි තුනක් මෙහි පෙනෙන ආකාරයට සකසා මැදට කම්බියක් දමාගන්න.

මෙලෙස පොහොට්ටු කීපයක් සකසාගන්න. බාගෙට පිපුණු මල් සඳහා ද මේ මනිපත්‍ර කොටස් මැදට අඩක් නවන ලද පෙති කිහිපයක් සකසාගන්න.

අවසානයේ අපි බොක්ස් බෝඩයට අලවනලද කොටස ගෙන එහි අදාළ ස්ථානයේ ක්‍රීම් වර්ණයේ සෙන්ටිමීටර් 12 විශ්කම්භය සහිත වෘත්තයක් කපා අලවන්න. එහි ඔබ කැමැති පරිදි රෝම ඉලක්කම් හෝ ඉලක්කම් අවශ්‍ය පරිදි සටහන් කරන්න. පසුව එම ඉලක්කම් මත ග්ලිටර් අවුට්ලයින් භාවිතයෙන් මතු කර හොඳින් වියළාගන්න. එහි හරි මැද සලකුණු කරන්න.

දැන් ඔබ කැමැති පරිදි කලින් සකසාගත් කොළ කොටස් ගැළපෙන පරිදි සකසා රටාවකට තබා ගම් ආධාරයෙන් ඒමත අලවාගන්න. පසුව මල් ද සුදුසු පරිදි යොදාගන්න. පොහොට්ටු ද ඒ අතරින් පතර යොදන්න. අවසානයේ ඔරලෝසුවේ කටු සහ මැෂිම කොටස සවිකර රාමුවක් යොදා හැඩ වැඩ කරගන්න.

 

ඉදිරිපත් කිරීම

ජාත්‍යන්තර ෆෝක් ආට් සහ පේපර් කුවිලිං නිර්මාණ ශිල්පිනී

ඉරේෂා චතුරානි විජේසූරිය