නත්තල් සාදයට සැරසෙන්න කදිම බ්ලවුසයක්

නොවැම්බර් 20, 2023

දින දසුනේ දවස් ගෙවී යමින් තවත් වසරක නිමාව අත ළඟ. ඒත් එක්කම උත්සව, පුංචි පුංචි සාදවලට ලැබෙන ඇරයුම්වලින් නම් අඩුවක් නැතිව ඇති. මේ නත්තල් කාලේ වැඩිපුරම හැඩවෙන්නෙත් අපි අවට පරිසරයේ වැඩියෙන්ම දකින්න ලැබෙන්නෙත් රතු පැහැයයි. ඉතින් ඔබත් මෙවැනි රතු පැහැති බ්ලවුසයකින් හැඩ වී සාදයට සහභාගී වන්න. හැමෝගෙම ඇස ගැසෙනා නත්තල් කුමාරි ඔබයි.

 

මේ සඳහා අවශ්‍ය මිමි

*උරහිස අඟල් 16

* කරවට අඟල් 15

* ඉණ දක්වා උස අඟල් 15

* උස අඟල් 26

* පපුවවට අඟල් 39

* ඉණවට අඟල් 34

* උකුළවට අඟල් 40

* අත උස අඟල් 12

* කැප් උස අඟල් 4

* අත අගවට අඟල් 7

* පතරොමේ අත්කට අඟල් 10

 

රෙදි කපා ගැනීම

බ්ලවුසය සාදා ගැනීම සඳහා නැම්මට තබා ගන්න. නැම්ම රේඛාවට ඉහළින් උරහිස රේඛාව අඳින්න. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2 ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4ක් පහත්කර A ලක්ෂ්‍යය යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න. අවශ්‍ය ගැඹුර ගෙන කර පළල වැඩිකර කර අඳින්න.

E සිට පහතට ඉණ දක්වා උස හා සම්පුර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා උරහිස ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.

 

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි හා බුරුල සඳහා එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

 

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා හා මැහුම් වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ.

උකුළවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි එකතුකර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය J K වේ.

 

GI K යාකර අංශය අඳින්න.

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

 

පසුපස

පසුපස සඳහා ද නැම්මට තබාගන්න. ඉදිරිපස පතරොම ගාණට තබා පසුපස කර ගැඹුර අඟල් 1 1/2ක් පහත්කර කපාගන්න .

 

අත

අත සඳහා රෙදි කොටස නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මේ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය AB වේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කරන්න. එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාවයි. වාටිය රේඛාව සඳහා මැහුම් වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය AD වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණුකර අත්කට වක්‍රය අඳින්න. අතඅගවට ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතුකර වාටිය රේඛාවේ හරහට ලකුණු කරන්න. එය B E වේ. ED යා කරන්න. E සිට පිටතට රැලි සඳහා අවශ්‍ය ප්‍රමාණය ගෙන Dට යා කරන්න.

 

මැසීම

උරහිස මසන්න.

අත අග විවරය මසා අත අග රැලිකර පටිය අල්ලා ගන්න.

අත අල්ලා ගන්න.

අංශය මසන්න.

වාටිය මසන්න.

 

උපදෙස් -

මැහුම් නිර්මාණ ශිල්පිනී

දිලූෂි දසනායක