ඔබේ ගැටලුවට අංක විද්‍යාවෙන් පිහිට

ජනවාරි 8, 2024

 

ගත වී යන, උදාවන හැම තත්ත්පරයකම වටිනාකමක් රැඳෙනවා. ඇත්තෙන්ම අද දවස වගේම හෙට දවසත් හිතට ගෙන දෙන්නේ නැවුම් බලාපොරොත්තු. ඔබ ඒ පැතුමන්, අරමුණු එකිනෙක ජයග්‍රහණය කරගන්න නොකරන දෙයක් නැහැ නේද? ඇත්තටම අනාගතයේ වෙන්නෙ මොකක්ද? කොහොමද වෙන්නෙ කියලා දැනගන්න කාගෙ කාගෙත් යටි සිත උනන්දුයි.

 

මේ කාරණාවේදී ජ්‍යොතිෂයෙන් ලැබෙන පිටිවහල අතිශය වැදගත්. ඒත් හැමෝටම කේන්දරයක් එහෙමත් නැත්නම් හඳහනක් නැහැනෙ. හඳහනක් නැතත් දැන් අංක විද්‍යාව තුළින් අනාගතයට මොකද වෙන්නේ කියලා කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාටත් අනාගතය ගැන, අධ්‍යාපනය ගැන, පවුල් ජීවිතය ගැන විවිධ ගැටලු ඇති. තරුණී අප ඔබේ ගැටලුවලට අංක විද්‍යාව තුළින් විසඳුම් ලබා දෙන්න සූදානම්.

අපේ ලිපිනය... අංක විද්‍යාවෙන් පිහිට,

තරුණී, ලේක්හවුස්,

කොළඹ - 10.

 

 

ඔහු මාගේ සහකරු වීමට සුදුසු ද?

ප්‍රශ්නය

මා වයස 26ක අවිවාහක යුවතියක්. පෙම්වතුන් කිහිප දෙනකු සිටියත් ඒවා විවාහය දක්වා රැගෙන ගියේ නැත. උපාධියක් හිමි මාහට විවාහ යෝජනා කිහිපයක් ආවත් මා නිතර ආදරයෙන් පැරදුණු අයෙක් නිසා ඒවාට පිළිතුරක් නොදී තවත් සිතමින් සිටිමි. නමුත් ඉන් එක් අයකු ගැන මා සිතේ පැහැදීමක් ඇත. මා ජ්‍යොතිෂය සහ අංක විද්‍යාව විශ්වාස කරන අයෙකි. ඒ නිසා මාගේ මේ ගැටලුවට පිළිතුරක් බලාපොරොත්තු වෙමි. මම 1996. 11. 22 උපන් අයෙක්මි. ඔහු 1992. 04. 06 උපන් කෙනෙකි. ඔහු හා මා විවාහයට සුදුසු ද? නුසුදුසු නම් ඊට කළ යුතු යමක් තිබේ ද?

ගම්පොල- ඉෂානි

 

පිළිතුරු

 

ඔබගේ උපන් දිනයට අනුව ඔබේ ලැබීම් තරමක් ප්‍රමාදය. ඔබ සමාජය සමඟ එතරම් ගැටීමට කැමැති අයෙක් නොවෙයි. ඔබ හැමදෙයක් දෙසම වෙනස් ආකාරයට බලමින් පවතින ක්‍රමය වෙනස් කරන්න හදන කෙනෙක්. මිතුරන් ඉතාම අඩුයි. ඔබට ඕනෑම තැනකදී මුල් තැන ලැබීමත් අඩුයි. මොකද ඒ තැනට ඔබ එනවට අනෙක් පිරිස් එතරම් කැමැත්තක් නොදක්වයි. ඔබ වේගවත් වගේම තම මතයට පමණක් වැඩ කරන කෙනෙක්. යම්කිසි දේක අනන්තයටම යන කෙනෙක්. දෙයක් කරන්න හිතුවොත් එය කරලමයි නවතින්නේ. අහංකාරයි. වචන සැරයි. ඒ නිසාම කෙනකුගේ හිත දිනාගන්න අමාරුයි. නමුත් අසරණ අය වෙනුවෙන් පෙනී හිටින්න, කැපවෙන්න සූදානම්. කල්ලි ගැහිලා උද්ඝෝෂණ, කට්ටිය රැස් කරගෙන ලොකු අයට විරුද්ධව කැරැලි ගහන්න දක්ෂයි. උගත්කමට අනූව ඉහළට යා හැකියි. පොත පත ඇසුරෙන් කෙරෙන රැකියා, ගුරු වෘත්තිය, නීති අංශයේ රැකියාවලින් ඉහළටම යන්න පුළුවන්.

ඔබ හිතගිය සහකරු ගැන කිව්වොත් ඔහු උපතින්ම වාසනාව ලද අයෙක්. කා සමඟත් මිතුරු, ඕනෑම අයෙකු සමඟ ඉක්මනින් මිතුරු වෙන ආදරණීය චරිතයක්. සිකුරු ග්‍රහයා නියෝජනය කරයි. ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව කා සමඟත් මිතුරුයි. ආකර්ෂණය උපතින්ම හිමියි. ජීවිතය විඳින්න කැමැති, ලස්සනට අඳින්න කැමැති කාල බීලා විනෝදෙන් ජීවත් වෙන කෙනෙක්. එසේ වුණත් ඔහුගේ දෛව අංකය අංක 4 වීම නිසා යම්කිසි බාධා මැද තමයි ජීවිතය ගෙනියන්නේ. නමුත් උත්සාහයෙන් ජයගත හැකියි. මේ දෙදෙනා අංශ දෙකක් නියෝජනය කරන දෙන්නෙක්. දෙදෙනා එක පවුල් කුටුම්බයක් තුළ ජීවත්වෙන කොට මතුවෙන ප්‍රශ්න වැඩියි. අදහස් පරස්පරයි. ගැළපෙන ප්‍රමාණය අඩුයි. එහෙත් ගළපාගෙන යා යුතුයි. බාධාවලට මුහුණ දෙමින් යන ගමනක් තමයි ඔබ දෙපළට තියෙන්නේ. හිත්‍ රිදුම්, නොරිස්සුම් ඇතිවෙනවා. ඉවසීම දෙදෙනා තුළම ඇතිකරගෙන විවාහ ජීවිතය බාධා මැද ජය ගන්න පුළුවන්. හිත තමයි ශක්තිමත් විය යුත්තේ. පිරිමි කෙනාට ගොඩක් ඉවසන්න වෙනවා.

 

 

උපදෙස් -

ප්‍රවීණ අංක විද්‍යාවේදිනි

ලක්ෂි පුෂ්පලතා පෙරේරා