ප්‍රධාන උළුවස්සෙන් නිවෙසට වාසනාව කැන්දන නිවැරැදිම ක්‍රමය

අප්‍රේල් 1, 2024

නිවෙසකට සිිරිකත කැන්දන්නේ ප්‍රධාන දොරටුවෙනි. එනම් ඕනෑම නිවෙසකට වාසනාව කැන්දන්නේ ප්‍රධාන උළුවස්ස නිවැරැදි ලෙසින් ස්ථානගත කිරීමෙන් බව වාස්තු විද්‍යාෙව් පැරැණි ග්‍රන්ථයන්හි සටහන්ව තිබේ. මෙය වාස්තු විද්‍යාත්මකව පමණක් නොව නවීන තාක්ෂණයේ ගෘහ නිර්මාණ ශිල්පයේ පවා හොඳින්ම සඳහන්ව ඇත.

 

ප්‍රධාන උළුවස්ස නිවෙසක ප්‍රධානතම මෙන්ම විශේෂිත වූ අංගයකි. මෙය ස්ථාපනය කිරීම ගෘහ මූලිකයාට සුබසෙත ළඟා කරන විශේෂිත වූ ධන මුහුර්තයකට අනුව සකස් කිරීම වාස්තු විද්‍යාඥයකුගේ වැදගත්ම කාර්යයකි.

 

නිවෙසේ ප්‍රධාන උළුවස්ස ගෘහ මූලිකයා නියෝජනය කරන අතර පෑළදොර හෙවත් මුළුතැන්ගෙයි දොර නියෝජනය කරන්නේ ගෘහිණියයි. මෙම ප්‍රධාන උළුවස්ස, පෑළදොර මෙන්ම අනෙකුත් දොරවල් සංඛ්‍යාව අනුව අදාළ ගෘහය වර්ග කිරීම කරනු ලබයි. මෙය වාස්තු විද්‍යාවේද ෂෝඩෂ ගෘහ වර්ගීකරණය ලෙස සඳහන් වේ. ෂෝඩෂ යනු 16 යන අර්ථයයි. ඒ අනුව මෙය ප්‍රභේද 16කට වෙන් කරන අතර ෂෝඩෂ ගෘහ නාම ලෙස

1. ධ්‍රැව 2. ධාන්‍ය 3.ජය 4. දුර්මුඛ 5.ඛර 6.කාන්ත 7.මනෝහර 8. නන්ද 9.රිපුද 10.නාග 11.උග්‍ර 12. ධන ද 13.අත්‍රාන්ද 14.සුමුඛ 15.විපුල 16. විජය ලෙස සඳහන් වේ.

 

දිසාවන් 4ම යම් ගෘහයක දොරටු ස්ථාපනයකර ඇතිනම් එය 16 වන විජය නම් වර්ගයට අයත් වෙන අතර එය සුබ වර්ගීකරණයට අයත් හැටියට සඳහන් කරයි. අනෙකුත් නාමයන් ද එම අර්ථයෙන්ම සුබ අසුබ බව සාමාන්‍ය අයෙකුට ද අවබෝධකර ගත හැකි වනු ඇත.

 

මෙහිදී මෙම දිසාවන්ට අදාළ දොරටු සවි කිරීමේදී ගෘහයේ ඒ ඒ දිසාවන්ට පිහිටා ඇති පිටත බිත්ති පාදවලට බෙදා එය සුබ පාදයක පිහිටුවීමට වග බලා ගත යුතු වේ. එම කාර්යය පළපුරුදු වාස්තුවේදියෙකුගේ උපදෙස් මත ඉටුකර ගැනීම ඉතා වැදගත්ම පියවරකි.

 

ප්‍රධාන උළුවස්ස තැබිය යුතු දිශාව තීරණය කළ පසු එම දිසාවේ කුමන ස්ථානයක එය කරන්නේ ද යන්න තීරණය කිරීම ඉතා වැදගත් පියවරකි. මෙහිදී උළුවස්ස තැබිය යුතු තැන් සහ නොතැබිය යුතු ස්ථාන ද හඳුනාගත යුතුය. ඔබ එවැනි නුසුදුසු ස්ථානයක දොරවල් සවිකර ඇතිනම් කලබල විය යුතු නැත. එවැනි දෝෂ උපක්‍රමශීලිව ඔබට ඉවත්කර ගත හැකි වනු ඇත.

 

උපදෙස් -

ධර්මපාල සොන්දප්පෙරුම ආරච්චිගේ

සංහිඳ ජ්‍යොතිෂ හා වාස්තු විද්‍යා පදනම

මඩපාත පාර, කොටගෙදර පිළියන්දල