අංක විද්‍යාෙවන් පිහිට

මාර්තු 25, 2024

 

පුතුගේ විවාහය කෙසේ වේවි ද?

 

ප්‍රශ්නය

මාගේ පුතුගේ විවාහය දිනෙන් දින කල් යන ස්වභාවයක් ඇත. අංක විද්‍යාව තුළින් පුතුගේ විවාහය ගැන තොරතුරු දැනගත හැකි ද? ඔහුගේ උපන් දිනය වන්නේ 1992.06.29 වැනිදා ය.

 

පිළිතුර

 

උපන් දිනයට අනුව ඔබගේ පුද්ගලික අංකය 2වන අතර දෛව අංකය 2 වේ. ඔහු සිතුවිලි සමඟ ජීවත් වෙමින් දෙයක් ගැන හිතමින් නිතරම පසුතැවෙන සෘජු ගතිය අඩු කෙනෙකි. හිත ඇතුළේ ප්‍රශ්න තියාගෙන විඳවමින්, දරාගනිමින්, පසුතැවෙන ගතිය නිසා අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ මඟහැරී යන්න පුළුවන්. මුදල්, දේපළ, ඉඩකඩම්, රන්රිදී ලැබීමේ වාසනාව උපතින් ගෙනත් ඇතත් සිතමින් පසුතැවෙන නිසා ඔහුගේ හැකියාව සැඟවෙන ගතියක්, යටපත් වෙන ගතියක් පේනවා. අනුන්ගේ උදවු නිතරම බලාපොරොත්තු වෙන කෙනෙක්. වෙනස්ම හැකියා, නිර්මාණශීලී හැකියාවන් ඉස්මතු කරගන්න පුළුවන් අයෙක්. නමුත් බරවැඩට කැමති නැහැ. ඔහුගේ විවාහයට 1, 7, 10, 16, 19, 25, 28 යන දිනයන්හිදී උපන් අය වඩා සුදුසු වේ. පොඩි දේටත් මනසින් වැටෙන ගතිය නවත්තලා ඉදිරියට යන්න සියලුම ප්‍රශ්න විසඳේවි. විදෙස් ගතවීමේ භාග්‍ය වාසනාව ඇත.

 

අනාගතය කොහොම ද?

 

ප්‍රශ්නය

මාගේ උපන්දිනය 2000.02.10වන අතර සැමියාගේ උපන් දිනය 1996.10.06 වේ. අංක විද්‍යාවට අනුව අප දෙදෙනාගේ ඉදිරි දියුණුව සහ අනාගතය ගැන දැන ගැනීමට අවශ්‍යයි.

 

පිළිතුර

 

බිරියගේ පුද්ගලික අංකය 1වන අතර දෛව අංකය 5 වේ. ඔබ උපතින් ගෙනා තනි තීරණවලට වැඩකරන ගතිය, කාටත් යටත් නොවෙන ගතිය ඇති ඔබ සුදුසුකම් ඇත්නම් රජයේ හෝ පුද්ගලික අංශයෙන් ඉහළම රැකියාවක් කළහැකි කෙනෙකි. දෛවයෙන්ද ලැබීමේ භාග්‍ය ඇති ඔබ සිතමින් පසුතැවෙන ගතිය මඟහැර ශක්තියෙන් ජවයෙන් ඉදිරියට අරමුණක් ඇතිව යන්න. ඔබ දිනෙක ජය ගන්නවාමයි.

1996-10-06 උපන් ඔබගේ සැමියා හැම දෙයක් ගැනම සැහැල්ලුවෙන්, ආදරණීයව බලන සසර පින් ඇති වැඩිපුර වගකීම්, පවුලේ බර ඔළුවට ගන්න හිතන්නේ නැති, කැපී පෙනෙන යාළු මිත්‍රයන් බොහෝ ඇති එකපාරක් දැකපු කෙනෙක් උනත් බොහෝ කල් දන්නා අයකු සේ ආශ්‍රය කරන විනෝදකාමී අයෙකි. කා අතරත් ජනප්‍රිය කැපිල පේන ගතිය කලාකාමී හැකියාවන් ඇති අයෙකි. ව්‍යාපාරවලට ඉතාම හොඳ කෙනෙකි. සුළුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න. දියුණු වීමේ වාසනාව ඇත. ඉදිරියට යාමේ ශක්තිය ඔබ දෙදෙනාටම ඇත. සසර කුසල් ඇති ඔබ දෙදෙනාට වයස 23, 32, 41, 50, 59, 68, 77, 86 කියන්නේ ජීවිතයේ හොඳම හැරවුම් ලක්ෂ්‍ය වේ. වාසනාව ශක්තිය හොඳින් ඇති ඔබ දෙදෙනාට ධෛර්යමත්ව ඉදිරියටම යා හැකිය. විදෙස් ගතවීමේ භාග්‍යද උපතින් ගෙනත් ඇත, උත්සාහය අත නොහරින්න.

 

 

උපදෙස්

ප්‍රවීණ අංක විද්‍යාවේදිනි

ලක්ෂි පුෂ්පලතා පෙරේරා