උළුවස්ස නිවැරැදිව යෙදීමෙන් නිවෙසට සිරිලිය කැඳවාගන්න

අප්‍රේල් 8, 2024

 

නිවෙසට වාසනාව කැන්දන ප්‍රධානම ප්‍රවේශය වන්නේ මුල් උළුවස්සයි. අපි මෙය ප්‍රධාන උළුවස්ස ලෙසින් ද හඳුන්වමු. නිවෙසක දොර උළුවහු තැබීම කිහිප ආකාරයකින් වැදගත් වේ. නිවෙසට ආලෝකය, වාතාශ්‍රය ලැබෙන්නේ ප්‍රධාන උළුවස්සෙනි. එසේම ඕනෑම නිවෙසකට ප්‍රවේශවීම සනිටුහන් කරන්නේ ද ප්‍රධාන උළුවස්සයි. මේ හේතු නිසා ප්‍රධාන උළුවස්ස තැබීම නිවැරැදි ආකාරයෙන් සිදු කළ යුතු කටයුත්තකි. අපි පසුගිය ලිපියෙන් ඒ බව වඩාත් හොඳින් විග්‍රහ කළෙමු.

 

අප මෙවර සාකච්ඡා කරනු ලබන්නේ ප්‍රධාන උළුවස්ස සකස් කළ යුතු ආකාරය හා එහි උස පළල ප්‍රමාණයයි. වාස්තු විද්‍යාවට අනුව උළුවස්ස තැනීමට බහුලව යොදාගන්නේ වඩු රියනයි. ඒ අනුව උළුවස්සේ උස විය යුත්තේ ගෙහිමියාගේ දකුණු අතේ වැළමිට කෙළවරේ සිට මැදඟිල්ලේ කෙළවර දක්වා වන රියන මෙන් පස් ගුණයකි. සාමාන්‍යයෙන් ගෙහිමියාගේ රියන අඟල් 19ක් ලෙස සලකනු ලබයි. එවිට උළුවස්සේ උස වන්නේ අඟල් 95කි. (19x5) එනම් අඩි 7යි අඟල් 11කි. ප්‍රධාන උළුවස්සේ පළල විය යුත්තේ ලබාගත් උස ප්‍රමාණයෙන් අඩකි. එවිට උළුවස්සේ පළල ආසන්න වශයෙන් අඩි 3යි අඟල් 10කි. ගෙහිමියාගේ උස අනුව ප්‍රධාන උළුවස්සේ උස, පළල මීට වඩා විශාල හෝ කුඩා වීමේ හැකියාවක් පවතියි. කෙසේ වෙතත් නිවෙසක උසට ගැළපෙන සේ ප්‍රධාන උළුවස්සේ උස සහ පළල ගළපා ගැනීම වාස්තු ශිල්පියාගේ වගකීමකි.

මෙලෙසින් උළුවහු තැබීමේ සම්මතය වෙනස් කිරීම නිවෙසට හා නිවැසියන්ට විවිධ කරදර උපද්‍රව පැමිණෙයි. එසේම සොර සතුරු උවදුරු මෙන්ම නිවැසියන්ගේ පිරිහීම ද සිදුවෙයි. එසේම නිවැසියන්ගේ පරම්පරාවම පිරිහීමට පත්වන බව වාස්තු ග්‍රන්ථයන්හි සඳහන්ව තිබේ. එසේම අඩි 7ක් අඟල් 11ක් උස උළුවස්ස තැබීම ද නිෂ්ඵල ක්‍රියාවකි. එයින් නිවෙසේ අලංකාරය ද විකෘති වීමට හේතු වෙයි. මෙවැනි අවස්ථාවලදී විවිධ වාස්තු විද්‍යාත්මක උපක්‍රම භාවිත කරයි. උළුවස්සේ ඉහළ කෙළවරින් අඟල් 9ක් උසට බීරළු, ලූවර් කැටයම් වැනි වෙනත් යමක් යෙදීම නිවෙසේ වාතාශ්‍රයටත් අලංකාරයටත් එක සේ වැදගත් වේ. අප පැරැණි නිවාසවල මෙවැනි උපක්‍රම යොදාගත් අවස්ථා බොහෝ විට දැක තිබේ. මේවා පැරැණි විහාරවල දකින්නට ඇත. සිංහ, ව්‍යාඝ්‍ර ලී කැටයම් ආදියෙන් යුතු දොර, ජනෙල්, උළුවහු අපට දකින්ට ඇත්තේ මෙලෙස උස වෙනස් කිරීම හේතුවෙනි.

 

ප්‍රධාන උළුවස්ස සවි කරන දොර පියන් දෙකකින් යුක්ත විය යුතුය. නමුත් මේ සම්ිමතය වර්තමානයේ වෙනස් වී තිබේ. බහුල වශයෙන් තනි පියනක් සවි කිරීමට බොහෝ දෙනෙකු යොමු වී ඇත්තේ වියදම අවම කර ගැනීමේ අපේක්ෂාවෙනි. මෙලෙස සවි කිරීම ගෘහ නිර්මාණ ශිල්පය අනුව නොගැළපෙන ක්‍රියාවකි. මෙහිදී දොරේ පළල වැඩිවීමෙන් එහි සමබරතාව අඩු වී යයි. එයින් දොර විවෘත කිරීම ද අපහසු වන අතර දොරේ ආතතිය ද වෙනස් වෙයි. එයින් නිවෙස ගෘහමුලිකයාට ද බලපෑමක් සිදුවන අතර භාර්යාවට නැතිනම් ගෘහණියට ද හානියක් සිදුවෙයි. ප්‍රධාන උළුවස්සක් කැටයම් ආදියෙන් සමන්විත වුවත් එයින් නිවෙසේ අලංකාරයට බලපෑමක් නොවන ලෙස එය සවි කිරීම වඩාත් වැදගත්ය. එසේම නිවෙසේ සෙසු දොරවල් ද එලෙසින්ම සකස් කර ගැනීමට ඔබ වගබලා ගත යුතුය.

මංගල ලෙස සම්මත වූ උළුවස්ස තනා ගැනීම සඳහා යොදා ගන්නා දැව වර්ග වාස්තු විද්‍යාෙව් සඳහන් වේ. මෙහිදී දැව කඳන්වල උඩ යට මාරු නොවන ලෙස ගළපා ගැනීම වඩාත් වැදගත්ය. මෙලෙස සකස් කරන උළුවස්ස සඳහා යොදා ගන්නා කඳන් දෙකේ උඩ යට මාරු වී උළුවස්ස තැබීම කළහොත් එයින් බොහෝ විපත් ඇති වේ.

 

 

උපදෙස් -

ධර්මපාල සොන්දප්පෙරුම ආරච්චිගේ

සංහිඳ ජ්‍යෝතිෂ හා වාස්තු විද්‍යාපදනම

මඩපාත පාර කොටගෙදර පිළියන්දල