මැරුණු සම ඉවත් කිරීමට සත්කාරයක්

මාර්තු 4, 2020

ප්‍රශ්නය - මම 31 හැවිරිදි කාන්තාවක්මි. මගේ සම වියළි මැරුණු ස්වභාවයක් ගනී. රූපලාවණ්‍ය ආයතනයකට ගොස් උපදෙස් පැතූ විට ඔවුන් පැවසුවේ මසකට වරක් හෝ මැරුණු සම ඉවත් කරගැනීමට සත්කාර කරන ලෙසය. ගෙදරදීම එය කළ හැකි ක්‍රමයක් තිබේ ද?

වෙන්නප්පුව - චතුමි

පිළිතුර

ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන අතුරු ආබාධයකින් තොරව මැරුණු සම ඉවත්කර ගැනීමට සත්කාර කිහිපයක්ම තිබේ. ඒ සඳහා ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන සැකසූ ෆේස් මාස්ක් එකක් යොදාගන්න පුළුවන්.

ෆේස් මාස්ක් එකක් යෙදීමේ දී පළමුව හොඳින් මුහුණ ක්ලෙන්සර් කර තෙත මාත්තු කරගැනීම ඉතාමත් වැදගත්.

කඩල පිටි, සුදු හඳුන් කුඩු, වෙනිවැල්ගැට කුඩු මාස්ක් එක මෙයට සුදුසුම ප්‍රතිකාරයයි. කඩල පිටි තේ හැඳි 4යි, සුදු හඳුන් කුඩු තේ හැඳි 1 යි. වෙනිවැල්ගැට කුඩු තේ හැඳි 1 යි පීරිසියකට දමා පිරිසුදු ජලය තේ හැඳි දෙකක් පමණ යොදා අනාගන්න.

මිශ්‍රණය තද වැඩි නම් තවත් ජලය තේ හැන්දක් දමා අනාගන්න. ඉන්පසු මේ ආලේපය මුහුණ පුරා හොඳින් තවරා දෙනෙත් පියාගෙන වියළෙන තුරු විනාඩි 20 ක් පමණ ඇඳක් උඩ හාන්සි වී සිටින්න.

භාවිතකර ඉවතලන තේ බෑග් දෙකක් ශීතකරණයේ තබා හෝ පිරිසිදු වතුර පෙඟවූ පුළුන් කැබැලි දෙකක් ඔබේ දෙනෙත මත තබ ගෙන හැකි නම් සුන්දර සංගීතයකට සවන් දෙන්න. ඔබේ මුහුණ පැහැපත් කර ගන්නා අතරේ සිතත් නිදහස් වේවි.

විනාඩි 20 කට පසු මඳ උණුසුම් වතුරින් හොඳින් සෝදන්න. කිසිම විටෙක සබන් හෝ වෙන කිසිවක් දමා සෝදන්න එපා. ඉන්පසු තෙත මාත්තු කරන්න.

කුරුලෑ ආසාදන නැත්නම් පමණක් මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ආලේප කරන්න. මේ ප්‍රතිකාරය මසකට දෙවරක් කිරීමෙන් මැරුණු සම ඉවත්කර ගත හැකි අතරම සම පැහැපත් කරගත හැකියි.

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

මනෝරි ජයවීර