දෑත් දෙපා සරසන ලස්සන නිය පෙළක්

ජුනි 12, 2023

 ලස්සන නිය පෙළක් කාන්තා දෑතට සැබැවින්ම අභිමානයක්. නිය පෙළක් තිබුණු පළියටම එය ලස්සන, නීරෝගි නිය පෙළක් වන්නේ නැහැ.

 

නියපොතු ලස්සනට තබා ගන්නවා වගේම එය නීරෝගිව තබා ගන්නේ කොහොමද කියන දේත් අතිශය වැදගත් කාරණාවක්.

නියපොතුවල නීරෝගිමත් බව නැති කරන්නේ නිය පිරිත්තාව( Rin warm infection) නමැති තත්ත්වය. දිලීරමය ආසාදනයක් වන මෙය නියපොතුවල පමණක් නොව සමේ, හිස් කබලේ පවා ඇතිවිය හැකි තත්ත්වයක්.

ප්‍රෝටීන්, කැල්සියම්, කෙරටීන් වැනි දේ සිරුර තුළ මනාව පවත්වා ගෙන යා යුතුයි. පෝෂණ ඌනතාවන් නිසා ඇතිවිය හැකි නිය පිරිත්තාව නියපොතු බාහිර ස්වභාවය, එහි අලංකාරය එහෙම පිටින්ම නැති කරයි. එසේම නිය පිරිත්තාව තත්ත්වය සිරුරේ ප්‍රෝටීන් සහ කෙරටීන් එහෙම පිටින්ම ගිල දමයි. නියපොතු නරක් වීම සිදු වන්නේ එතැන් පටන්ය. මෙය බෝවන තත්ත්වයකි. එහිදී වෛද්‍ය ප්‍රතිකාර ගන්නට සිදු වේවි.

ගෘහිණියන් වන ඔබට අපට නිවෙසේ ඉවුම් පිහුම් කටයුතුවලින් කිසිසේත්ම ඈත්වන්නට බැහැ. කහ, තුනපහ ආදිය අත්වල නියපොතුවල තැවරුණු පසු නිය⁣පොතුවලට දුර්වර්ණ බවක් එක් වීම වළක්වාලන්න බැහැ. අපි පාවිච්චි කළ දෙහි ලෙල්ල නියපොතුවල තවරා ගැනීමෙන් එසැණින් හොඳ ප්‍රතිඵලයක් එක් කරගත හැකියි.

නියපොතුවල කියුටිකල්ස් කොටස ඉවත් කළ යුතුයි. නැතිනම් එය නියපොත්තට ඇලෙන්න පටන් ගන්නවා. කහ වැනි දේ ඒ මත තැවරීමෙන් නියපොතුවලට එක් කරන්නේ අප්‍රසන්න බවක්.

මෙනිකියු සහ පෙඩිකියු සත්කාරය නිවෙසේදීම කළ හැකියි. ඒ සඳහා රූපලාවණ්‍යාගාරයක් වෙත යෑමටම අවශ්‍ය නැහැ.

අත් නිතර සේදෙන නිසා පිරිසුදු වුවත් දෙපාවල නියපොතු නිතර සේදෙන්නේ නැහැ. මේ නිසා පෙඩිකියු සත්කාරය සතියකට වතාවක්වත් කිරීම වටීවි. මේ සඳහා නිවෙසේ ප්‍රයෝජනයට ගන්නා අමු කහ හෝ වෙනිවැල්ගැට හොඳින් උතුරන වතුර එකකට දමා තම්බා ගෙන ඒ වතුර මද රස්නෙන් තිබියදී කකුල් දමා ගෙන යම් වේලාවක් ඉන්න පුළුවන්.

නිවෙසේදීම සාදා ගන්නා පැක් වර්ග අත්පාවලට යොදන්න පුළුවන්. වෙළෙඳපොළේ ඇති ස්ක්‍රබ්වලට වඩා නිවෙසේදීම ස්ක්‍රබ් වර්ග සාදා ගන්න පුළුවන්. දුඹුරු සීනීවලට දෙහි ටිකක් දමා ස්ක්‍රබ් එකක් සාදා ගන්න පුළුවන්. මීපැණි සහ කෝපි කුඩු එකතු කර ස්ක්‍රබ් එකක් සාදා දෑත් දෙපාවල ආලේප කළ හැකියි. දෙපා හොඳින් සෝදා යටි පතුල් මැද සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ක්‍රීම් එකක් දෙපාවල ආලේප කර දෙපා ෆොයිල් එකකින් පැය බාගයක් පමණ ආවරණයකර තැබීමෙන් දෙපා හොඳින් ස්ටීම් වෙනවා. ඉන්පසු කියුටිකල්ස් ඉවත්කර නියපොතු ලස්සනට හැඩයට කපා තබන්න පුළුවන්.

නිය ආලේපන නිතරම ගැල්වීමත් එතරම් සුදුසු නැහැ. දින තුන හතරක් හෝ ස්වාභාවිකව නියපොතු තබන්න උත්සාහ ගන්න. විශේෂයෙන්ම රැකියාවක් කරන කෙනකුගේ දෙපා දූවිලිවලට නිරාවරණය වීමට ඇති ඉඩකඩ වැඩියි.

ලුණුකැට උණු වතුරට දමා පසුව මඳ රස්නය තිබියදී කකුල් දමා ගෙන ඉන්න. මනා සුවයක් ලැබේවි.

නිය⁣පොතු කැපීමට ගන්නා නේල් කටර් එකේ සිටම හොඳ අවධානයක් යෙදිය යුතුයි. ඇතැම් නේල් කටර්වලිනුත් නියපොතුවලට හානි සිදු වෙනවා.

නිවෙසේදීම නියපොතු සඳහා විවිධ සත්කාර කළ හැකියි.

 

ඔලිව් තෙල්

උණුසුම් ජලය සහ ඔලිව් තෙල් බින්දු කිහිපයක් දමා එම මිශ්‍රණයේ ඔබේ නියපොතු පොඟවා ගන්න. ටික වේලාවකට පසු, මෘදු ලෙස සම්බාහනය කරන්න. ඔබේ නියපොතු වල දීප්තිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිනපතා මෙය අනුගමනය කරන්න.

රෝස වතුර

නිය මත රෝස වතුර දිනපතා යෙදීමෙන් ඔබේ නිය මතට ස්වාභාවික රෝස පැහැයක් ගෙනදිය හැකියි. ඔබේ නියපොතු මත ලප තිබේ නම්, ලෙමන් යුෂ සහ රෝස වතුර මිශ්‍රණයකින් ඒවා සෝදන්න. මෙම පිළියම සතියකට තුන් වතාවක් අනුගමනය කිරීමෙන් ඔබේ නියපොතු පිරිසුදු, දිලිසෙන සහ නීරෝගි වනු ඇත.

 

බේබි ඔයිල්

ඔබේ නියපොතු නිතරම ජලයට නිරාවරණය වන විට වියළී යයි. එම නිසා, ළදරු තෙල් ආධාරයෙන් ඔබේ නියපොතුවල ස්වභාවික තෙතමනය පවත්වා ගත හැකියි. ඔබේ නියපොතු වියළීම වැළැක්වීම සඳහා සෑම දිනකම හොඳ තත්ත්වයේ ළදරු තෙල්වලින් ඔබේ නියපොතු සම්බාහනය කරන්න.

ලෙමන් යුෂ

නියපොතු වඩාත් අලංකාර කිරීමට ගත හැකි තවත් විශිෂ්ට අමුද්‍රව්‍යයකි. එය ඔබේ නියපොතු දිලිසෙනවා පමණක් නොව, දූවිලි, දූෂණය හෝ කිසියම් රසායනිකයක් නිසා ඇති වූ පැල්ලම් ඉවත් කරයි. එම නිසා, නීරෝගි සහ දීප්තිමත් නියපොතු සඳහා, ලෙමන් යුෂවල ඔබේ දෑත් ටික වේලාවක් පොඟවා ගන්න. ඉන්පසු ලෙමන් යුෂවලට විනාකිරි ස්වල්පයක් සහ උණුසුම් ජලය එකතු කර, මිශ්‍රණයේ පොඟවා තබා ගනිමින් ඔබේ නියපොතු මත බුරුසුවක් මෘදු ලෙස අතුල්ලන්න. ටික වේලාවකට පසු උණුසුම් ජලය සමඟ ඔබේ අත් සෝදන්න. සතියකට වරක් ඔබේ නියපොතුවලට මේ අපූරු සත්කාරය ලබා දෙන්න පුළුවන්.

 

යෝගට්

එය ඔබේ දෛනික ආහාර වේලෙහි කොටසක් බවට පත් කරන්න. එහි යකඩ, කැල්සියම්, සින්ක් සහ විටමින් A, C, D සහ E අඩංගු වේ. නීරෝගි සහ දිලිසෙන නියපොතු සඳහා මෙම පෝෂ්‍ය පදාර්ථ සියල්ල අත්‍යවශ්‍ය වේ. ඒ නිසා හැමදාම යෝගට් කන්න අමතක කරන්න එපා.

 

 

උපදෙස් :

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි

ඉෂි පීරීස්