හැඩවැඩ වෙන ගමන් මුදලක් උපයන ව්‍යාපාරයක්

අගෝස්තු 21, 2023

රූපලාවණ්‍ය නිෂ්පාදන හා සුවඳ විලවුන් කාන්තාවන්ගේ ජීවිතයට වඩාත්ම සමීපයි. දැන් කාලෙ අඩුම වශයෙන් මූණ සෝදන්න ෆේස් වොෂ් එකක් පාවිච්චි නොකරන යුවතියක් සොයා ගැනීමත් අපහසුයි. ඒ තරමටම රූපලාවණ්‍ය නිෂ්පාදනවලට ඉල්ලුමක් තිබෙනවා. රූපලාවණ්‍ය නිෂ්පාදන වගේම ගත සිත පුබුදුවන නැවුම් සුවඳක් හමන අරෝමා තෙල් වර්ග හා සත්කාරවලටත් දැන් හොඳ ඉල්ලුමක් තිබෙනවා.

හැබැයි දැන් පවතින ආර්ථික අර්බුදයත් සමඟ මේ වෙනුවෙන් වැය කරන මුදල් ගැන හැම යුවතියක්ම සිතනවා. තමුන්ගේ අත්‍යවශ්‍ය කටයුතුවලට අමතරව රූපය ලස්සන කර ගන්න, උත්සවයකට යනවිට හොඳින් හැඩ වෙන්න වියදම් කරන මුදල ගැන මේ කාලේ හැම කාන්තාවකම සිතන්න වෙනවා. කාන්තාවක් ලෙස ඔබට මේ සමාජ වටපිටාවට ගැළපෙන ස්වයං රැකියාවක් ගැන සිතන්න මේ හොඳම කාලයයි. තමුන්ගේ රූපය හැඩ කරන්න පාවිච්චි කරන රූපලාවණ්‍ය හා සුවඳ විලවුන් වර්ග අලෙවි කරන ව්‍යාපාරයක් ආරම්භ කළොත් එය කාලයේ හැටියට හොඳ ස්වයං රැකියාවක්.

 

රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවිය

වෙළඳපොළේ රූපලාවණ්‍ය නිෂ්පාදන රාශියක් අපට හමු වෙනවා. මේ හැම නිෂ්පාදනයක්ම නිපදවන ආයතනයක් ගැන විස්තර හා මිලක් තිබෙනවා. ඔබ මුලින්ම මෙවැනි නිෂ්පාදන අලෙවි කරන ව්‍යාපාරයකට ප්‍රවේශවීමට ප්‍රථම මුලින්ම ඒ ගැන පුංචි අධීක්ෂණයක් කළ යුතුයි. විශේෂයෙන්ම තරගකාරි මිල ගණන් යටතේ අලෙවි වන මේ රූපලාවණ්‍ය නිෂ්පාදන ගුණාත්මකව තෝරා ගැනීම ගැන බොහෝ දෙනකුට නිසි අවබෝධයක් නැහැ.

 

ඒ නිසා මුලින්ම ඔබ කළ යුත්තේ එම නිෂ්පාදන පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගැනීමයි.

 

දෙවැනි පියවර මෙලෙස අලෙවි වන රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා වෙළඳපොළේ හොඳ ඉල්ලුමක් ඇත්තේ ඇයිදැයි හොඳින් සොයා බැලීමයි. උදාහරණයක් ලෙස මුහුණේ ළප කැළැල් ඉවත්කිරීම සඳහා පාවිච්චි කරන රූපලාවණ්‍ය නිෂ්පාදන අතුරින් වැඩිම අලෙවියක් ඇත්තේ දේශීය ආයුර්වේද නිෂ්පාදනයනට යැයි අපි සිතමු. ඔබ කළ යුතු වන්නේ එම නිෂ්පාදන ආයතනය සමඟ අලෙවි නියෝජිතයකු මාර්ගයෙන් සම්බන්ධවීමයි. එහිදී එම නිෂ්පාදන මිලදී ගැනීමේදී ඔබට විවිධ කොන්දේසිවලට යටත්වීමට සිදුවනු ඇත. එම කොන්දේසිවලට අනුගත වෙමින් ඔබ මුලින්ම එම නිෂ්පාදනය අලෙවිය ආරම්භ කරන්න.

 

තුන්වන පියවර වන්නේ රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවිය සඳහා ඔබේම සේවා ජාලයක් නිර්මාණය කර ගැනීමයි. මේ සඳහා ඔබ සතු ව්‍යාපාරික හැකියාව හා නිර්මාණාත්මක කුසලතාවය යොදා ගන්න. ඔබ රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවි කිරීමේදී ඒ සඳහා වෙළෙඳපොළේ මිලට වඩා වැඩි වට්ටම් මුදලක් ලබා දෙන්න. ඔබගේ නිෂ්පාදන පාවිච්චිය පිළිබඳ සේවාදායකයාට හොඳින් කියා දෙන්න. ඔබගේ නිෂ්පාදනවලට ඇති ගුණාත්මකභාවය ගැන ඔවුන්ට අවබෝධ කර දී ඒවා අලෙවි කරන්න.

 

ඔබ මෙලෙසින් රූපලාවණ්‍ය නිෂ්පාදනය අලෙවි කරන අතර ඔබේම නිෂ්පාදනයක් සඳහා යොමුවීම ඊළඟ පියවරයි. මේ කටයුත්ත ඔබට එක්වරම කළ නොහැකි කටයුත්තකි. රූපලාවණ්‍ය නිෂ්පාදනය හා අලෙවිකරණය ගැන අධ්‍යයන පාඨමාලාවක් හෝ පුහුණුවක් වෙත යොමුවෙන්න. අප රටේ මෙවැනි නිෂ්පාදන දේශීයව නිපදවීම පිළිබඳ පවත්වන පාඨමාලා කිහිපයක් පවතී. එවැනි පාඨමාලාවක් හැදෑරූ පසුව ඔබගේම රූපලාවණ්‍ය නිෂ්පාදනයක් සඳහා යොමුවීමේ හැකියාව ලැබෙනු ඇත. එලෙස ඔබට ලැබෙන දැනුමින් ප්‍රයෝජන ගනිමින් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ දිගු ගමනක් යෑමට අවස්ථාව ලැබේවි.

 

අරෝමා ෙතල් වර්ග හා සුවඳ විලවුන් නිෂ්පාදනය

 

වර්තමානයේ සුවඳ විලවුන් සඳහා විශාල ඉල්ලුමක් පවතී. එම ඉල්ලුමට සරිලන සුවඳ විලවුන් රාශියක් නිෂ්පාදනය කරන්නේ විදේශීය රටවලය. ඒ සුවඳ විලවුන් සඳහා හොඳ ඉල්ලුමක් ද පවතී. බොහෝ විට දේශීයව නිපදවන සුවඳ විලවුන් වර්ග සඳහා ඇති ඉල්ලුම තරමක් අඩු වී ඇත‍්තේ නිෂ්පාදනය සඳහා වැය වන පිරිවැය වැඩිවීමයි. එසේම ඒ සඳහා තාක්ෂණය නොමැතිවීම ද ගැටලුවකි.

 

එහෙත් විදේශීය රටවලින් ආනයන කළ සුවඳ විලවුන් තොග වශයෙන් ලබාගත හැකි ස්ථාන ගණනාවක් පවතී. එවැනි ස්ථානයකින් අපට අවශ්‍ය ප්‍රමාණයට එම සුවඳ විලවුන් සාදන ඇරෝමා තෙල් වර්ග මිලදී ගත් පසු ඒවා මිශ්‍රකර අපටම ආවේනික වූ නිෂ්පාදනයක් කිරීමට හැකියාව තිබේ. එසේ නිපදවන සුවඳ විලවුන් බෝතල් කර ඔබේම නිෂ්පාදනාගාර ලෙසින් වෙළෙඳපොළට එක් කිරීමට අවස්ථාව ඇත.

 

මේ සඳහා අවශ්‍ය ඇරෝමා තෙල් වර්ග හා ඇසුරුම් කරන බෝතල් වර්ග තොග වශයෙන් අලෙවි කරන කඩ සාප්පු කිහිපයක් කොළඹ පිටකොටුවේ වේල්ල වීදියේ පිහිටි සාප්පුවලින් ඔබට ලබා ගැනීමට හැකිවනු ඇත. එසේම එම කඩවලින් එම ඇරෝමා සුවඳ වර්ග සකස් කර ගන්නා ආකාරය ගැන ද දැනගැනීමට හැකිවනු ඇත.

 

මෙලෙසින් ඔබ රූපලාවණ්‍ය නිෂ්පාදන සුවඳ විලවුන් අලෙවි කරන විට මේ ව්‍යාපාරය කරගෙන යෑම පිළිබඳ ප්‍රායෝගික දැනුමක් හා අවබෝධයක් ලැබේවි. තවද රූපලාවණ්‍ය නිෂ්පාදන වර්ග ගෙවීමේ ක්‍රමයට ලබාදෙන ආයතන ද පවතී. එම ආයතන මඟින් මුලින්ම ඔබට ඔවුන්ගේ නිෂ්පාදන ඇතුළත් විස්තර පත්‍රිකා හා සාම්පල් සපයයි. එම සාම්පල් ඔබ සේවාදායකයාට හඳුන්වා දී ඔවුන්ගෙන් ඇණවුම ලබාගත් පසු අවශ්‍ය නිෂ්පාදන වර්ගය රූපලාවණ්‍ය නිෂ්පාදන ආයතනය මඟින් ඔබට ලබාදීම සිදු කරයි. එම නිෂ්පාදනය අලෙවි කර මුදල් පියවීමේදී ඔබට කොමිස් මුදලක් හිමි වෙයි. මේ ක්‍රමය ද රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවියේදී ඉතාම සාර්ථක ක්‍රමයකි‍.

 

මේ ආකාරයට ඔබ මේ ක්ෂේත්‍රයට පිවිසීමෙන් පසු රූපලාවණ්‍ය නිෂ්පාදන, උපකරණ, ආලේපන හා සුවඳ විලවුන් ආදී සියලුම දේ අලෙවි කරන ජාලයක් ඔබට නිර්මාණය කර ගත හැකිවනු ඇත. එය ඔබගේ අතට අමතර මුදලක් ලැබෙන සාර්ථක ක්‍රමයකි. මේ සඳහා ඔබට විශාල මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවන අතර ව්‍යාපාරය පාඩු ලැබීමේ සමභාවිතාව ද ඉතාම අඩුය.