හැමකල්ම නිකැළැල්ව ඉන්නේ මෙන්න මෙහෙමයි

ගෙදරදිම කරන්න පුළුවන් සත්කාර වට්ටෝරුව
දෙසැම්බර් 11, 2023

 

ලස්සන නිකැළැල් සමක් සැමගේ සිහිනයක්. එදිනෙදා ජීවිතයේ දී, තරුණ වැඩිහිටි, වයස් භේදයකින් තොරව සියලු දෙනාටම ඇති වන ප්‍රධානම ගැටලුවක් වන්නේ මුහුණේ සහ සමේ ඇතිවන කැළැල් මකා ගන්නේ කෙසේද යන්නයි. එය කාන්තා සහ පිරිමි භේදයකින් තොරව ඇති වන සහ පිළියම් සොයන ගැටලුවකි.

එනිසා සමේ ඇති වන කැළැල් හෙවත් Marks සඳහා කළ හැකි ප්‍රතිකර්ම මොනවාදැයි බලමු.

ශරීරයේ සිදු වන හෝමෝන වෙනස්කම් හරහා ඇතිවන කුරුලෑ ලප කැළැල්,

එදිනෙදා ජීවිතයේ කාර්යයන්වලදී, උණු වතුර විසි වීමෙන් හෝ හැලීමෙන්, තෙල් බින්දු විසි වීමෙන්, රෙදි මදින අවස්ථාවලදී අයන් එක ගෑවීමෙන්, ආහාර පිසින අවස්ථාවලදී රස්නයට ඇති භාජන අතේ ගෑවීමෙන් පමණක් නොව, පැපොල වැනි රෝගවලින් ශරීරයේ ඕනෑම තැනක ලප කැළැල් ඇති විය හැකියි.

මෙසේ තිබෙන කැළැල් කාලයත් සමග මැකී යා හැකියි. නමුත් පොදුවේ මෙම කැළැල්වලට ප්‍රතිකාර නොකළහොත්,ඒවා මැකී යාම සඳහා වසර ගණනාවක් ගත වේ. කුරුලෑ වැනි තත්ත්වයන්වලදී ඇති වන රතු හෝ දුඹුරු පැහැති සලකුණු සාමාන්‍යයෙන් යම් කාලයකදී මැකී ගිය ද, වඩා වැඩි, දරුණු කැළැල් සඳහා ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය වේ.

අනර්ඝ දායාදයක් බඳු කෝමාරිකා

ස්වභාවධර්මයේ විස්මයජනක විවිධාකාර වූ සුව ඔසු අතර, කෝමාරිකා යනු, අපගේ සම ආරක්ෂා කර ගැනීම උදෙසා අපට සොබා දහමින් ලැබී තිබෙන අනර්ඝ දායාදයකි. කෝමාරිකාවල සම අලුත්වැඩියා කිරීමට සහ පුනර්ජනනය ට උපකාරීවන ඇලෝයින්(Aloin) සහ ගිබරලීන් (Gibberelline)වැනි අත්‍යවශ්‍ය සංයෝග අඩංගු වේ.

 

කෝමාරිකා ලප කැලැල් සඳහා භාවිත කරන ආකාරය

කෝමාරිකා කොළයක් කපා නැවුම් ජෙල් තරලය වෙන්කර ගන්න.

මෙම ජෙල් එක බලපෑමට ලක් වූ ප්‍රදේශයට කෙළින්ම යොදන්න. මෘදු ලෙස සම්බාහනය කරන්න. අවම වශයෙන් විනාඩි 30ක් හෝ හැකි නම් එය, එක රැයක් තබන්න. හොඳම ප්‍රතිඵල සඳහා දිනපතා මෙම ක්‍රියාවලිය නැවත නැවත සිදු කරන්න. කාලයත් සමඟම කැළැල් සහ සලකුණු පෙනීමේ සැලකිය යුතු අඩු වීමක් ඔබට පෙනෙනු ඇත.

කෝමාරිකා, කැළැල් අඩුකිරීමට පමණක් නොව ඔබේ සමේ තෙතමනය තබා ගැනීමට ද උපකාරී වේ. දිගුකාලීනව හිරු එළියට නිරාවරණය වීමෙන් ඇතිවන,කුඩා ලපවලට මෙන් ම, වියළි හෝ සංවේදී සමක් ඇති අය සඳහා ද, එය හොඳම විකල්පයකි.

 

 

ලෙමන් යුෂ

එසේම, ලෙමන් යුෂ භාවිතය ද, සමේ පැල්ලම් ඉවත් කර ගැනීම සඳහා යම් කාර්යභාරයක් ඉටු කරයි. ලෙමන් යුෂ කැළැල් මැකීම සඳහා ඵලදායි පිළියමකි. ලෙමන්වල අන්තර්ගත සිට්‍රික් අම්ලය(Citric acid) මැරුණු සම ඉවත් කර, සම නැවුම්ව සහ ප්‍රබෝධවත්ව තබාගැනීමට උපකාරී වේ.

ලෙමන් යුෂ ලප කැළැල් අවම කර ගැනීම සඳහා යොදා ගන්නා ආකාරය

 

නැවුම් ලෙමන් යුෂ මිරිකා ඔබේ ඇඟිලි තුඩු භාවිතයෙන් හානියට පත් ප්‍රදේශයට යොදන්න. විනාඩි 10 හෝ 15ක් එය වියළී යන තෙක් තබන්න. ලෙමන් යුෂ ආලේප කළ වහාම හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකිය යුතුයි. හේතුව නම්,එය පාරජම්බුල කිරණවලට ඔබේ සම වඩාත් සංවේදී කරන හෙයිනි.

 

කැලැල් අවම කිරීම සඳහා මී පැණි

මී පැණි රසවත් ආහාරයක් පමණක් නොවේ. එය කැළැල් අඩු කිරීම සඳහා ප්‍රබල ස්වාභාවික පිළියමක් ද වේ. මී පැණිවල රෝග සුවකිරීමේ ගුණාංග අන්තර්ගතයි. කැළැල් ඇති ප්‍රදේශයේ මී පැණි ස්වල්පයක් ගෙන,ආලේප කර, මෘදු ලෙස සම්බාහනය කරන්න.මිනිත්තු 20 - 30ත් අතර කාලයක් තැබීමෙන් එහි පෝෂණ ගුණය අවශෝෂණය කර ගැනේවි. මේ තුළින් කැළැල් අඩුකිරීමට අමතරව, මී පැණිවල ඇති ගුණ නිසා ඔබේ සමේ මෘදු සහ නම්‍යශීලී බවක් ඇති වේ. වියළි සහ ගැටලු සහිත සමක් ඇති අය සඳහා මෙය විශිෂ්ට තේරීමකි.

 

අමු කහ භාවිතයෙන් ලප කැළැල් අවම කර ගැනීම

සමෙහි රෝග සහ භාවිතයන්වලට ප්‍රතිකාර කිරීම සඳහා කහ භාවිත කරනු ලැබේ. කහ සම පැහැපත් කරන ගුණාංගවලින් යුක්ත වේ. කහවල ඇති ක්‍රියාකාරි සංයෝග

කැළැල් ආශ්‍රිත රතු පැහැය සහ දැවිල්ල අඩු කිරීමට උපකාරී වෙයි.

 

කහ අඳුරු ලප පැල්ලම් ඉවත් කර ගැනීම සදහා යොදා ගන්නා ආකාරය

කහ යෝගට් සමඟ එක්කර ගනකම තලපයක් සාදාගන්න. මෙම තලපය කැළැල් මත ආලේපකර විනාඩි පහළොවක් විස්සක් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

කහ ෆේස් පැක් එකක් ලෙස යොදා ගැනීමේදී යෝගට්, මී පැණි හෝ කෝමාරිකා වැනි අමුද්‍රව්‍ය එකතු කරගත හැකියි. මෙම ෆේස් පැක්එක තුළින් සමේ වර්ණය පැහැපත් වේ.

සෞඛ්‍යසම්පන්න සමක් ඇතිකර ගත හැකියි.

 

රෝස්ෂිප් තෙල් (Rosehip oil) සහ පොල් තෙල්

තෙල් විටමින් A සහ C අත්‍යවශ්‍ය මේද අම්ල සහ ප්‍රති ප්‍රතිඔක්සිකාරකවලින් පිරී ඇත. සමේ සෞඛ්‍යසම්පන්න බව වැඩි දියුණු කිරීමට සහ කොලජන් නිෂ්පාදනය වැඩි කිරීමට, කැළැල් පෙනුම අඩු කිරීමට උපකාරී වේ. රෝස්ෂිප් තෙල් බිංදු කිහිපයක් කැළැල් ඇති ප්‍රදේශයේ ආලේපකර මෘදුව සම්බාහනය කරන්න. ඔබේ සමට එහි පෝෂණය අවශෝෂණය වීම සඳහා යම් සැලකිය යුතු කාලයක් එය සම මත තැබිය යුතුයි. Rosehip තෙල් දිනපතා භාවිතයෙන් ඉතා හොඳ ප්‍රතිඵල ලප කැළැල් සඳහා ළඟා කරගත හැකියි.

 

පිරිසුදු පොල්තෙල්

පොල්තෙල් ස්වල්පයක් ගෙන එය කැළැල් ඇති ප්‍රදේශය මත මෘදු ලෙස සම්බාහනය කරන්න. එය ඔබේ සමට අවශෝෂණය කරගැනීමට ඉඩ දෙන්න.ගර්භිණී සමයේ ඇතිවන stretch marks සඳහා ද බොහෝ විට පොල් තෙල් භාවිතය නිර්දේශ කරනු ලබයි.

 

Sunscreen භාවිතය

සමෙහි ඇති වන කැළැල් මකා ගැනීමට කටයුතු කරන අතරම, නිවෙසෙන් එළියට යන ඕනෑම අවස්ථාවක හානිකර පාරජම්බුල කිරණවලින් ආරක්ෂා වීම ද අත්‍යවශ්‍ය කරුණක් වේ. විශේෂයෙන් කැළැල් ඇති ප්‍රදේශවලට අවම වශයෙන් PH අග⁣ය 30 ත්,50ත් අතර අගයක් සහිත Suncreem එකක් භාවිත කළ යුතු වේ. Suncream වල ඇති වැදගත්

මේ අතරම අනිවාර්යයෙන්ම ඔබ දිනකට ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම අත්‍යවශ්‍ය කරුණක් වේ.එය සමේ සුවය සහ පුනර්ජනනීය ක්‍රියාවලීන් සඳහා අත්‍යවශ්‍ය වේ. මෙම ස්වාභාවික ක්‍රමවලින් සැලකිය යුතු ප්‍රතිඵල පෙන්වීමට කාලයක් ගත විය හැකි බව මතක තබා ගැනීම වැදගත්. ඉවසිලිවන්තව හා ස්ථාවර ක්‍රමවේදයක් පවත්වා ගැනීම තුළින් ඔබට ඔබේ සමෙහි ඇති ඕනෑම කැළලක් කාලයාගේ ඇවෑමෙන් අවම හෝ ඉවත් කර ගත හැකියි.

 

උපදෙස් :

ප්‍රවීණ රූපලාවණ්‍ය සහ මනාලියන් හැඩ ගැන්වීමේ ශිල්පිනී

ඉෂාරා කෝර⁣ළගේ