මල් පෙති වගේ ලස්සනට තොල් තියාගන්නේ මෙහෙමයි

ජනවාරි 8, 2024

සිත් ළගන්නා සුලු දෙතොලකට කෙනකු පහසුවෙන්ම වශී කරවන්නට පුළුවනි. ඔබත් උපතින්ම අව පැහැ නොගත් මනා හැඩයෙන් යුතු දෙතොලක් උරුම වූ තැනැත්තියක්ද?

එසේ් නොවුණේ නම් එය පසුතැවිල්ලට කාරණයක් කරගන්නට එපා. Aasthetic Medicine හෙවත් රූපාලංකරණ වෛද්‍ය විද්‍යාව සෙවණැල්ලක් මෙන් ඔබ අසලින්ම රැ⁣ඳේවී. මේ පිළිබඳ අප පසුගිය සතියේත් යම් විවරණයක යෙදුණා, ඔබට මතක ඇති.

රූපශ්‍රීයෙන් යුතු අඟපසඟවලින් හෙබි තැනැත්තියක වන්නට රූපාලංකරණ වෛද්‍ය විද්‍යාවේ සහාය ලබා ගන්නට දැන් ඔබ විදෙස්ගත වන්නට අවශ්‍ය වන්නේ නැහැ. මෙරටදී ඒ සඳහා බොහෝ පහසුකම්වලින් යුතු සායනයන් ක්‍රියාත්මක වේ. මෙය තරමක් සුඛෝපභෝගී වෛද්‍ය ක්‍රමයක්වන නිසා රජයේ රෝහල්වල ක්‍රියාත්මක නොවුණත් පෞද්ගලික අංශයේ සායන ලෙසින් පැවැත්වේ.

ඉතින් අපි බලමු රූපාලංකරණ වෛද්‍ය විද්‍යාව ඔස්සේ යමින් හැඩැති දෙතොලකට උරුමකම් කියන්නේ කෙසේ දැයි කියා.

 

ඇයි මේ අඳුරු තොල්

* තොල් අඳුරු වීම උපතින්ම ගෙන ආ දෙයක් වන්නට ඇති. පිග්මන්ටේෂන් හෙවත් මෙලනින් වර්ණකය වැඩි වීම ඊට හේතුවයි.

* ප්‍රමිතියෙන් තොර ලිප් බාම් සහ ලිප්ස්ටික් භාවිතය ද ඇතැම් විට අඳුරු තොල්වලට හේතුවකි.

* එසේම අව්වට පිලිස්සීම, රසායනික දෑ අඩංගු ආලේපන තොල් මත තැවරීම ද හේතුවකි.

* සිගරට් බීම නිසාත් කෙනකුගේ් තොල් අඳුරු පැහැ වීමට පුළුවනි.

* තොලෙහි මැරුණු සම එකතු වීම ද තවත් එක් හේතුවකි.

රූපාලංකරණ වෛද්‍ය විද්‍යාවට අනුව ප්‍රතිකාර කරන වෛද්‍යවරයාට තොල් අව පැහැ වුණු හේතූව නිරීක්ෂණයෙන් පසු හඳුනා ගත හැකිවේ.

 

ප්‍රතිකර්ම

තොල්වල අව පැහැය ඉවත් කිරීමට ලේසර් සත්කාරයක් හෝ රසායන ද්‍රව්‍යවලින් තොර ආලේපනයක් ගල්වයි. ඒ අනුව මැරුණු සම ඉවත් වේ. මෙලනින් අධික ස්වභාවයක් ඇත්නම් එයද ඉවත්වේ. මෙය රූපාලංකරණ වෛද්‍ය විද්‍යාවට අනුව ඩයමන්ඩ් සත්කාරයක් ලෙස හඳුන්වයි.

ඉන්පසු තොලෙහි ඇති වර්ණයට වඩා පැහැපත් වෙනත් වර්ණයක් ටැටූ එකක් මෙන් ඇතුළු කළ හැකියි. Semi Permanant Make -Up ලෙස එය හඳුන්වයි. එය ටැටූ එකකින් වෙනස් වන්නේ තොලට නික්ෂේපණය කරන ද්‍රව්‍ය පවතින්නේ වසර 2ත් 4ත් අතර කාලයක් පමණක් වීම නිසයි. ඉන්පසු ටිකෙන් ටික ෂේඩ් වන්නට පටන් ගනී. අවශ්‍ය නම් ඊට පෙර වුවද ලේසර් ප්‍රතිකාර ක්‍රමවේදය ඔස්සේ තොලෙහි වර්ණය වෙනස් කරගත හැකියි.

මේ අතරතුරේ මෙලනින් නැවත එකතු වීම, මැරුණු සම නැවත එකතු වීම වැළැක්වීම සඳහා වෛද්‍යවරයාට ඖෂධ නියම කළ හැකිවේ. මේවා ආලේපන සහ ප්‍රතිකාරයි. ඒ අනුව හැමදාටම තොල් අව පැහැ නොවී දීප්තිමත්ව පවත්වා ගෙන යා හැකිවේ. දිදුලන රෝස පැහැයකින් එනම් ස්වාභාවික වර්ණයකින් පවත්වා ගත හැකිවේ.

 

සිහින් තොලක් වෙනුවට

ඇතැමුන්ගේ තොල් පිහිටා ඇත්තේ ඉතාම සිහින්වයි. මේ සිහින් බව මුහුණට කලඑළියක් ගෙන නොදෙන්නක් වීමට පුළුවනි. තරමක් පළලට මනා හැඩතලවලින් යුතු දෙතොලක් ඔබ වෙත තිළිණ කරලන්නට රූපාලංකරණ වෛද්‍ය විද්‍යාවේ නියැළෙන වෛද්‍යවරුනට පුළුවනි. එසේම පළලට පිහිටියත් එහි හැඩතලය කෙරෙහි ඔබ සෑහීමට පත් නොවන්නේ නම් එහි ඇති අඩුපාඩු සකසා ගන්නට පුළුවනි. ඔබ ප්‍රිය කරන දෙතොලක් වේ නම් එහි ඡායාරූපයකට අනුව උදාහරණයක් ලෙස නිළියකගේ ලස්සන දෙතොලකට ඔබ කැමැත්තේ නම් ඒ අනුව තොල සකසා ගැනීමට ද අවස්ථාව තිබේ.

ඇතැමුන් සිනා වෙද්දී විදුරුමස තෙක්ම පෙනේ. මෙය එතරම් ප්‍රියජනක දෙයක් නොවන නිසා එසේ නොවී මනා හැඩතලයකට අනුව තොල පවත්වා ගත හැකියි. මෙය ඩර්මා ෆිලර් සත්කාරය(derma filler)යි. එහිදී තොල මෘදු කරවයි. මේ සඳහා යොදා ගන්නේ හැලරොනික් අම්ලය(Hyaluronic Acid)යි. එය අපේ සිරුරෙන් ද නිපද වේ. එය අපේ සිරුරේ ඇති කොලජන් හා එකතු වී තොලෙහි ප්‍රමාණය විශාල වීමක්(volum) පෙන්වයි.

තොල් ප්‍රමාණයටත් වඩා විශාලව පෙන්වයි නම් ඒ සඳහා රූපාලංකරණ වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකර්මයක් දැනට නැත. එවැනි කෙනකුට ප්ලාස්ටික් සැත්කමක් කරගන්නට අවස්ථාව තිබේ.

 

ආයු කාලය

මෙම ප්‍රතිකාරය ද තොල්වල පැහැය මෙන් ක්‍රමයෙන් පෙර තිබූ තත්ත්වයට පත්වේ. ඒ සඳහා වසර 2ක පමණ කාලයක් ගතවේ. තොල් ඉතාම ක්‍රියාශීලිව කටයුතු කරන නිසා නැවත පිරවීම කළ යුතුයි.

දැන් දැන් මල් මනාලියක් වීමට සිටින්නියන්(Bride To Be), මැදිවියේ අය පවා මේ සම්බන්ධයෙන් උනන්දු වේ.

--------------------

 රෝස පැහැති තොල් ලබා ගැනීමට නිවෙසේදී කළ හැකි ස්වාභාවික පිළියම්

 

 ස්වාභාවිකව රෝස පැහැති තොල් ලබා ගන්න ඔබත් කැමැති ඇති. මේ පහසු පිළියම් අත්හදා බලන්න උත්සාහ ගන්න.

පොල් තෙල්

* ඔබේ දබර ඇඟිල්ල අමතර පිරිසුදු පොල්තෙල් කෝප්පයක ගිල්වා එය ඔබේ තොල් මත ආලේ්ප කරන්න.

* එය විනාඩි 30ක් ස්වාභාවිකව වියළීමට ඉඩ දෙන්න.

* ටිෂූ කඩදාසියක් ගෙන ඔබේ තොල් පිස දමන්න.

දෙහි යුෂ

* කෝප්පයකට දෙහි හෝ ලෙමන් යුෂ මේස හැඳි 1ක් සහ මී පැණි බිංදු 1ක් එක් කරන්න. එය හොඳින් මිශ්‍ර කරන්න.

* එම මිශ්‍රණය තොල් මත ආලේප කර විනාඩි 15ක් තබන්න.

* වතුරෙන් සෝදා හරින්න.

කෝමාරිකා

* කෝමාරිකා කොළයක ඇති ජෙල් කෝප්පයකට ගන්න.

* දැන් ඔබේ තොල් මත ජෙල් ආලේප කර විනාඩි 15ක් සිටින්න.

* වතුරෙන් සෝදා හරින්න.

සීනි

* බඳුනකට සීනි මේස හැඳි 2ක්, දෙහි යුෂ මේස හැඳි 1ක් සහ මී පැණි බින්දු 1ක් මිශ්‍ර කරන්න.

* පුළුන් බෝලයක් පේස්ට් එකේ ගිල්වා මෙම පේස්ට් ඔබේ තොල්වල ආලේප කරන්න. මිනිත්තු 5ක් පමණ රවුම්ව ඔබේ තොල් ඇඟිලි තුඩුවලින් සම්බාහනය කරන්න.

*වතුරෙන් සෝදා හරින්න.

පිපිඤ්ඤා

* නැවුම් ලෙස කපාගත් පිපිඤ්ඤා පෙති 4ක් බ්ලෙන්ඩ් කර එහි යුෂ පෙරා ගන්න.

* තොල් මත සාදා ගත් යුෂ ආලේප කර විනාඩි 10ක් ඉන්න.

* වතුරෙන් සෝදා හරින්න.

අල

* අර්තාපල් පොතු ඉවත් කර ග්‍රයින්ඩර් කරන්න. එයින් යුෂ බඳුනකට මිරිකා ගන්න.

* පුළුන් බෝලයක් යුෂවල ගිල්වා එය ඔබේ තොල් මත අතුල්ලන්න.

* විනාඩි 10ක් තබා ගැනීමෙන් එය වතුරෙන් සෝදා හරින්න

 

 

ඉදිරිපත් කිරීම :

රූපාලංකාරය පිළිබඳ

විශේෂිත පුහුණු වෛද්‍ය

ඩබ්ලිව්. ඒ නුවන් කුමාර