පාදා ගතයුතු වාසනා ගුණය

ජූලි 31, 2023

සාමාන්‍ය මිනිසුන් වාසනා ගුණය කියන්නේ පිනට හෝ භාග්‍යයටය. ලෝකයා පින් ඇති අයට “වාසනාවන්තයා” කියා කියති.

එහෙත් බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලා ගත් විට වාසනා ගුණය කියා කියන්නේ වෙනත් කරුණකට ය.

බුදුරජාණන් වහන්සේත්, රහතන් වහන්සේලාත් අරිහත් මාර්ග සිතින් ඉතිරියක් නැතුවම කෙළෙසුන් සහමුලින්ම ප්‍රහාණය කරනු ලබයි. කෙළෙසුන් සහමුලින්ම ප්‍රහාණය කළත්, බුදු රජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලාගේ කෙළෙස් ප්‍රහාණයන් අතර වෙනසක් තිබේ. එම වෙනස වන්නේ රහතන් වහන්සේලා ක්ලේශ ප්‍රහාණයට මිස වාසනා

ප්‍රහාණයට සමත් නොවීමයි. ක්ලේශ ප්‍රහාණයෙන් පසු රහතන් වහන්සේලාට වාසනාව ඉතිරිව පවතී. මේ වාසනාව කියන්නේ කලින් කී “වාසනාවන්තයා” කියන එකට නොවේ.

රා තිබුණු කළයකින් ඒවා ඉවත්කර සෝදා ගත් පසුවත්, එහි රා මඳකුදු නැත ද රා ගඳ එහි ඉතිරිව පවතී. ඒ ආකාරයට අරිහත් මාර්ගයෙන් සියලු ක්ලේශයන් දුරු කළ රහතන් වහන්සේලාගේ සන්තානවල, රහත් නොවුණු කාලයේ ඉරියව් පැවැත්වූ ආකාරයෙන්, ක්‍රියා කළ ආකාරයෙන්, කතා කළ ආකාරයෙන්, රහත් වූ පසුවත් ඉරියව් පැවැත්වීමට, ක්‍රියා කිරීමට, කතා කිරීමට හේතුවන ක්ලේශයන්ටම අයත් එක්තරා ශක්තියක් ඉතිරි වේ. මෙහි “වාසනාව” කියනු ලැබුවේ ඒ ශක්ති විශේෂයට ය.

ඒ ශක්තිය ඉතිරි වී ඇති නිසා සමහර විට රහතන් වහන්සේ මඳවූ රාගයක් වත් නැතිව සරාගීන් රාගයෙන් බලන්නාක් මෙන් බලති. කතා කරන්නාක් මෙන් කතා කරති. මඳවූ ද ද්වේශයක් නැතිව කෝපවූවන් සේ ක්‍රියා කරති. කතා කරති. මඳවූ ද මානයක් නැතිව මානීන් සේ ඉරියව් පවත්වති. කතා කරති. ඒ නිසා සමහර විට බලා සිටින අය රහතන් වහන්සේලාටද කල කිරෙති.

පිළින්දිච්ඡ තෙරුන් වහන්සේ රහතන් වහන්සේලාගෙන් කෙනෙකි. උන්වහන්සේ මානයක් නැතිවම කෝපයක් නැතිවම “මෙහෙ වර වසලී. පල වසලී” යනාදී ලෙස නො ගැළපෙන ආකාරයට ගිහියන්ටත් පැවිද්දන්ටත් කතා කළහ.

එක් දවසක් භික්ෂූහු පිළින්දිවච්ඡ තෙරුන් වහන්සේගේ මේ නො ගැළපෙන කතාව ගැන අනෙක් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කීහ.

බුදුරජාණන් වහන්සේ “එසේ කතා කරන බව සැබෑවදැ”යි පිළින්දිවච්ඡ තෙරණුවන්ගෙන් ඇසූ සේක. “සැබෑවයි ස්වාමිනී” කී විට අතීතය බලා අතීතයෙහි පිළිවෙළින් ජාති පන්සීයක් බ්‍රාහ්මණ කුලයෙහි ඉපද එසේ කතා කරන්නට පුරුදු වී ඇති බව දුටු සේක.

භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා “මහණෙනි, ක්ෂීණාශ්‍රවයන්ගේ අනුන්ට රිදවන පරුෂ වචන කියන ස්වභාවයක් නැත. මගේ පුත්‍ර වූ ‘වච්ඡ’ නපුරු සිතක් නැතිවම පෙර පුරුද්ද නිසා එසේ කතා කරන්නේය”යි වදාළ සේක.

බුදුරජාණන් වහන්සේ වාසනාවත් සමඟම ක්ලේශයන් දුරු කොට ඇති නිසා කෙලෙසුන් කෙරෙන් ඉතා දුරුව සිටින සේක. එය තථාගතයන් වහන්සේටම ඇති ගුණ විශේෂයකි. නමුත් රහතන් වහන්සේලා කෙළෙසුන් දුරු කළත් වාසනා ගුණය දුරු කරන්නේ නැත.

වර්තමානයේ සමහර ව්‍යාපාරික භික්ෂූන් තමන් බුදු වුණා යැයි කියති. එහෙත් සැර පරුෂ ලෙස කතා කරන්නේ ඇයි දැයි, ඇසූ විට, “පිළින්දිච්ඡ මහරහතන් වහන්සේද එසේ කළා” යැයි කියති. ඇත්තෙන්ම ඔවුන් බුදු වී ඇත්නම් වාසනා ගුණය ඉතිරි වූයේ කෙසේද? භික්ෂූන්ට මඟඵල ප්‍රකාශ කරන්නට එපා කියා භාග්‍යවතුන් වහන්සේ විනය නීති පැනවූ සේක.

 

 

අනුශාසනාව

පූජනීය , තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ

මිණිපුර අමාශාන්ති තපෝවනය,

පැල්වාඩිය, රත්නපුර.