කාන්තා විමුක්තිය ලොවටම දායාද කළ බුද්ධ මාතාව

දෙසැම්බර් 4, 2023

 

කාන්තා විමුක්තිය යන සංකල්පය ලොවට දායාද කළේ කොහෙන්දැයි ඇසුවහොත් බොහෝ දෙනෙකුට සිතෙන්නෙ බටහිර ලෝකයෙන් කියාය. එසේ සිතීම බොහෝ දුරට සාධාරණය. බුදුරජාණන් වහන්සේ පහළ වූ යුගයේ ඉන්දියාවේ බ්‍රාහ්මණ සමාජය තුළ කිසිඳු සමාජ වරප්‍රසාදයක් ස්වාධීනත්වයක් නොමැතිව ජීවත්වූ කාන්තාව නින්දා අපහාසයට නිරතුරුව ලක් වූ අතර කාන්තාවක ඉපදීම පවා පවුලට අභාග්‍යයක් කොට සැලකූහ. භාරතීය උපදේශ ග්‍රන්ථවල පවා කාන්තාව නිග්‍රහ කොට අැති අයුරු ඒවායෙහි දක්වා ඇත.

 

”ආහාරෝ ද්විගුණඞ ස්ත්‍රිණං බුද්ධිසතාසං චතුශ්‍රීණාඞ
ෂඩ්ගුණො ව්‍යව්‍යායශච කාමශ්චාෂ්ටගුණඞ ස්මෘතඞ

 

එවන් සමාජයක් තුළ බුද්ධ ශාසනයක් තුළ යමෙකුට ලැබිය හැකි ඉහළම තත්ත්වය වන ඒ උතුම් වූ අරිහත්වය පවා ලැබීමේ වරම කාන්තාවන් හට ලබා දුන්නෙ අපගේ, ඒ උතුම් මහා ප්‍රජාපතී ගෝතමී උත්තමාවිය නිසාවෙන්මය. සැබැවින්ම අපගේ ගෞතම බුද්ධශාසනය සම්පූර්ණ කරන ලද්දේ ඇය නිසාය. එනම් ඕනෑම බුද්ධ ශාසනයක් සම්පූර්ණ වන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවුවණක් පිරිසම ශාසනයේ පහළ වූ පසුය. එදා ඇය කාන්තාවන්ට පැවිද්ද ලබා දීමට මූලිකත්වය ගැනීමත් සමග කාන්තාවන් පවා මිනිසුන්ගෙන් පමණක් නොව දෙව් බඹුන්ගෙන් පවා වන්දනාමාන ලැබීමට සුදුසු පිරිසක් බවට පත්විය.එය කාන්තාවන් දෙස මෙපමණ කලක් පිරිමින් තුල තිබූ දෘෂ්ඨිකෝණය මුළුමුනින්ම කණපිට හැරවීමක් විය. මහා කුලවත් බ්‍රාහ්මණයන්ට පවා කාන්තාවන් ඉදිරිපිට දණගසා වැදීමට සිදු විය. මෙවැනි සිදුවීම් නිසා බුද්ධ කාලයේ ඉන්දියාවේත්, ඉන්පසු ලංකාවේත් කාන්තාවන්ගේ සමාජ මට්ටම අන් සමාජයන්ට සාපේක්ශව යහපත් තත්ත්වයකට පත් වීමට හේතු විය. මේ සියල්ල පිටුපස් සිටින ඒ ප්‍රධාන චරිතය වන්නේ අපගේ මහා ප්‍රජාපතී ගෝතමී උත්තමාවියයි.

 

මහා ප්‍රජාපතී තෙරණින් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ගෙන, වීර්යය වඩා නොබෝ දිනකින්ම රහත් ඵලයට පත් වූ සේක. සෙසු තෙරණියෝ නන්දකෝවාද සූත්‍රය අසා උත්තම රහත් බෝධියට පැමිණ වදාළ සේක. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත ගොස් වැඳ එකත් පස්ව සිටි කළ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා

 

” එතදග්ගං භික්ඛවෙ මම සාවිකානං භික්ඛුණීනං චිරරත්තඤ්ඤුතං යදිදං මහා ප්‍රජාපතී ගෝතමී” යනුවෙන් මහණෙනි, මාගේ ශාසනයෙහි ශ්‍රාවිකාවන් අතර පැවිදි වී බොහෝ කල් ඉක්ම වූ භික්ෂුණීන් ගෙන් මේ මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ අග්‍ර වන්නේ යැයි වදාරා අගතනතුරෙහි පිහිටුවා වදාළ සේක.

 

මෙසේ කලක් ගතවද්දී සාරිපුත්ත ,මොග්ගල්ලාන, රාහුල, නන්ද, යශෝධරා, ඛේමා,උප්පලවණ්ණා යන රහත් උත්තම උත්තමාවියන් පිරිනිවන් පානු යැයි බලා වදාරා තමන් වහන්සේගේද වයස අවුරුදු එකසිය විස්ස යැයි දැක පිරිනිවන් පෑමට අධිෂ්ඨාන කරගත්සේක. මෙය ඇසූ අනිකුත් භික්ෂුණීන් වහන්සේලාද අප ඔබවහන්සේ සමඟ එකටම ගිහි ගෙයෙහි විසුවෙමු. එකටම පැවිදි වූයෙමු. එකටම විමුක්ති රසයද වින්දෙමු එම නිසා අප එකටම පිරිනිවන් පාමු යැයි වදාළ සේක. මෙසේ සංවේගයට පත්වූ භික්ෂුණීන් පිරිසගේ සංවේගය දුරු කිරීම පිණිස එතුමිය මෙය වදාළ සේක.

 

’පරිඤ්ඤානං මයා දුක්ඛං

දුක්ඛහේතු විවජ්ජිතො

නිරොධො මෙ සචිජිතනො මග්ගොචාපි සුභාවිතො”

 

“මා විසින් දුක පිරිසිඳ දක්නා ලදය. දුකට හේතුව දුරු කරන ලදය. මා විසින් දුක්ඛ නිරෝධය පසක් කරන ලදය. මාර්ගයද මැනවින් වඩනා ලද වේ.”

 

උන් වහන්සේ මෙසේ භික්ෂුණීන්ට අවවාද කොට භික්ෂුණීන් සමඟම භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගොස්, වැඳි එකත්පස්ව සිට පැවසූ දෙය තරමක් සංවේගදායකය.

 

“අහං සුගත මාතා තෙ

ත්වංච වීරපිතා මම

සද්ධම්මසුඛදො නාථ

නාථා ජනාම්හි ගොතම

 

“සුගතයන් වහන්ස, මම ඔබගේ මව වෙමි. වීරයන් වහන්ස ඔබද මාගේ පියාවෙයි. නාථයන් වහන්ස, ඔබ මට සදහම් සුවය දුන් සේක. එනිසා ඔබ වෙතින්ම මම උපන්නෙමි”

 

‘සුගතයන් වහන්ස, ඔබගේ රූ කය මවිසින් වඩන ලදය. අනින්දනීය වූ සැප කැඳවූ මාගේ මේ දහම් කය ඔබ විසින් වඩන ලදි.

 

”මා විසින් ඔබ වහන්සේට කුඩා කල මොහොතක් පිපාසා සන්සිඳුවන කිරි පොවන ලද්දෙමි. ඔබ විසින් අත්‍යන්ත ශාන්ත වූ දහම් නමැති කිරිපොවන ලදවෙමි”

 

”මහා මුනිවරයාණෙනි, මා විසින් වැඩීමෙහි හා රැකීමෙහි ලා ඔබ ණය ගැති නොවෙති. පුතුන් කැමති යම් ස්ත්‍රීහු වෙත් නම් ඔබ වැනි පුතකු ලබත්වා”

 

මන්ධාතු ආදි රජුන්ගේ යම් මවක් වූ නම් ඕ” බව සයුරෙහි ගිලුනායැ. පුත්‍රයාණනි, ඔබ විසින් (මම) භව සයුරෙන් තරණය කරන ලදුවෙමි”

 

“රඤ්ඤො මාතා මෙහෙසිති

සුලනං නාම මිත්ථිනං

බුද්ධ මතාති යං නාමං

එතං පරමදුල්ලභං”

 

“රාජ මාතා” ‘රජ මහෙසි’ යනාදි නම් ස්ත්‍රින්ට සුලබය. ‘බුද්ධමාතා’ නාමය ලැබීම අතිශයින්ම දුර්ලභය” මෙසේ ප්‍රකාශ කරමින් තම හිස ගැටෙන සේ බුදු සිරිපා මුල වැටී වැඳ. ”ස්වාමීනි, බිහි වන කල මාගේ සහෝදරිය වූ මහාමායාදේවින්ට කිසිදු පීඩාවක් ගෙන නොදුන් මහා පුරුෂයන් වහන්ස, බිහිවූදා පටන් ලොවට සෙත සෑදූ මහා කාරුණිකයන් වහන්ස, සුළු මවු වූ මා හට අමා නිවන් රස පෙවූ අමාමෑණියන් වහන්ස, සසර සැරිසැරූ කල්හිද මාගේ තිදොරින් යම් වරදක් වී නම්, සුළු මව වන මා කෙරෙහි සමා කළ මැනැවි. බුදුපියාණන් වහන්ස, මා පැවිද්ද ඉල්ලා සිටීමෙන් යම් වරදක් වී නම්, සමාවනු මැනවි. අතවැසි මෙහෙණින්ගෙන් හෝ වරදක් වී නම් සමාවනු මැනවි” යැයි වදාරන ලද්දාහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතී වැනි රහත් තෙරණියගෙන් බුද්ධ මාතාවගෙන් සිදු වූ වරදක් නොමැති නිසාවෙන් වරදක් නැතිකළ සමා කරන්නාටත් කරවන්නාටත් පලක් නොවන බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

ප්‍රජාපතී තෙරණිය සහ අනෙකුත් තෙරණියෝ තෙවරක් බුදුරජාණන් වහන්සේ වටා පැදකුණු කොට “ ස්වාමීනි, ඔබ වහන්සේගේ රූප ශ්‍රී දකින්නේ නම් ඒ මහා පිනැත්තෙකි. ඔබ වහන්සේගේ මිහිරි හඬ අසත් නම් ඒ මහා පිනැත්තෙකි. ඔබ වහන්සේගේ සිරිපා පියුම් වැන්දේ නම් ඒ මහා පිනැත්තෙකි. ඔබ වහන්සේගේ දහම ඇසී නම් මහා පිනැත්තෙකි. ස්වාමීනි, මේ සියල්ලම මවිසින් ලබන ලද්දේයි” බුදුගුණ වනා ශ්‍රාවකයන් වහන්සේලා පිළිවෙළින් වන්දනා කරන්නට විය.ඉනික්බිති ආනන්ද තෙරණුවන්ගේද ගුණ වැයූ සේක.

 

එවිට භාග්‍යවතුන් වහන්සේ “බුද්ධ මාතාවනි, ඔබ වැනි ශ්‍රේෂ්ඨ කාන්තාවකට ප්‍රාතිහාර්ය නොපා පිරිනිවන් පෑම නුසුදුසුය. ස්ත්‍රීහුද නිවන් දක්නා බැව් පැවසීමටත්, සියල්ලන්ගේ සැක දුරු වීමටත් කිසියම් ප්‍රාතිහාර්යයක් පෑව මැනවැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.

 

මහත් වූ ප්‍රාතිහාර්යයන් පාන්නට වූ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණියො බුදු සිරිපතුල් යුග වැඳ අවසර ගෙන මෙහෙණිවර තුළට පිවිස පිළිවෙළින් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ධ්‍යානයන්ට සමවැද පිරිනිවන් පා වදාළ සේක. සෙසු අතවැසි භික්ෂුණීහුද පිරිනිවන් පෑහ. මහ පොළොව කම්පා විය. අහසින් විදුලිධාරා පතිත විය .මහා මේඝයෝ ගර්ජනා කළහ. දෙවියෝ කම්පා වූහ. පොළොවට මල් වැසි වැස්සූහ. දෙවියෝද නාගයෝද, අසුරයෝද, බ්‍රහ්මයෝද සංවේග වූහ.

 

ඒකාන්තයෙන් සංස්කාරයේ අනිත්‍යයහ. යම් සේ මෝ නිවීමට ගියාහුද එසේ ශාස්තෘ ශාසනකාරිණි වූ (බුදුවදන අනුව හැසිරුණු) යම් මෙහෙණ කෙනෙක් මැය පිරිවරා සිටියාහුද පහන් සිළු හෙයින් උපදනා රහිතව නිවි ගියාහු’යි මහා ප්‍රජාපතී තෙරණිය හා අතවැසි භික්ෂුණිහු පිරිනිවී වැඩිබව දක්වා වදාල සේක.

 

බුද්ධ මාතාවගේ ආදාහනය ඉතා අලංකාරව දිව්‍ය,බ්‍රහ්ම, මනුෂ්‍ය සියල්ලෝම පවත්වන්නේය. එවිට භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා,

 

“මහණෙනි, බුදුවරයෙක් මෙබඳු ආදාහනයක් කරවූ අවස්ථාවක් නම් නැත.මෙය සියලුම මහා ශ්‍රාවකයන් ඇතුළු බුදුරජාණන් වහන්සේගෙන් යුතුව කළ එකම ආදාහනය වන්නේය. එහෙයින් මෙම ආදාහනය ආශ්චර්යය.”

 

මහා ප්‍රජාපතී ගෝතමී තෙරණියගේ දේහය සඳුන් චිතකයෙහි දැවී ධාතු ශරීරය පමණක් මුතු ඇටමෙන් බබළන්නට විය. භාග්‍යවතුන් වහන්සේ එම ධාතුන් ශ්‍රී හස්තයෙන් පිළිගෙන ප්‍රජාපතී ගෝතමී තෙරණියගේ ගුණ මෙසේ වැයූ සේක.

 

”මහතො සාරවන්තස්ස යථා රුක්වස්ස තිට්ඨතො

යො සො මහන්තරො ඛන්ධො පලුජෙය්‍ය අනිච්චතා

තථා භික්ඛුනී සංඝස්ස ගොතමී පරිනිබ්බුතා’

 

“හර ඇති පවත්නා මහා රුකෙක යම් ඒ ඉතා මහත්වූ කඳ යම් සේ අනිත්‍යතා හේතුයෙන් වැනසියේද , එසේ භික්ෂුණි සංඝයාගේ මහත් කඳ වූ ගෝතමි පිරිනිවියහ” මෙසේ උත්තම සම්බුදු සසුනෙහි භික්ෂුණිත්වය උරුම කළ කාන්තා විමුක්තිය උදා කළ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය පිරිනිවී වැඩි සේක.

 

 

අනුශාසනාව 

පූජ්‍ය , තෙලඟපාත ධම්මජෝති ස්වාමින් වහන්සේ