සාර්ථක යුග දිවියකට තව දුරටත් එච්අයිවී බාධාවක් නොවෙයි

දෙසැම්බර් 4, 2019

ඒ රූපවාහිනී වැඩ සටහනට මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ රුධිර පාරවිලයනයෙන් එච්අයිවී ආසාදනය වූ වෛද්‍ය කාමලිකා අබේරත්න සහභාගී වන රූපවාහිනී සාකච්ඡාවකි.

වැඩ සටහනට ලෝක ඒඩ්ස් දිනය තේමා කරගත්තක්. ගතානුගතික ලෙස වැඩසටහන පවත්වන්නට නිෂ්පාදක කණ්ඩායම සූදානම් වෙද්දී මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අපූරු අදහසක් ඉදිරිපත් කළා. අපි කාමලිකාට එන්න කියලා එයාව වැලඳ ගෙන කම්මුලට හාදුවකුත් දීලා පිළිගනිමු. මහාචාර්යතුමාගේ අදහස ක්‍රියාත්මක වුණා. ඒ සාදර පිළිගැනීමෙන් වැඩ සටහන් සිය දහස් ගණනකින් කිවයුතු දේ සැණෙකින් කියවුණා. සැබැවින්ම එච්අයිවී ආසාදනය වීම, ඒඩ්ස් රෝගයෙන් පීඩා විඳීම කිසිසේත්ම සමාජ අවමානයට ලක්විය යුත්තක් නොවෙයි. අඹු සැමියන්ට සුපුරුදු පරිදි යුග දිවිය පවත්වා ගෙන යාමට හැකි තරම් රෝගය පාලනය කළ හැකි ඹෟෂධ දැන් තිබෙනවා. කල් ඇතිව රෝගය හඳුනා ගෙන ප්‍රතිකාර ගැනීමෙන් දීර්ගායු බුක්ති විඳින්නත් පුළුවන්.

එච්අයිවී, නැත්නම් ඒඩ්ස් වාසනාවකට තවමත් අපේ රටේ බරපතළ ගැටලුවක් නෙවෙයි. ආසියාතික රටවල් අතරින් මාල දිවයින, පකිස්තානය. නේපාලය, භූතානය, ලංකාව යන රටවල් එච්අයිවී, ඒඩ්ස් රෝගීන්ගේ යම් අඩුවක් දක්නට ඇති නමුත් කිසිසේත්ම සතුටු වීමට නම් බැහැ. මේ රටවල් අතරින් වැඩියෙන්ම අලුතින් රෝගීන් හඳුනා ගන්නා රට ලංකාවයි. 2019 වසරේ අපේ රටේ රෝගීන් 314 ක් අලුතින් හඳුනාගෙන තිබෙනවා. වාසනාවකට දැන් මවගෙන් දරුවාට එච්අයිවී ආසාදනය වීම 2013 වසරේ සිට වළක්වා ගැනීමට හැකිවී තිබෙනවා. මවක වූ සැණින් වී.ඩී.ආර්.එල්. පරීක්ෂණය සහ එච්අයිවී සඳහා පරීක්ෂණ සායන හරහා සිදු කරනවා. පෞද්ගලිකව ආරක්ෂා කරමින් සියලු පරීක්ෂණ ඉතා රහසිගතව සිදුකරනවා. ඔබේ දරුවා රැකගන්න. “ගැබිනි මවුවරුනි එච්අයිවී පරීක්ෂාව මාතෘ සායනයෙන් සිදු කරගන්න.” ඒ රජයෙන් සියලුම මවුවරුන්ට ලබා දෙන පණිවුඩයයි. 2018 දී අපේ රටේ දරුවන් තුන් ලක්ෂ විසිඅට දහසක් ඉපදුණා. ගැබිනි මවුවරුන්ගෙන් සියයට 95 -96 ක් පූර්ව සායනවලට සහභාගීී වී එච්අයිවී, සිෆිලිස් සඳහා පරීක්ෂා කරගත් නිසා එක දරුවකුටවත් මවගෙන් රෝග තත්ත්වය ආසාදනය වුණේ නැහැ.

ලෝකයේ එච්අයිවී ආසාදනය වූවන් මිලියන 37 කට වඩා ජීවත් වන අතර එය ගෝලීයකරණය වූ ලොවක සියලුම රටවලට දැවැන්ත අභියෝගයක්. මේ රෝගීන්ගෙන් සියයට 79 ක් පමණ තමන් රෝගයෙන් පීඩා විඳින බව දන්නවා. සියයට 62 ක් ඇන්ටිරෙට්රොවයිරල් ඹෟෂධ ලබාගෙන රෝගය පාලනය කරගෙන සිටිනවා.

 

2019/12/04 තරුණි බලන්න         

උපදෙස් විශේෂඥ වෛද්‍ය 
චන්ද්‍රිකා ජයකොඩි
ලිංගාශි‍්‍රත බෝවන රෝග පිළිබඳ විශේෂඥ  වෛද්‍ය 
ලිලානි රාජපක්ෂ