අඳුරු ලාදුරු දුරු කරමු

සැප්තැම්බර් 11, 2023

ලාදුරු රෝගය පිළිබඳ මේ දිනවල වඩ වඩාත් ඇසෙන්නට පටන් අරන්. දරුවන් අතර ලාදුරු රෝගය පැතිර යාමේ ප්‍රවණතාවක් හටගෙන ඇති බැවින් මාපියන් යම් තරමක තිගැස්සීමකට ලක් වී ඇති බවත් නොකියාම බැහැ.

 

ලංකාවේ වසරකට ලාදුරු රෝගීන් 1500 ත් 2000 ත් අතර පිරිසක් වාර්තා වේ. මේ අතරින් සියයට දහයක් පමණ සිටින්නේ දරුවන් ය. වසරකට කොතරම් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුවත් ඒ අතර සිටින දරුවන් ප්‍රමාණයේ ප්‍රතිශතය පසුගිය විසි වසර පුරාවටම වෙනස් වී නැත. ඒ අනුව පසුගිය වසරේ හඳුනාගත් ලාදුරු රෝගීන් ප්‍රමාණය 1400 කින් ඔවුන්ගෙන් 147 ක්ම දරුවන් ය. එනම් අවුරුදු 15ට අඩු අයයි.

දරුවන් ලාදුරු රෝගීන් ලෙස හඳුනා ගැනීමත් සමඟින් ගම්‍ය වන්නේ සමාජය තුළ තවමත් ලාදුරු රෝගය පැතිර යාමේ ප්‍රවණතාවක් ඇති බවයි.

 

ලාදුරු රෝගය යනු කුමක්ද?

ලාදුරු මයික්‍රෝ බැක්ටීරියම් ලෙප්‍රේ යන බැක්ටීරියාව මඟින් බෝවන රෝගයකි. එය කෙනකුගෙන් තවත් කෙනකුට බෝ වන්නේ ශ්්වසන මාර්ගය හරහායි. රෝගය බෝ කළ හැකි මට්ටමේ රෝගීන් සිටියි. ඔවුන්ගේ නාසයේ, මුඛයේ ශ්ලේෂ්මල පටල යට විෂබීජ අතිවිශාල සංඛ්‍යාවක් පවතී. මේ විෂබීජ ඔවුන් හුස්ම ගන්නා විට, කිවිසුම් යනවිට, කැස්සක් ඇති වූ විට පිටවන කෙළ සහ සෙම බිඳිති හරහා පරිසරයට මුදා හැරෙයි. මේ බිඳිති තවත් කෙනෙකුගේ ශ්්වසන මාර්ගය හරහා ඔවුන්ට ශරීරගත වීමෙනුයි රෝගය බෝ වන්නේ.

ලාදුරු රෝගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවන්නට ඉතා දිගු කාලයක් ගතවේ. ඒත් සමීප ඇසුරක් පැවතුණහොත් පමණි. විනාඩි 10 කින් 15කින් ලාදුරු රෝගය තවත් කෙනකුට බෝ නොවේ.

එසේම යම් කෙනෙකුට විෂබීජයක් ශරීරගත වුවහොත් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ විෂබීජය ශරීරගත වූ අයගෙන් සියයට දහයක් පමණ වූ සුළු පිරිසකට පමණි.

විෂබීජය ශරීරගත වීමේ සිට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සඳහා එනම් බීජෞෂණ සමය සඳහා ගතවන කාලය වසර දහයක් දක්වාම දිවේ.

දරුවන් අතර ලාදුරු රෝගය පැතිර යාමෙන් වැටහෙන්නේ පසුගිය වසර කිහිපයකට පෙර සිටම මෙම රෝගය පැතිර ඇති බවයි.

දරුවන් අතරට ලාදුරු රෝගය ඇවිත්. ඒ නිසා පාසල් නොයා තැබිය යුතුයි වැනි අනිසි බිය ඇති කරගන්න එපා. දරුවන්ගෙන් අති බහුතරයකට රෝග ලක්ෂණ පෙන්නුම් කරනුයේ ඉතාම සුළු වශයෙනි. ශරීරයේ කොතැනක හෝ ඇතිවෙන තනි ලපයක් මෙහිදී දක්නට ලැබේ. මෙය අළුහමක් මෙන් සමේ පැහැයට වඩා තරමක් අඩු පැහැයෙන් යුතු ව දක්නට ලැබේ. මෙහි ඇති විශේෂ ලක්ෂණය වන්නේ මේ ලපයේ සංවේදනය නැතිනම් දැනීමේ අඩුවක් තිබීමයි.

ඉතා කුඩා දරුවකුගේ නම් මේ සංවේදනය පරික්ෂා කිරීම තරමක් අපහසු විය හැකියි. දරුවා එය කසන්න, කොනිත්තන්න, තුවාල කරන්න ඉඩ තිබේ. ළා පැහැති ලපයක් මෙලෙස කිරීමෙන් දරුවාට යම් දැනීමේ අඩුවක් ඇති බව වටහා ගත හැකියි. අවුරුදු පහෙන් ඉහළ දරුවන් සඳහා ටූත් පික් එකක් භාවිතයෙන් ඒ බව පරික්ෂා කළ හැකියි. ඉතාම කලාතුරකින් මුහුණේ වෙනස්කම් එනම් මුහුණ පුරවා දැමීම, ඇහි බැම, නාසය, නළල ආශ්‍රිතව ගැටිති මතුවී මුහුණ වෙනස් වූ සිරුර පුරා ලප ඇති දරුවන් දැකිය හැකියි.

මෙම දරුවන් අතරින් සියයට එකක් වැනි ප්‍රමාණයකට ස්නායු දුර්වලතා ඇති බවට හඳුනා ගන්නා අවස්ථා තිබේ.

 

ලාදුරු රෝගය දරුවන්ට බෝ වන්නේ කොහොමද?

ලාදුරු රෝගය ඇති දරුවන් පරික්ෂා කළහොත් ඔවුන්ගේ පවුලේ අයගෙන් සියයට තිහකට පමණ ලාදුරු රෝගය තිබේ. පාසල තුළ එක් දරුවකුගෙන් තවත් දරුවකුට ලාදුරු රෝගය බෝ වූ අවස්ථා මෙතෙක් හමු වී නොමැත. පාසලක දරුවකුට ලාදුරු රෝගය ඇතැයි හඳුනා ගත්තොත් එය දරුවන් පාසල් නොයවා තැබීම, වෙනමම තැබීම, වෙනමම සැලකීම, වෙනමම ප්‍රතිකාර කිරීම සිදු නොකෙරේ. මේ දරුවා සාමාන්‍ය දරුවකු ලෙස සලකා ප්‍රතිකාර කෙරේ. දරුවකු ලාදුරු සායනවලට ඒම සඳහා සෙනසුරාදා දිනය විවෘතව තබන්නේ ද දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් විය හැකි නිසයි. බොහෝ විට දරුවන් අතර ඇත්තේ අන් අයට බෝ නොවන ලාදුරු රෝගයයි.

ප්‍රතිකාර ඇරැඹි පසු රෝගය බෝ කිරීමේ හැකියාව ඉතා ඉක්මනින් අඩුවේ. පළමු ප්‍රතිකාරය ලබා ගත් විට විෂබීජ විශාල සංඛ්‍යාවක් මිය යයි. බෝවන මට්ටමේ ලප ඇතත් ප්‍රතිකාර ලබා සතියක් පමණ ගිය පසු රෝගය බෝවීම අවම වේ.

පාසලක හෝ පන්තියක එක් දරුවකුට ලාදුරු රෝගය තිබේදැයි හඳුනා ගත්තත් ඒ දරුවා පාසල් නොයවා සිටින ලෙසත්, තමන්ගේ දරුවා පාසල් නොයවා සිටීමට උත්සාහ කරන්නටත් අවශ්‍ය නොවේ.

 

ප්‍රතිකාර කරන්නේ කොහොමද?

දරුවාගේ වයස සහ බර අනුව ප්‍රතිකාර කිරීම එකිනෙකට වෙනස් වෙයි. අවුරුදු 10 - 14 වයසේ පසුවන දරුවන්ට ලෝක සෞඛ්‍ය සංවිධානය කාඩ්පතක් ලබා දෙයි. බහු ඖෂධ ඖෂධ ප්‍රතිකාරය නම් වූ මෙය නිල් පැහැති එකකි.මේ සඳහා ඖෂධ වර්ග වර්ග දෙකක් අඩංගු වන අතර මාස හයක කාලයක් ලබාදේ.

බෝ වන මට්ටමේ ලාදුරු රෝගය ඇති දරුවන්ට ඖෂධ වර්ග දෙකක් මාස 12 ක කාලයක් ලබා දෙයි. මේ ඖෂධ කාඩ්පත දුඹුරු පැහැයෙන් යුතු එකකි.

අවුරුදු 10ට අඩු හෝ කිලෝ ග්‍රෑම් 30 ට අඩු බර ඇති දරුවන්ට නිල් හෝ හෝ දුඹුරු පැහැ කාඩ්පතින් කොටසක් පමණක් ලබාදේ. සිරප් වර්ග නොමැති බැවින් ඉතාම කුඩා දරුවන්ට ඖෂධ ලබාදීම තරමක් ගැටලු සහගත අවස්ථාවක් වේ. නමුත් අවුරුදු පහට අඩු ලාදුරු රෝගය හැදුණු දරුවන් අපේ රටේ සිටිනුයේ ඉතාම අවම වශයෙනි.

ප්‍රතිකාර ප්‍රත්‍යක්ෂයයි. දරුවන්ගේ අති බහුතරයක් ඉතාම ඉක්මනින් සුව අතට හැරේ. ඉතා කලාතුරකින් හමුවන ස්නායු දුර්වලතා ඇති දරුවකුට නම් රෝගය සුව වීමට යම් කාලයක් ගත වේවි. දරුවකුට ලාදුරු රෝගියකු සැක කළ හැකි රෝග ලක්ෂණ තිබේ නම් වහාම ළඟම ඇති රෝහලේ සමේ රෝග සායනයට යොමු වන්න. එතැනදී රෝග විනිශ්චය සහ ප්‍රතිකාර නොමිලේම ලබා දෙයි.

ශ්‍රී ලංකාවේ දරුවන් අතර ලාදුරු රෝගය පිළිබඳ වැඩිපුර කතා බහ කරන්නට වී ඇති එක් හේතුවක් වන්නේ ලෝකය පුරා ලාදුරු රෝගය වැලඳුණු දරුවන් සිටින්නේ සියයට 4ක් වැනි සුළු ප්‍රමාණයකි. අපේ රටේ එය සියයට 10ක් වැනි ප්‍රමාණයකි. අපේ රට දරුවන් අතර ලාදුරු රෝගය ඉහළ මට්ටමේ ප්‍රතිශතයක් පෙන්වන රටක් නිසා රෝගය පැතිරීම අවම කිරීමේ දැඩි අවශ්‍යතාවක් තිබේ.

ඔබ සැමගේ සහාය ලැබේ නම් දරුවන් අතර ලාදුරු රෝගය පැතිරීම සහ ශ්‍රී ලංකාව තුළ ලාදුරු රෝගය වාර්තා වීමට තිත තබන්නට හැකි වේවි.

 

 

උපදෙස් :

චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ඉන්දිරා කහවිට