නිපා වයිරසයට බොරු බය එපා

ඔක්තෝබර් 2, 2023

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ ව්‍යාප්ත වෙමින් පවතින අලුත්ම වයිරසයක් සම්බන්ධයෙන් අසල්වැසි රටවල් තරමක් කලබල වෙලා. ශ්‍රී ලාංකික අපිටත් අසල්වැසි රටක් ලෙස ඒ පිළිබඳ හිතන්න වෙනවා. මේ තමයි නිපා වයිරසය.

මෙය අලුත්ම වයිරසයක් නොවේ. පසුගිය වසර පහක කාලය තුළ ඉන්දියාව නිපා වයිරසය පැතිරයාම සම්බන්ධයෙන් මුහුණදෙන හතරවන අවස්ථාව මෙයයි. මුලින්ම නිපා වයිරසය වාර්තා වූයේ 1998 වසරේ දී මැලේසියාවේ ඌරන් ඇති කරන ගොවිපළකිනි. බංග්ලාදේශය, ඉන්දියාව සහ පිලිපීනය වැනි රටවල නිපා වයිරසය වරින් වර වාර්තා වී තිබේ.

සරම්ප, කම්මුල්ගාය... වැනි වයිරස අඩංගු Paramyxoviridae නමැති වයිරස පවුලට නිපා වයිරසය ද අයත් වේ.

 

නිපා වයිරසය ඇත්තේ කොහෙද?

මෙම වයිරසය ඇත්තේ ශාක භක්ෂක වවුල් විශේෂවල හෙවත් ටෙරොපස් වවුල් විශේෂ අතරයි. මෙම වවුලන් ලෝකය පුරා පැතිර සිටියි. මැඩගස්කරයේ සිට දකුණු ආසියාව, අග්නිදිග ආසියාව හා ඕස්ට්‍රේලියාවේ කොටසක් දක්වාම මෙම වවුලන් සිටියි.

 

වයිරසය බෝවන්නේ කොහොමද?

ඉහත කී වවුල් විශේෂයේ වවුලන්ගේ ඛේටය, මල සහ මුත්‍රා ඔස්සේ මෙය බෝවේ. ශාක භක්ෂක සතුන් වන මොවුන් ආහාරයට ගන්නා පලතුරුවල ඔවුන්ගේ ඛේටය තැවරේ. එම පලතුරු තවත් සතෙක් හෝ මිනිසුන් කෑ විට වයිරසය ශරීරගත වීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩි වේ.

මිනිසුන් අතරට මෙම වයිරසය පැතිර ගියවිට ඔවුන් ඉතාම සමීප ඇසුරක් පවත්වන අයට ඉතාම කලාතුරකින් රෝගය සම්ප්‍රේෂණය විය හැකියි.

රෝග ලක්ෂණ

මෙහිදී කැස්ස හෙම්බිරිස්සාව සමඟින් තරමක නිව්මෝනියා තත්ත්වයක් හටගනී. මොළය දක්වා ගිය විට මොළයේ ප්‍රදාහ ඇතිවේ. එය හානිකර තත්ත්වයකි. ඉතාම සුළු සංකූලතාවන් ගේ සිට මරණය දක්වාම වූ පරාසයක් තුළ එක් එක් අයට එක් එක් අන්දමින් සංකූලතා ඇතිවිය හැකියි.

මෙවර කේරළයේ පැතිර ගිය තත්ත්වය හය දෙනකුට ආසාදනය වී ⁣දෙදෙනකු මිය ගොස් තිබේ. මේ තත්ත්වය වරින්වර වෙනස් වේ.

 

ප්‍රතිකාර

මේ සඳහා විශේෂ ප්‍රතිකාර නොමැත. රෝග ලක්ෂණවලට අනුව ඒවාට ප්‍රතිකාර කිරීම සිදු කරයි.

නිපා සඳහා එන්නතක් තිබේද?

තවම එන්නතක් සොයා ගෙන නොමැත. නිපා වයිරසය සඳහා එන්නතක් පිළිබඳ පර්යේෂණ මට්ටමේ පවතී.

 

වළක්වා ගැනීම

මෙම වයිරසය පැතිරෙන සමයේ සතුන්ගේ නිය පහර හෝ වැදී ඇති පලතුරු කෑමට ගැනීම සුදුසු නොවේ. පලතුරු හොඳින් සෝදා ගත යුතුය. වවුලන්ගේ ඛේටය, මල, මුත්‍රා සඳහා කිසි විටෙකත් නිරාවරණය නොවිය යුතුයි.

සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද

මුව ආවරණ පැලඳීම, දෑත් සේදීම වැනි සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම තමාගේ ආරක්ෂාවට වැදගත් වේ.

 

අවදානම් කාණ්ඩ

ඕනෑම රෝග තත්ත්වයකදී කුඩා දරුවන් ගැබිනි මවුවරුන්, වයසක අය, ප්‍රතිශක්තිකරණය අඩු අය, හෘද රෝග, බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් කුමන වයිරසය පැතිර ගියත් එම වයිරසවලින් හැකි තරම් ආරක්ෂා විය යුතුයි.

නිපා වයිරසය ශරීරගත ව ඇත්දැයි නිරීක්ෂණය කරන සායනික ක්‍රමවේදය මේ සඳහා අනුගමනය කරන්නේත් PCR ක්‍රමවේදයයි.

මෙය මෙතෙක් ලංකාවේ වාර්තා නොවූ වයිරස විශේෂයකි. දැනට ඇති තත්ත්වය අනුව ලංකාවේ මෙම වයිරසය පැතිර යෑම සම්බන්ධයෙන් ඉතා අඩු අවදානමක් සහිත රටකි.

 

සංචාරකයින්ගේ පැමිණීම

සංචාරකයන්ගේ පැමිණීම සම්බන්ධයෙන් බොහෝ අයට ඇත්තේ චකිතයකි. කේරළ ප්‍රදේශය ලොක්ඩවුන් කර ඇති බැවින් ඉන්දියාවේ වෙනත් ප්‍රදේශවලට හෝ මෙම වයිරසය දැනට පැතිර ගොස් නොමැත. මේ නිසා සංචාරකයන්ගේ පැමිණීම සම්බන්ධයෙන් බියක් ඇතිකර ගත යුතු නැත.

 

නිපා වයිරසයේ පැතිර යෑම

සමාජ මාධ්‍යවල කොවිඩ් වයිරසයේ පින්තූර භාවිත කරමින් නිපා වයිරසය පිළිබඳව තොරතුරු හුවමාරු වේ. යම් හෙයකින් ලංකාව තුළට නිපා වයිරසය ඇතුළු වුවහොත් වෛද්‍ය පර්යේෂණ ආයතනය ඒ සඳහා මුහුණ දීමට හොඳ සූදානමකින් සිටියි.

 

උපදෙස් : සායනික වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සාරංග සුමතිපාල

 

 

 

ආශිර්වාදිනි හෙට්ටිආරච්චි