හොඳ පුරුදු අවුරුදු නැකැතට පමණක් සීමා නොකරමු

අප්‍රේල් 24, 2019

සිංහල බෞද්ධයන් සහ හින්දු බැතිමතුන්ගේ ජාතික උත්සවයක් වූ සිංහල - හින්දු අලුත් අවුරුද්දත් ගෙවී ගියා. සියලු නැකැත් චාරිත්‍ර එකම වේලාවකට ඉටුකළ අප හැමගේ උදාර ප්‍රාර්ථනය වූයේ සාමය, සතුට, සෞභාග්‍යය, නිරෝගීකම සහ සහජීවනය සැමට එක ලෙස උදාවේවා යන්නයි.

එකම සුබ නැකැතකට මුළු මහත් ජනතාවක් ඒකරාශී වෙමින් පැවැත්වෙන මෙවන් ජාතික උත්සවයක් ඇති එකම රට අපම වනු ඇත.

මා දන්නා තරමින් එකම වේලාවකට මුළු ජාතියක් චාරිත්‍ර-වාරිත්‍ර ඉටු කරන වෙනත් රටක් ලොව කොහෙත් නැත.

සුබ නැකැතින් සිංහල ක්‍රමයට වසර ආරම්භ කරන අලුත් අවුරුද්දේ සුබ නැකැතට චාරිත්‍ර ඉටුකිරීම කෙසේ වෙතත් අලුත් අවුරුද්ද කියූ සැණින් බොහොමයකගේ සිත දුවන්නේ අලුතින් ඇඳුම් පැලඳුම් ගන්නටය. එසේ ගත් ඇඳුම් ඇඳගෙන කෑම බීම බෙදන, නෑගම් යන බොහොමයක් මෙහි තිබෙන සැබෑ වටිනාකම් හඳුනා ගන්නේ ද යන්න සැක සහිතයි.

සුබ නැකැතට ළිප ගිනි මෙළවීම, වැඩ ඇල්ලීම, අනුභව කිරීම, ගනුදෙනු කිරීම, හිසතෙල් ගෑම යනාදිය හොඳ පුරුදු අවුරුදු නැකැතට පසුවත් ප්‍රගුණ කරන්නේ නම් ජාතියක් ලෙස අපට කොතරම් දුර ගමනක් යා හැකිද? වෙලාවට වැඩකිරීම සම්බන්ධයෙන් අපට සතුටු විය හැකිද? සමහර රාජ්‍ය නායකයන් පවා මේ ගැන සැලැකිලිමත් නොවීමේ පූර්වාදර්ශය අපි දනිමු.

ජාතියක් ලෙස ගොඩ නැගීමේ දී වෙලාවට වැඩ කිරීම යන කාරණය ප්‍රමුඛ වේ. කලට වේලාවට වැඩ කිරිම තුළ අපට බොහෝ දේ ළඟාකර ගත හැකියි.

ප්‍රමාද වී රාජකාරියට වාර්තා කිරිමත් වේලපහ රාජකාරිය නිම කිරීමත් මේ රටේ බොහෝ දෙනාගේ පුරුද්දය. උදෑසනම අවදිව කල් වේලා ඇතිව වැඩ පටන් ගැනීම තුළ අපට බොහෝ දේ ළඟා කර ගත හැකි වනු ඇත.

අවුරුදු උදාවේ සුවඳ තවමත් පැතිරෙන මේ මොහොතේ වෙලාවට වැඩ කිරීම සම්බන්ධයෙන් මීට වඩා සැලකිලිමත් වුවහොත් අදට වඩා හෙට දවස අනිවාර්යයෙන්ම සතුටුදායක වනු ඇත. මේ බව ඔබේ හිතේ අවධාරණය කර ගන්නට මීට වඩා වෙන දවසක් තවත් නැත. කලට වේලාවට වැඩ කිරීමේ පුරුද්ද පුරුදු කර ගත්තොත් ඔබ අප පමණක් නොව රටක් වශයෙන් ද දියුණු වීම වළකනු බැරිය.

උදෑසන අවදි වන්නට අප වේලාවක් තබාගත යුතුය.නින්දට යන්නට වේලාවක් තබාගත යුතුය. කෑමට, බීමට වේලාවක් තබා ගත යුතුය. වැඩ කිරීමට වේලාවක් තබා ගත යුතුය.

ඉගෙන ගැනීමට වේලාවක් තබා ගත යුතුය. වෙලාවට අනුභව කිරීම දෛනික පුරුද්දක්කර ගත් විට අපට ඇසෙන්නට දකින්නට තිබෙන බොහෝ බෝ නොවන මාරාන්තික රෝගාබාධ තුරන්වෙලා යාවි.

හිස තෙල් ගෑමේ චාරිත්‍රය අකුරටම ඉටු කරන්නේ නම් හිසේ සිට දෙපතුළ දක්වා ඉහෙන් බහින රෝගයක් නොසෑදේ යන්න පැරැන්නන්ගේ පුරාණ මතයයි.

නැකැතට හිසතෙල් ගාන උදවියගෙන් කීයෙන් කීදෙනකු පසුව සතියකට වරක්වත් හිස තෙල් ගාන්නේද? කාන්තා පාර්ශ්වය කෙසේ වෙතත් අපේ පුරුෂ පාර්ශ්වය මෙවැනි පුරුදු එක් කනකින් අසා අනෙක් කනින් පිටකර දමනු මිස කරන බවක් නම් නොපෙනේ.

වර්තමානයේ සිදුවන බොහෝ සිදුවීම් දෙස බැලීමේ දී පුරුෂ පාර්ශ්වය වගකීම් රහිත ලෙස කටයුතු කරන විලාසය එන්න එන්නම වැඩිවී ඇත.

මෙය ජාතියක් ලෙස අප පිටුපසට ඇඳ දමන හේතු කාරණාය. ලොව දුකින් තොර නිරෝගී ජීවිතයක් ළගාකර ගැනීමට නම් වෙලාවට ආහාර අනුභව කිරීම සේම හිසතෙල් ගෑම ද කළ යුතුය.

එවිට අපට අපගේ රාජකාරි කිසිදු බාධාවනින් තොරවකර ගැනීමට ඉඩ කඩ සැලසේ.

බොහෝ කාර්යාලවල සේවක සේවිකාවන් නිරන්තරයෙන් තම මේසයේ හිස ඔබාගෙන සිටීම ඔබට හුරු පුරුදු දර්ශනයක් බවට නම් සැක නැත.

හේතුව විමසූවිට බොහෝ විට කියන්නේ හිසේරුදාව බවයි.

නිදා සිටින ජාතියකට නැඟී සිටිය හැකිද? එසේ නම් නීරෝගීකම රැක ගැනීම, නීරෝගී පරපුරක් රටක සිටීම ඒ රෙටි විශාල භාග්‍යයකි.

ඉතියෝපියාව, සෝමාලියාව වැනි රටවල් ගත්විට ඒ රටවල කන්නට බොන්නට නොමැතිව මිනිස්සු හාමතේ මැරෙති. ජපානය, ඉන්දුනීසියාව වැනි රටවල මෙන් නිතර නිතර ස්වාභාවික විපත් අප රටේ දකින්නට නැත. සූඩානය, ඉරානය, ඉරාකය වියට්නාමය වැනි රටවල මෙන් බිහිසුණු යුද වාතාවරණයක් දැන් අප රටේ නොමැත.

මෙවන් වාසනාවන්ත වූ ද්වීපයකයට ලෝකය හමුවේ ඉදිරියට යෑමට ඇති බාධකය කුමක්ද?

ජාතියක් ලෙස අපගේ ගමන බොහෝ මන්දගාමී වීමට බලපා ඇත්තේ එකමුතුකම, සහජීවනය අප එකිනෙකා තුළ නොතිබීම නිසා නොවේද? හැම තැනකම ඇත්තේ කුලල් කා ගැනීම්ය. තමාට නො ලැබෙන දේ අනෙකාට ලැබෙන විට දරාගත නොහැකි පිරිස් දැන් දැන් එන්න එන්නම වැඩි වී ඇත.

නැතිනම් උත්සාහ කරනුයේ තමා කෙසේ හෝ ඉහළට නැඟීමටය.

හරි හම්බ කිරීමටය. අවට සිටින්නන්ට කුමන් වූවත් කම් නැත යන සිතුවිල්ලලෙන් ඔළුව පුරවාගත් පිරිස්ය.

මෙවැනි වාතාවරණයක් තුළ රටක් ලෙස ඉදිරියට යා හැකිද? ඔබ ඔබට ආදරය කරන්නේ යම් සේ ද....... ඔබගේ වටිනාදේ රැක ගන්නේ යම් සේ ද එලෙසම අනෙක් අය ගැනත් සිතන්නට පුරුදු වන්න.

ඔබට යමක් අහිමි වූ විට දැනෙන දුක අනෙකාට ද එලෙසම දැනෙනු ඇත. එනිසා ජාතියක් ලෙස අප ඉදිරියට යන්නට නම්...... බරපතළ කාරණා සපුරා ගන්නට කලින් පුංචි පුංචි දේවල් අප හදාගත යුතුය.

කලට වේලාවට වැඩ කිරීම, නීරෝගී පරපුරක් බිහිවීම උදෙසා කලට වේලාවට කෑම බීම ගැනීම වගේම සිතුවිලිවලින් ද තවත් කෙනකුට බරක් නොවන ලෙස ජීවත් වීමේ පුරුද්ද ඇතිකරගත යුතුය.

සුබ නැකැතට සුබ පතමින් හදවතින්ම වැළඳගත් ඔබට ඊට පසුවත් අවංකව එසේ මිතුරන් .....ඥාතීන් ....අතරේ මිතුදම පතුරන්නට හැකි නම් ඔබ සැබෑ ලෙසම අලුත් අවුරුදු සැමරූ අයකු වනු ඇත.