කාටත් හොරා නිවෙසට එන සන්නාසීන් ගෙන්

දරුවන් ආරක්ෂා කරගනිමු
නොවැම්බර් 13, 2019

 

මට ළමා කාලයේ දී මගේ තාත්තා දුන් අවවාදයක් සිහියට නැඟිණි. “පුතේ, ඔයාලා නාඳුනන කිසි කෙනෙක් එක්ක කතාකරන්න එපා. එහෙම කෙනෙක් දෙන කිසි දෙයක් ගන්නත්, කන්නත් එපා” ඒ අවවාදයයි.

තාත්තා මටත්, මගේ සහෝදරයන්ටත් ඒ අවවාදය දුන්නේ අප කුඩා කාලයේ ගම්වල සැරිසැරූ ‘සන්නාසි‘ නම් පිරිසක් නිසාය.

වර්තමානයේ මෙන් තාක්ෂණය දියුණුව නොතිබුණු එදා ගම්වල සැරිසැරූ විවිධ මිනිසුන් මට මතකය. හිඟන්නෝ, පුලන්නෝ, සාස්තර කියූ ගැහැනු, නයි සහ රිලවුන් නැටවීමට පැමිණි අහිගුණ්ඨික මිනිසුන්, මණිබඩු වෙළෙන්ඳෙී, මාළුකාරයෝ මෙන්ම පරණ කෝට් කියමින් එන පැරැණි බඩු මිලට ගත් වෙළෙන්දෝ ආදී බොහෝ නාඳුනන මිනිස්සු අපේ ගම්වලට පැමිණියහ.

එහෙත් සන්නාසි යනුවෙන් වැඩිහිටියන් හැඳින්වූයේ නාඳුනන මිනිසුන්වය. ඔවුන් ගම්වල ළමයින් රවටාගෙන කරවල වාඩිවලට ගෙන යන බවත්, එසේ ගෙන ගියහොත් ගිනි අව්වේ පිච්චෙමින් හරිහැටි කෑමක් බීමක් නොමැතිව දුක් විඳීමට සිදුවන බවත් කියමින් අපට පරෙස්සම් වන්නට මවුපියෝ කියාදුන්හ.

මේ දේවල් අප එතරම් විශ්වාස කළේ නැත. එහෙත් අපේ අසල්වැසි පිරිමි ළමයින් දෙදෙනකු හිටි හැටියේ අතුරුදන් වූ අතර දින කිහිපයකට පසුව ඔවුන් පොලීසියට හමුවී තිබුණේ හලාවත ප්‍රදේශයේ දීය. ගමට පැමිණි පසු ඔවුන් පැවසූ විස්තරය අනුව ‘සන්නාසියකු’ ඔවුන් රවටා කරවල වාඩියකට ගෙනයන්නට ලොරියකට නංවාගෙන ඇත. හලාවත මුහුදු තීරයේ දී බෝට්ටුවකට නංවාගන්නට සැරසෙද්දී දෙදෙනා දුවගොස් බේරී ඇත. එම සිදුවීමෙන් පසු අපි වඩාත් පරෙස්සම් වන්නට සිතට ගත්තෙමු.

එහෙත් අද දවසේ මෙවැනි සන්නාසීන් දකින්නට නැත. කරවල වේළන්නට ළමයින් ගෙන යන ජාවාරම් ද නැත.

ඒ නිසාම වර්තමාන දරුවන්ට එවැනි සිතක් නැත.

එහෙත් මට මගේ ළමා කාලයේ අතීත සිදුවීම් සිහිපත් වූයේ පසුගිය දිනෙක දිනමිණ පුවත්පතේ ප්‍රවෘත්තියක් දුටු විටය.

‘දෙහිවල ෆේස් බුක් සාදයේ සිටි සියයක්, මත්ද්‍රව්‍ය සමඟ දැලේ’ යන සිරසින් යුතුව එය පළකර තිබිණි.

ඒ ප්‍රවෘත්තියට අනුව දෙහිවල වැන්ඩවර්ට් වෙරළ තීරයේ සමාජ ශාලාවක් තුළ පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමඟ එහි සිටි 100 දෙනකු පොලීසිය මඟින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අතර පිරිමි පුද්ගලයන් 85 දෙනකු සහ කාන්තාවන් 15 දෙනකු සිට ඇත. ඔවුන් මාතර, ගාල්ල, ගම්පහ, නුවර, බදුල්ල, කැලණිය, කොළඹ, කිරිබත්ගොඩ, අලව්ව ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි වයස අවුරුදු 16, 18, 20, 22 සිට 28, 29, 37 දක්වා අයවන බව පොලීසිය පවසයි.

මේ පිරිස හඳුනාගෙන ඇත්තේ මුහුණු පොත හරහා වීම මෙහි ඇති විශේෂත්වයයි. සැකකාර තරුණයකු නිරාහාරව සිටීමෙන් සිහි මුර්ජාවී සිට ඇති බවත් වාර්තා වේ.

මේ ප්‍රවෘත්තිය දුටු සැණින් මගේ සිත ළමා කාලයට දිව ගියේ ඇයි ? ඔබට ඒ පැනය නැඟෙනු ඇත. ඒ අතීතයේ ගම්වලට පැමිණ තරුණ තරුණියන් බිලිගත් සන්නාසීන් නැතැයි අද අපේ මවුපියන්ට සැනසීමෙන් සිටින්නට නොහැකිය. ඒ අද සන්නාසීන්ටත් වඩා භයානක පුද්ගලයන් ජංගම දුරකථනය හරහා ඔබේ නිවෙසේ දරුවාගේ කාමරය තුළටම පැමිණ ඇති බැවිනි.

වයස 17, 18 කියන්නේ උසස් පෙළ හදාරණ වයසේ දරුවන්ය. තවමත් හිරිමල් යෞවනයේ සිටින මේ දරුවන් මෙවැනි මත් සාදවලට කැඳවා ඔවුන් පළමුව මත් කුඩු, මත් වතුර සහ වෙනත් භයානක මත්වන ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවූ පසු ඔවුනට පියවි ලෝකයේ ජීවත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැත.

මෙහි වඩාත් භයානක පැත්ත වන්නේ හිරිමල් යෞවනියන් ද මේවාට යොමුවීමයි. මෙවැනි මත් සාදවලදී ඔවුනට ඔවුනගේ පෞද්ගලිකත්වය අහිමිව ජීවිතයම විනාශ වන බව දැනගන්නා විට ප්‍රමාද වැඩියි.

මේ නිසා මවුපියන් ලෙස අපට බොහෝ වගකීමක් ඇත. දරුවන් නිවෙසේ කාමරය තුළට වී තමන්ගේ පාඩුවේ සිටින බව දැන ගැනීමෙන් ඔවුන් සියයට සියයක් සුරක්ෂිත යැයි කිසිම විටෙක නොසිතන්න.

ඔවුන් හුදෙකලාවේ තමන්ගේ කාමරයට වී සිටින විට ඔවුන් රවටාගෙන යන්නට විවිධ වර්ගයේ ‘සන්නාසීන්’ පැමිණෙන්නේ ඔවුන්ටත් ඔබටත් සොරාය.

මේ නිසා අධ්‍යාපනය ලබන වයසේ දරුවනට ස්මාට්ෆෝනය අතට නොදී සිටීමට තරම් බුද්ධිමත් වන්න.

පරිගණකය නිවෙසේ පොදු තැනක තබන්න. පරිගණකයෙන්, ලැප්ටොප් පරිගණකයෙන්, ටැබ් එකෙන් දරුවන් කරන්නේ මොනවාද යන්න විමසිල්ලෙන් සිටින්න.

විශේෂයෙන් පාසල් යන වයසේ දරුවකු නම් ජ්චජඥ ඡධධඬ ගිණුම් පවත්වාගෙන යාමට ඉඩ නොදෙන්න.

සැබැවින්ම දරුවන් මල් මෙන් පිවිතුරුය. ඔවුන්ගේ ඒ පිවිතුරු බව විනාශ කර දමන්නේ බාහිර සමාජයයි. මේ නිසා දරුවන්ට යහළුවන් ලෙසින් සමීප වී ඔවුනගේ හෙට දින ලෝකය ලස්සන කරන්නට සිතට ගනිමු.

එය පෞද්ගලිකව මවුපියන් ලෙස අපගේත් පොදුවේ සමාජයේත් හෙට දිනය පැහැබර වන්නට ප්‍රබල දායකත්වයක් වේවි.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.