ආදරය, සෙනෙහස ලබාදී දරුවන් යහමඟට ගනිමු

ඔක්තෝබර් 30, 2019

‘ආදරය’ මේ ලොවේ ඇති ලස්සනම වචනයයි.

‘පේ‍්‍රමය’, ‘සෙනෙහස’ ඊට බොහෝ සෙයින් සමාන තවත් වචන දෙකකි. ආදරය යන්නට විවිධ අර්ථ කථන ඇතත් කෙනකුගේ සිතෙහි හටගන්නා ‘හැඟීමක්’ ලෙසින් ආදරය සරලව හැඳින්විය හැකිය.

එසේම ආදරය කරන තැනැත්තාට අනුව එහි ස්වභාවය ද වෙනස් වෙයි. ආදරයේ විවිධ ප්‍රභේද ඇත්තේ එහෙයිනි.

මෙයින් ලෝකයේ ඇති උත්තරීතරම ‘ආදරය’ වන්නේ මවක් තම දරුවාට දක්වන ආදරයයි. මවු සෙනෙහසයි. පියකු තම දරුවාට දක්වන ආදරය ද මීට නොදෙවැනි වුවත්, මවකට තම දරුවාගේ බඩගින්න දැනුණු සැණින් ඇඟේ ලේ කිරි බවට හැරෙන්නේ මේ මවු සෙනෙහස, මාතෘ ප්‍රේමය නැතිනම් දාරක ප්‍රේමය නිසාය. ලේ කිරි බවට හැරෙන හේතුව සොයන්නට ලොව කිසිම විද්‍යාඥයකුට, විද්‍යාවකට නොහැකි වී ඇත්තේය. ඒ මවකගේ සිතෙහි දරුවකුට ඇතිවන ආදරය ඒ තරම්ම ප්‍රබල නිසාය.

 

එසේ මවුකිරි බී හැදෙන වැඩෙන දරුවා උස් මහත් වී යොවුන් වියට එළැඹි කල ඔහුගේ හෝ ඇයගේ සිතේ විරුද්ධ ලිංගිකයා කෙරෙහි හට ගන්නා ආදරය, ආදරය නම් විෂයෙහි ලොවේ බහුලවම කතා කරන මාතෘකාවයි. යොවුන් වියේ හටගන්නා මේ ‘ආදරය’ පිළිබඳ පොත්පත්, නවකතා, ගීත, චිත්‍රපට ආදිය බහුලවම නිර්මාණය වී ඇත්තේ ද එහි චමත්කාරජනක බව නිසාය.

ලෝකයේ පැවැත්ම සඳහා මනුෂ්‍ය වර්ගයාගේ බෝවීම සිදුවන්නේ යොවුන් වියේ ඇතිවන මේ ආදරය නිසායැයි කීව ද එහි වරදක් නැත. ‘ආදරය’ වෙනුවෙන් ජීවිත පූජා කළ මිනිසුන් පිළිබඳ කෙතෙකුත් නම් අසා ඇද්ද? එහෙත් ආදරය වෙනුවෙන් තවත් කෙනකුගේ ජීවිතයක් නැති කරන්නට තරම් සාහසිකත්වයක්. දරුණු සිතක් කෙනකුට ඇතිවන්නේ කෙසේ ද? මේ උත්තර නොමැති ප්‍රශ්නය හමුවේ අප අසරණය. මා අද ‘ආදරය’ පිළිබඳව, මවු සෙනෙහස පිළිබඳව සඳහන් කරමින් මේ සටහන තබන්නේ ‘ආදරයේ’ නාමයෙන් සිදුවුණු එවන් අවාසනාවන්ත සිදුවීමක් දුටු නිසාය.

 

‘පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට දී තියුණු ආයුධයකින් පහර දී දහ අට හැවිරිදි තරුණයකු ඝාතනය කරදැමීම එම සිදුවීමයි. මේ සම්බන්ධයෙන් මහරගම පොලීසිය විසින් දස දෙනකු අත් අඩංගුවට ගෙන ඇති අතර මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු 19 හැවිරිදිය. ඔහු පන්නිපිටිය පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකි. මේ සැකකරුවන් අතර පාසල් සිසුවකු ද සිටී.

මේ සියලුම දරුවන් යන්තම් පාසල් අධ්‍යාපනය නිමාකර තිබූ අය වීම මෙහි ඇති ඛේදනීය තත්ත්වයයි.

පේ‍්‍රම සබඳතාවක් මුල්කරගනිමින් මරණයට පත්වුණු තරුණයා විසින් ඊට පෙර ප්‍රධාන සැකකරුට පහරදීමක් සිදුකර තිබුණු බවත්, ඊට පළිගැනීමක් ලෙස මේ කණ්ඩායම පැමිණ අදාළ මරණකරුට පොලුවලින් පහර දී පපු පෙදෙසට උල් ආයුධයකින් ඇණ මේ මරණය සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

‘ආදරය’ නිසා මෙවන් ඝාතනයක් සිදුකරන්නට තරම් මේ ළපටි සිත් දරුණු වූයේ ඇයි? එය අද අප හමුවේ ඇති බරපතළම ප්‍රශ්නයකි. මෙවැනි සිදුවීම්, මෙවැනි ඝාතන වුණු පළමු අවස්ථාව මෙය නොවේ. මීට මාස කිහිපයකට ඉහත දී මෙවැනිම උල් ආයුධයකින් පහර දී තරුණ සිසුවකු ඝාතනය කරන අයුරු අප ඛ්ඛ්ඊඍ දර්ශනවලින් දුටුවෙමු.

මෙයින් අපට උගත හැකි අප උගත යුතු පාඩම් කිහිපයක්ම තිබේ. තවමත් හිරිමල් යෞවන වයසේ පසුවන මේ දරුවන් රක්ෂිත බන්ධනාගාරයට හෝ බන්ධනාගාරයට ගිය පසු ඔවුනට යළි සාමාන්‍ය අය ලෙස සමාජයට යා හැකි ද? එහිදී දැන හඳුනාගන්නා පාතාල සාමාජිකයන්, පාතාල නායකයන් හමුවේ ඔවුන් ගොදුරු බවට පත් නොවිය හැකි ද? එසේ වුවහොත් එයින් ඔවුන්ගේ ජීවිතවලට පමණක් නොව ඔවුනගේ මවුපියන් සහෝදර සහෝදරියන්ගේ ජීවිත පවා වෙනස් නොවන්නේ ද? මේ බව යොවුන් වියේ පසුවන්නන් සිතිය යුතුය.

මේ නිසා අපි වැඩිහිටියන් ලෙස මවුපියන් ලෙස ඉතාමත් කල්පනාකාරී වෙමු. විශේෂයෙන් දරුවකුට කුඩා වියේ දී (බිලිඳු වියේ දී) ආදරය සෙනෙහස ඕනෑවටත් වඩා ලබාදෙන මවුපියෝ ඔවුන් උස්මහත් වී යොවුන් වියට එළැඹෙද්දී ‘ආදරය’ කිරීම අමතක කරති. ඇතැම් මවුපියනට ඒ සඳහා වේලාවක් නොතිබිය හැකිය. සමහර විට දරුවා උස්මහත්වී තනිවම තමන්ගේ දේ කරගන්නට හැකි නිසා ‘ආදරය’ කරන්නට ඕනෑ යැයි නොසිතනවා විය හැකිය.

එහෙත් කුඩා දරුවකුට ආදරය කරන අතරම වඩාත්ම අවශ්‍ය වන්නේ රැකවරණයයි. ආරක්ෂාවයි. ඒ බිලිඳාට වැටීමෙන් හෝ වෙනත් දෙයකින් කරදර විය හැකි බැවිනි. එහෙත් යොවුන් වියට එළැඹෙන කල ඔහුට හෝ ඇයට ආරක්ෂාව, රැකවරණයටත් වඩා අත්‍යවශ්‍ය වන්නේ ‘ආදරයයි’. අද බොහෝ මවුපියන්ගෙන් දරුවනට නොලැබෙන්නේ ද මේ ආදරයයි.

මේ නිසා මඳක් සිතන්න. ඔබ කොතෙක් කාර්යබහුල වුවත් දවසේ වේලාවක් වෙන්කරගෙන තම දරුවන් සමඟ කතා කරන්න. ඔවුන් තම ළයට තුරුලු කරගෙන කුඩා කල ලබාදුන් ආදරය සෙනෙහස දෙන්න. ආදරයෙන් හිස අතගා සමාජයේ සිදුවන මෙවැනි සිදුවීම් පිළිබඳ ඔවුන් දැනුවත් කරන්න. දරුවන් ලොකු මහත් වනවිට දියණියකට හොඳම යෙහෙළිය විය යුත්තේ තම මවයි. පුතකුට හොඳම යහළුවා විය යුත්තේ තම පියායි. දරුවන් තාක්ෂණික ලෝකයේ අතරමං වී, හුදෙකලා වී රොබෝවරුන් බවට පත්වීගෙන යන සමාජයක ඔබේ දුව පුතා ආදරය වෙනුවෙන් තව අයකු හිරිහැරයට පත්කරවන, තව කෙනකුගේ ජීවිතයට හානිකර තම මුළු අනාගත දිවිය අඳුරු කරගන්නා කෙනකු වීම වළක්වා ගන්න.

එය කළහැක්කේ ‘ආදරය’ කිරීමෙන් පමණි. ආදරණීය අම්මේ, තාත්තේ කිරිකැටි බිලිඳකු සේ ඔබ දෝතට ගත් දුව පුතා ඇස්දෙක මෙන් රැකබලාගත් දුව, පුතා යහපත් දරුවකු ලෙස සමාජයට දායාද කරන්නට තරම් ඔබ බුද්ධිමත් වන්න. දරුවනට හැදෙන්නට නොදී ඔවුන් හදන්නට සිතට ගන්න. එවිට හෙට දින මේ සමාජය බොහෝ සුන්දර තැනක් වනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.