ඔබේ ජීවිතයට සැලසුමක් තිබිය යුතුමයි

ජනවාරි 1, 2020

 

අද ජනවාරි පළමුවැනිදා.

වසරක් ගෙවී නව වසරක් උදාවන දවසයි.

ඔබ මේ නව වසරට මුහුණ දෙන්නේ දහසක් නැවුම් බලාපොරොත්තු සමඟින් විය යුතුයි.

 

ඒ බලාපොරොත්තු ඉටුකරගන්නට ඔබ සිතෙන් සැලසුම් සකස් කරගන්නට ඇත.

 

අද වැනි දිනෙක සැබැවින්ම අප කළයුත්තේ මොනතරම් බාධක, අභියෝග පැමිණියත් සිතා සිටින බලාපොරොත්තු වන ඉලක්කවලට කෙසේ හෝ ළඟාවනවා යැයි අධිෂ්ඨානයෙන් යුතුව නව වසරට සතුටු සිතින් මුහුණ දීමයි.

 

ඒ සඳහා අප මුලින්ම සැලසුමක් සකස් කරගත යුතුය. ඒ සැලසුමට අනුව අවශ්‍ය ඉලක්ක සම්පූර්ණ කරගන්නට කැපවී වැඩ කළ යුතුයි.

මෙහිදී අපට ගෙවී ගිය වසර පිළිබඳ අතීතාවර්ජනයක් කළ හැකියි.

 

ඒ එම වසරේ අප ඉටුකරගන්නට බලාපොරොත්තු වූ ඉලක්ක සපුරාගෙන තිබේ ද? සපුරාගන්නට නොහැකි වූ ඒවා තිබේ ද?

 

ඒවා සපුරාගන්නට නොහැකි වීමට බලපෑ බාධක, අභියෝග මොනවා ද යන්න පිළිබඳ එහිදී හොඳ වැටහීමක් අවබෝධයක් ලබාගත හැකියි.

 

ඒ අනුව ගෙවී ගිය වසරේ ඉටුකරගන්නට නොහැකි වූ බලාපොරොත්තුවක් නව වසරේ ඉටුකරගන්නට අවශ්‍ය ලැයිස්තුවට ඇතුළත් කළ හැකියි.

අනාගතය සාර්ථක වීමට නම් අතීතයෙන් පාඩම් ඉගෙනගෙන වර්තමානයේ නිවැරැදිව වැඩකළ යුතුය.

 

ආදරණීය තරුණී පාඨක ඔබ යුවතියක, පෙම්වතියක, බිරියක, මවක හෝ මිත්තණියක යන කුමන හෝ භූමිකාවක නිරත වන අයෙකි.

 

ඒ නිසා ඔබ සතුව මේ සැලසුම් සහගත ජීවිතය අනිවාර්යයෙන්ම තිබිය යුතුය.

ඒ ඔබ මත පවුලේ සෙසු සියලු දෙනාගේම ජීවිතවල ඉලක්ක රැඳී ඇති හෙයිනි.

 

බාධක, කරදර, දුක් කම්කටොලු අපේ ජීවිතවලට කුමන මොහොතේ, කුමනාකාරයෙන් ඒවි දැයි කිව නොහැකිය.

 

එලෙස හදිසි කරදරයක්, දුකක් පවුලට පැමිණියොත් පවුලේ සාමාජිකයන් සියල්ලන්ගේම ජීවිත කඩා වැටෙනු ඇත.

 

එවිට බලාපොරොත්තු වූ ඉලක්ක කරා යාමට නොහැකිවීමෙන් පවුලේ බොහෝ දෙනකුගේ ජිවිත අවුල් විය හැකියි.

 

මේ නිසා ඔබ පවුලේ බිරිය, මව, ගෘහණිය ලෙස පැමිණෙන ඕනෑම කරදරයක්, බාධාවක් හමුවේ ඉන්ද්‍රකීලයක් සේ නොසැලී සිටිය යුතුය.

 

එවිට ඔබ වටා සෙසු අය එකතු වී ඔවුනගේ ජීවිත සාර්ථක කරගනු ඇත.

 

ඒ සඳහා ඔබට ශක්තියය, ධෛර්යය ලැබී සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!