අම්මේ තාත්තේ ඔන්ලයින් තාක්ෂණයට මුවාවී පාසල් දරුදැරියන් බිලිගන්නා නරුමයින්ගෙන් ඔබේ දරුවා රැකගන්න

ජූලි 14, 2021

කොරෝනා වයිරසය ලොව පුරා ව්‍යාප්තවීමත් සමඟම, මෙතෙක් සිදුවුණු සියලුම ක්‍රියාකාරකම් වෙනස් වී ගියේය. මිනිසුන්ට තමන්ගේ නිවෙස් තුළටම කොටුවී සිටින්නට සිදුවිය.

එලෙස නිවෙස් තුළට කොටුවී සිටි කාලය දැන් වසර දෙකක් දක්වා දිගු වී තිබේ.

ඩෙල්ටා, ඩෙල්ටා ප්ලස් මෙන්ම ලැම්ඩා ලෙසින් වයිරස ද දවසින් දවස වෙනස් වෙමින් භයානක ලෙසින් මිනිස් ජීවිත බිලිගන්නා නිසා තව කොතෙක් දිනක් මෙලෙස සිටින්නට සිදුවේදැයි අවිනිශ්චිතය.

මේ තත්ත්වය සමස්ථ ජන ජීවිතයට බලපෑ නමුත් එය වැඩියෙන්ම බලපා ඇත්තේ කුඩා දරුවන්ටත් අධ්‍යාපනය ලබන වයසේ පසුවෙන දරුවන්ටය.

උදෙන්ම නැඟිට දතකට මැද සූදානම් වී යහළු යෙහෙළියන් පිරිවරා පාසල් ගිය දරුවෝ කාල සටහනකට අනුව වැඩ කටයුතු කරන්නට පුරුදු වූහ. මොනතරම් දඟකාරකම් කළත් ගුරුවරුන්ගේ බලකිරීම මත හෝ දැනුම ලබාගත්හ.

එහෙත් කොරෝනා වසංගතයෙන් නිවෙස්වලට කොටුවූ දරුවන්ට අකුරුකරන්නට සිදුවූයේ මාර්ගගත ක්‍රමයට නැතිනම් අන්තර්ජාල ඔස්සේ ඔන්ලයින් ක්‍රමයටය.

ජංගම දුරකතන දරුවන් අතට පත්කරන්නට එපා යැයි කියූ අයම ජංගම දුරකතන දරුවන් අතට නොදුන් වැඩිහිටියන්ට ම එය ඔවුන් අතට බලෙන් හෝ දෙන්නට සිදුවිය.

තත්ත්වය වෙනස් වී යන්නේ මෙතැන් සිටය. ඒ කුමක්දැයි ඔබ සිතනු ඇත.

අන්තර් ජාලය ඔස්සේ පහළොස් හැවිරිදි දැරියක ලිංගික ශ්‍රමිකයකු ලෙස අලෙවි කළ පුවත දැන් මුළු රටම කැළඹීමකට, භීතියකට පත්කොට තිබේ.

කෝවිඩ් වසංගතය නිසා මුළු රටේම සංචරණ සීමා පනවා තිබියදී පවා මෙතරම් පිරිසක් ඒ කාර්යයට යොමුකර ගන්නේ අන්තර්ජාලය ඔස්සේය.

එම සිදුවීමත් දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීමත් අතර ඇති සම්බන්ධය කුමක්දැයි ඔබ සිතනු ඇත.

එසේ නම් මේ කතාව කියවන්න. මේ 15 හැවිරිදි දැරිය අන්තර්ජාලය ඔස්සේ විකිණූ වෙබ් අඩවි කිහිපයකි. එයින් මුලින්ම හෙළිකරගෙන අත්අඩංගුවට පත්වන වෙබ් අඩවියේ හිමිකාරයා කව්ද? ඔහු අත්අඩංගුවට පත්වන්නේ කෙසේද? පානදුර නල්ලූරුව ප්‍රදේශයේ පදිංචි දුමින්ද සම්පත් නැමැති ඔහු ප්‍රකට ගණිකාවන් සපයන අන්තර්ජාල වෙබ් අඩවියක් පත්වාගෙන ගිය අතර ප්‍රසිද්ධ ආයතනයක තාක්ෂණික නිලධාරියෙකි. එසේම දරුවන් සිව් දෙනකුගේ පියෙකි. එසේම මෙම කාන්තාවන් මුදලට විකුණන වෙබ් අඩවියට අමතරව පිරිත් විකාශය කරන ප්‍රකට වෙබ් අඩවියක්ද ඔහු පවත්වාගෙන යයි.

ගණිකාවන් අලෙවි කරන මේ වෙබ් අඩවියේ එක් දහස් පන්සියයකට අධික ගණිකා වෘත්තියේ නියැ‍ෙළන කාන්තාවන්ගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත්කර තිබූ අතර ලංකාවේ ‍ඕනෑම තැනකට කාන්තාවන් සැපයිය හැකි ලෙස එය පවත්වාගෙන ගොස් තිබේ.

මේ වෙබ් අඩවියේ විශේෂත්වය වී තිබුණේ අන්තර්ජාලයේ සෙවීම් පිළිබඳව ඉතා අඩු දැනුමක් ඇත්තකුට වුවත් ඉතාමත් පහසුවෙන් ඇතුළත් වී තොරතුරු ලබා ගත හැකි ලෙසට එය සකස්කර තිබීමයි. මෙයට ඇතුළත් වී මුදල් ගෙවූ පසු අදාළ සේවාව සපයාගත හැකිව තිබිණි.

පාසල් දරුවන් අතට ජංගම දුරකතන ලැබීමත්, ඒවා මව්පියන්ගේ නිසි අධීක්ෂණයක් යටතේ පරිහරණය කිරීමට නොදීමත් යන කාරණාවේ බරපතළකම පිළිබඳ කතාව හෙළිවන්නේ මෙතැන් සිටය.

බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි ධනවත් පවුලක, කොළඹ ඉහළ පෙළේ පාසලක අධ්‍යාපනය ලබන 15 හැවිරිදි පිරිමි දරුවෙකු තට්ටු බිල්ඩිමක තුන්වැනි තට්ටුවෙන් වැටී බරපතළ තුවාල සිදුවී රෝහල්ගත කරනවා. තම දරුවාට මෙවැනි අනතුරක් සිදුවූයේ කෙසේද යන්න මව්පියන්ට ඇතිවන්නේ කුතුහලයක්. එම නිසා ඔවුන් මෙය සොයා දෙන්නැයි පොලිසියෙන් ඉල්ලීමක් කරනවා.

මේ පිළිබඳව විමර්ශනය කරන බම්බලපිටිය පොලීසියට අනාවරණය වන්නේ ඇස් අදහාගත නොහැකි කතාවක්.

මේ පාසල් සිසුවාට මව්පියන් වටිනා ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනයක් මිලදී ගෙන දෙන්නේ online ඔස්සේ අධ්‍යාපන කටුතු කර ගැනීමටයි.

ඒ අනුව මේ දරුවා අන්තර්ජාලය ඔස්සේ විවිධ සෙවීම් කිරීමට පෙළඹෙන අතර ඉතාමත් පහසුවෙන් හමුවන මෙම වෙබ්අඩවියට පිවිසෙනවා. එහිදී එම දරුවාට අදාළ Link එක ලැබෙන අතර ඒ ඔස්සේ ගණිකාවන් හා සම්බන්ධ වීමට ලැබෙනවා. ඇගේ උපදෙස් අනුව බම්බලපිටියේ පිහිටි ගොඩනැගිල්ලක තුන්වැනි මහලට යන මේ දරුවා ගණිකා කාන්තාව විසින් කාමරයකට කැඳවාගෙන යනවා. එහිදී ඔහු අත තිබූ රුපියල් දහසක මුදලක් ලබාගන්නා කාන්තාව පොලීසියෙන් එන බව පවසා කෑ ගසනවා.

මෙයින් භීතියටත්, කලබලයටත් පත්වුණු පිරිමි දරුවා එතැනින් පලායාමට මඟක් සොයනවා. තරප්පු පෙළින් ගියහොත් පොලීසියට හසුවේවි යැයි බියට පත්වන ඔහු ගොඩනැඟල්ලේ පිටුපස ඇති සර්පිලාකාර යකඩ තරප්පුව ආධාරයෙන් බැසීමට උත්සාහ කිරීමේදී ඉන් බිමට වැටීමෙන් බරපතළ තුවාල සිදුවනවා.

මෙලෙස කරුණු අනාවරණය වීමෙන් පසු බම්බලපිටිය පොලීසිය විසින් අදාළ වෙබ් අඩවිය තහනම් කරන ලෙස පසුගිය ජනවාරි මුල් සතියේ විදුලි සංදේශ නියාමන කොමිසමට ලිපියක් මඟින් දැනුම් දෙනවා.

මේ අතර අන්තර්ජාලයේ ඇති You Tube නාලිකාවක් මඟින් මෙම වෙබ් අඩවියේ හිමිකරු කව්ද යන්න හෙළිදරව් කරනවා. ඒ අනුව පානදුරේ දුමින්ද සම්පත් සමඟ මෙහි මුදල් භාරකරු ලෙස කටයුතු කළ බණ්ඩාරගම ධනුෂ්ක කෞෂල්‍ය පිළිබඳව සියලු තොරතුරු අනාවරණය වන අතර පසුගිය වෙසක් පෝය දිනයේ අම්බපාලි ජාතකය ප්‍රදර්ශනය කරමින් මෙම වෙබ් අඩවිය නවතා දැමීමට කටයුතු කරන්නේ මෙවැනි සටහනක් තබමින්. "සෑම ලස්සන දවසක්ම අවසන් වන විදිහක් ඇත."

පිරිත් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් සමාජයට ඉතාමත් යහපත් දෙයක් ලබා දෙන හොඳ මිනිසුන් සේ පෙනී සිටිමින් අහිංසක දැරියන්, කාන්තාවන් ලිංගික ශ්‍රමිකයන් කර සුඛෝපභෝගී ජීවිත ගත කළ ඉතාමත් පහත් ක්‍රියාවන්ගෙන් උපයන මුදලින් තම පැටවුන් පෝෂණය කළ මේ නරුම මිනිසා පිළිබඳව හෙළිකරගන්නා ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති දිලීප පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් උපාය දූතයන් යොදවා මොහු අත්අඩංගුවට ගන්නවා.

එතැන් සිට හෙළිදරව් වන කරුණු අනුව 15 හැවිරිදි බාල වයස්කාර දැරිය ලිංගික අපයෝජනය කළ 35 දෙනකු මේ වන විට අත්අඩංගුවට පත්ව තිබේ.

මේ කතාව ඔබට හෙළිදරව් කරන්නේ ඔබේ දරුවන් බේරාගන්නට නම් ඇහේ තියාගෙන හදන්නට අවශ්‍ය බව කියන්නටය.

ජාතික ළමාරක්ෂක අධිකාරියේ වාර්තාවලට අනුව online යන අවුරුදු 15, 16, 17 වයස්වන දරුවන්ට සිදුවුණු මෙවැනි සිදුවීම් පිළිබඳ දුරකතනය තුළින් ලැබුණු පැමිණිලි ගණන 48,000ක් පමණ වෙයි. මෙයින් හාරදහසක් පමණ මේ වන විට විභාග කිරීමට කටයුතු කර තිබේ.

ඒ නිසා ආදරණීය අම්මේ, මේ පවතින තත්ත්වය මත දරුවාට අධ්‍යාපනය ලබාදෙන්නට online තාක්ෂණය හැර වෙනත් මඟක් නැති බව ඇත්තය. එහෙත් දරුවා දුරකතනයේ online සිටීම ඉගෙන ගන්නවා යැයි නොසිතන්න. නිරන්තරයෙන් ඔවුන් නියම ලෙස පාඩම් වැඩ වල නිරතවනවාදැයි සොයා බලන්න. දරුවන් දෙස සැකයෙන් තොරව සෝදියෙන් බලන්න. එය ලස්සන හෙට දවසක් උරුම කරදෙන්නට අත්‍යවශ්‍ය කරුණක් වනු ඇත.