හොඳම දේ දරුවන්ට දෙමු

දෙසැම්බර් 18, 2019

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී අදට දින කිහිපයක් ගෙවී ගොසිනි. මේ විභාගය දරුවකුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය යැයි හැඳින්විය හැකිය. එයට හේතුව මේ විභාගයේ දී දරුවකු ඒ ඒ විෂයයන්ට ලබා ගන්නා සාමාර්ථ අනුව උසස් පෙළ පන්තිවල ඉගෙනීමට අවස්ථාව ලබා ගත හැකි වීමයි.

එය අධ්‍යාපනය ලබන දරුවකුගේ කඩඉම් විභාගය ලෙස හඳුන්වන්නේ ඒ නිසාය. මේ නිසා අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවකු සිටින මවුපියන් විභාගයට සාර්ථකව මුහුණ දීම සඳහා සූදානම් කළ යුතුය. දරුවාට අධ්‍යාපනය ලැබීමේ අඩුපාඩු පිළිබඳව සොයා බැලිය යුතුය. එහිදී කිසියම් විෂයයකට හෝ කිහිපයකට දුර්වලතා දක්වයි නම් අමතර පන්ති වලින් හෝ අවශ්‍ය දැනුම ලබා දෙන්නට කටයුතු කළ යුතුය.

එසේම දරුවාගේ පෝෂණය පිළිබඳව විශේෂයෙන් සිතිය යුතුය.

අවදානම් සහගත ක්‍රියාවක යෙදෙයි නම් එයින් වළක්වා ගත යුතුය. අනෙක් විශේෂිතම කාරණය වන්නේ දරුවා මානසිකව ශක්තිමත් කිරීමයි. වැඩ අධික වීම, පාඩම් අමතක වීම, සමත් වේදැයි සිතමින් බිය වීම, වැනි කරණා නිසා දරුවා මානසිකව ඇද වැටෙන්නට නොදී අවශ්‍ය ශක්තිය ලබා දෙන්නට මවුපියන් කටයුතු කළ යුතුය. මෙහිදී මවකට මේ සියලු කරුණුවලදී තම දරුවා ආරක්ෂා කර විභාගයට හොඳින් මුහුණ දිය හැකි ලෙස දරුවා මානසිකව ශක්තිමත් කිරීමේ පැහැදිලි වගකීමක් පැවරෙයි.

සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසය වර්ෂාවෙන් තොර තරමක වියළි කාලගුණයක් පවතින මාසයකි. උඳුවප් මාසය ලෙසින් හඳුන්වන මේ මාසයේ සීතලද තරමක් අධිකය. මේ නිසා අප කුඩා කාලයේ සාමාන්‍ය පෙළ විභාගය ලියන්නට සීතලේ ගැහෙමින් ගිය හැටි අද මෙන් මතකය.

අද මේ සටහන තබන්නේ ඒ අතීතය පිළිබඳව කතා කරන්නට නොවේ. මේ දිනවල පවතින අයහපත් වැසි සහිත කාලගුණය සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු ලියන දරුවන්ට කර ඇති බලපෑම් පිළිබඳව යමක් කියන්නටය. අධික වර්ෂාව රටපුරාම පවතින අතර බොහෝ විට විදුලිය බිඳවැටීම්, ගමනා ගමනයට කරන බාධා ආදිය දැඩි බාධක බවට පත්ව තිබේ.

ගංවතුර නායයාම් වැනි තත්ත්වයන් නිසා බොහෝ දරුවනට අදාළ විභාග මධ්‍යස්ථානවලට යාමට නොහැකි වී තිබේ. මෙයට පිළියමක් ලෙස විභාග දෙපාර්තමේන්තුව එවැනි දරුවන්ට ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානයකින් විභාගය ලිවීමට අවස්ථාව සලසා දීම අගය කළ යුතුය.

මවුපියන් ලෙස මේ අවස්ථාවලදී දරුවන් සමඟ සිටිමින් ඔවුන් තනි නොකරමින් මානසිකත්වය දුර්වල කර නොගෙන විභාගයට මුහුණ දීමට ශක්තියක් විය යුතුය.

පසුගිය 30 වැනිදා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ මුන්වත්ත මලපට්ටාව ප්‍රදේශයේ සිදුවුණු නායයාමෙන් ප්‍රධාන මාර්ගයට පහළින් වූ නිවෙසක් විනාශ වී එහි සිටි මව, පියා, දියණිය සහ පුතා මිය ගියේය.

මෙහි දියණිය කේ. එම්. ජී. ජී. දිනේෂා (17) සහ පුතා කේ. එම්. ජී. ජී.පැතුම් (15) දෙදෙනාම පාසල් යන වයසේ පසුවන අතර පුතා කලණ මෙවර අපොස සාපෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වී සිටියේය. එහෙත් ඔහුට මෙලොවින් සමුගන්නට සිදුවූයේ දෛවයේ සරදමක් ලෙසිනි. මෙය වාර්තා වූයේ ස්වභාවික විපතක් ලෙසිනි. එහෙත් පසුව සොයා බැලීමේදී මේ නායයාමට හේතුව අනවසර ගල් කොරියක් බව වාර්තා විය.

සොබා දහම මේ ලෝකය නිර්මාණය කර ඇත්තේ මිනිසා ඇතුළු සියලු සත්ත්වයන් වෙනුවෙනි. එහිදී සොබාදහම තමා සතු සියල්ල නිර්ලෝභීව මිනිසාට දෙන්නේ ආපසු කිසිවක් බලාපොරොත්තු නො වෙමිනි. එහෙත් මිනිසා ඒ වෙනුවෙන් කෘතවේදී නොවීම බරපතල ප්‍රශ්නයකි. බොහෝ මිනිසුන් සොබා දහම විනාශ කරන්නේ, සොබා දහමේ දේ උදුරාගනිමින් තනිව භුක්ති විඳින්නේ ආත්මාර්ථකාමී වෙමිනි. එහෙත් සොබාදහම එරෙහිව නැගී සිටින විට එයින් විපාක විඳින්නේ අහිංසක මිනිසුන් බව මෙවැනි සිදුවිම්වලින් පෙනෙයි. එහෙයින සොබා දහමින් අයුතු ප්‍රයෝජන ගන්නා සොබාදහම විනාශ කරනා මිනිසුන්ට කියන්නට ඇත්තේ මේවා කරන්නට පෙර වරක් දෙවරක් නොව කිහිප වරක්ම සිතන්න යන්නයි.

මේ සමඟම තවත් ඉතාමත් ශෝචනීය පුවතක් පිළිබඳව මෙහි සටහන් කරමි.

දරුවන් යනු මවකගේත් පියකුගේත් ආදරයේ උපරිම ඵලයයි. ඒ නිසා සෑම මවක්ම පියෙක්ම දරුවන් පෝෂණය කරන්නට , ආරක්ෂා කරන්නට, අධ්‍යාපනය ලබා දෙන්නට මොනතරම් නම් වෙහෙස වනවාද? මොනතරම් දහදිය හෙළනවාද? මොනතරම් කැප කිරීම් කරනවාද? එහෙත් මෙවැනි සිදුවීම් අසන්නට ලැබීම මොනතරම් නම් අවාසනාවක්ද?

මවුපියන්ගේ ගැටුමට මැදිවූ දියණියකට පියා විසින් බෝතලයකින් පහර දීම නිසා ඇය රෝහල් ගත කරන්නට සිදුවුණු පුවතක් පසුගියදා පුවත්පත්වල පලවී තිබේ.

කළුතර ප්‍රදේශයෙන් වාර්තාවූ මේ සිදුවීමට අනුව 15 හැවිරිදි එම දියණිය මෙවර අපොස සාපෙළ විභාගයට මුහුණ දීමට සිටි අයෙකි. මව සහ පියා දබර කර ගත් අවස්ථාවේ පියා මවට පහර දී ඇති අතර එය බේරීමට තැත් කළ අවස්ථාවේ පියා දියණියගේ හිසට මෙලෙස බෝතලයකින් පහරදී තිබේ.

සැබැවින්ම දරුවකුට නිදහස් නිරවුල් මනසකින් විභාගයට යායුතු වුවත් මෙවන් තත්ත්වයකදී ඇගේ මනසට කරන බලපෑම අනාගතයේදී කෙබඳු වේද? දරුවන් සිටින මවුපියන් මේවා බරපතළ ලෙස සිතිය යුතුය.

හොඳම දේ දරුවන්ට යැයි කියමනක් තිබේ. ආදරණීය මවුපියන්ගෙන් මම මෙලෙස ඉල්ලමි. දරුවන්ට නිදහසේ සිතන්නට නිදහසේ අකුරු කරන්නට නිදහසේ වැඩෙන්නට අවශ්‍ය පරිසරය සකස් කර දීම ඔබගේ වගකීමය. එය ඔබට ඔවුනට දිය හැකි හොඳම දේ යැයි හැඳින්විය හැකිය.