සිත සුවපත් කරන ගීත චිකිත්සාව

ජුනි 19, 2019

මා ඉතින් යන්න යනවා

මට යන්න අවසරයි

මට අරන් යන්න ඇත්තේ මේ

මතකය විතරයි”

“ආදර නිල් දෑසේ”

“කවුදෝ කවුදෝ මා සෙව්වේ”

“ලෝකේ ජීවත්වන්නට ලස්සන ඕනෑ වේ”

“රාං කුරුල්ලෝ තක්කිට තරිකිට”

“ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මගෙ වාසනා”

“නිහඬ කල්පනා ලොවක තනිවෙලා”

“රත්තරං දුවේ මගේ රත්තරං දුවේ”

“පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැඟිටින්නේ”

“ආදරයේ උල්පත වූ අම්මා”

“ආදරියේ රුචිරාණනියේ”

“පියමං කෙරුවෙමි මහ වෙල් මැද්දෙන්”

“මං හින්දා නුඹට දුකක් වෙන්නෙ නම් නැති”

“මං හින්දා නුඹ නෙතඟින් කඳුළක් හෙළන්නෙපා”

“එදා රෑ ගුවන් තොටුපොළේදී මා”

“මුළු ලොවම නැති වුණත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන්”

“හිමාලෙට වඩා උසයි දරු පෙම පපුතුරේ

කසාය පරාදයි වරදෙදි සැර ඔබේ”

“අම්මා මට මල් සුවඳක් වේවා

උපදින සංසාරේ “

 

මේ ආදී විවිධ හඬින් ගැයෙන අරුත්බර ගීත මොනතරම් නම් ආස්වාදයක් අපට ලබා දෙන්නේද? යන්න මට නැවත නැවත සිහිපත් වූයේ එක්තරා ගුවන්විදුලි නාලිකාවකට නිතර මා සවන් යොමු කරන බැවිනි. හරසුන් අරුත්සුන් කයිවාරු, පුරසාරම්, මුඛරිබස් දොඩන ජ්ර් නාලිකා අතරේ සැබැවින්ම එම නාලිකාව නමට ගැළපෙන ලෙසම රත්තරං නාලිකාවකි. මා එසේ පවසන්නේ එම නාලිකාව රසවින්දනය ජනිත කිරීම උදෙසාම කැපවූ ගුවන් විදුලි නාලිකාවක් බව මට හැඟුණු බැවිනි. බොහෝ දේ මුදලට තක්සේරු වෙද්දී එම රැල්ලට හසු නොවී ශ්‍රාවක ආධ්‍යාත්මික වින්දනය නැංවීමෙහිලා නොඅඩුව විඳින්නට මඟ සලසන බව මට හැඟුණු වාර අනන්තය.

කලාවේ හෝ මාධ්‍යයේ මෙහෙවර විය යුත්තේ යම් කලා කෘතියක් විඳින පාඨකයා, රසිකයා, ශ්‍රාවකයාගේ මනස ආනන්දයෙන් අරඹා ප්‍රඥාවෙන් අවසන් වන රසවින්දනයක් කරා පත්කරලීමයි. එහෙත් අපට අසන්නට තිබෙන බහුතරයක් ගුවන් විදුලි නාලිකා, රූපවාහිනී නාලිකා මේ කර්තව්‍ය ඉටුකරන්නේ ද යන්න උගත් බුද්ධිමත් ඔබම සිතා තීරණය කරන්න.

මේවා අසන, දකින අයට හැඟී යනුයේ මේ කවුරු කවුරුත් කාගෙ කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් බාර ගෙන ක්‍රියාකරන බවයි. අනුග්‍රාහක බවතුන් පසුපස යමින් ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉෂ්ටකරමින් කන්කරච්චල් ජ්ර් මාධ්‍ය කලාවට එරෙහිව උඩුගම් බලායමින් හරවත්, නැණවත් දේ ශ්‍රාවකයා වෙත ළඟා කරමින් වින්දනය සමඟ ආනන්දයට ඔබ කැඳවාගෙන යන අයුරු හරිම අපූරුය. එය මා ඔබට පවසන්නේ අත්දැකීමෙනි. නිසරු.... විකට.. නොහොබිනා විහිළු..... දෙපැත්ත කැපෙන අසභ්‍ය කතා විලාසය...... කොටින්ම කියතොත් කියවන ඔවුන්ටවත් අසන අපටවත් ඒ කතාවලින් කොහොත්ම ඵලක් නැත. ඇතිවුණොත් ඇතිවන්නේ ලැජ්ජාවක් පමණි. පොදු වාහනවල එහා මෙහා යද්දී එවැනි කතා ඇසෙන විට අපටම ලැජ්ජාව උපදවන්නේය.

අතීතයේ අපට ගුවන් විදුලියෙන් සමීප වූ සීලරත්න සෙනරත්, ලලිත් එස් මෛත්‍රීපාල, සුමනා නෙල්ලම්පිටිය, දයා ද අල්විස්, ප්‍රේමකීර්ති අල්විස්, හේම නලින් කරුණාරත්න, පාලිත පෙරේරා, කරුණාරත්න අමරසිංහ, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ වැනි ප්‍රවීණ කෘතහස්ත උගත් බුද්ධිමත් ආදරණීය නිවේදක, නිවේදිකාවන් සමඟ බලන විට මෙවැන්නෝ නිවේදකයන් යන නමින් හැඳින්වීම කොතරම් සාධාරණ යන්න ද ගැටලු සහගතය. පෙර කී ඔවුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැනුම් සම්භාරයකින් පිරි ජංගම පුස්තකාල බඳුය. ඔවුන්ගේ මුවින් අරුත් සුන් වදනක් කිසිදිනක පිටවී ඇති බව ඔබ කවදාවත් අසා තිබේද? ඒ තරමටම ඔවුන්ගේ නිවේදන කලාව ගෞරවනීයයි,....ආදරණීයයි... අරුත්බරයි.... අපට අසන්නට පි‍්‍රයජනකයි. ආනන්දනීයයි. එමෙන්ම අප උගත් දේද බොහෝය.

මෙවැනි පසුබිමක් සහිත නිවේදන කලාවක් මෑත කාලයේ අසන්නට ලැබුණානම් ලැබුණේ ඉඳහිට මෙවැන්නක් තුළින් පමණි. මෙම නාලිකාව තුළ වෙළෙඳ දැන්වීම හරඹයක් දරුණුවට දැනෙන්නට නැත. ප්‍රශස්ථ වර්ණනා, ආරළු බූරළු සහිත පුද්ගල වර්ණනා ඇසෙන්නට ලැබීම අතිශය විරලය. කතාවට ඉඩ අඩු, වින්දනයට පුළුල් වූ මෙතුළින් අපගේ ආධ්‍යාත්මය නිරන්තරයෙන් සුවපත් කරවයි.

හරවත් පොතක් කියවීම මෙන්ම අර්ථවත් සුභාවිත ගීතයක් අසන්නට ලැබීමෙන් අපගේ මනස සුවපත් වීම හරහා අපට ලැබෙන ආධ්‍යාත්මික සුවය අපගේ ජීවිත ඒකාලෝක කරන්නට ඉවහල් වනු ඇත. ඊර්ෂ්‍යාව, කුහකකම, උඩඟුකම, මාන්නය, ක්‍රෝධය, වෛරය ආදීයෙන් පිරුණු මනස නිරාමිස කරන්නට සුභාවිත ගීතයෙන් කළ හැකි මෙහෙය අමිලය. අනෙකා ඉදිරියට යන විට.....................තාන්න මාන්න නිලතල දරන විට ඉවසා ගත නොහැකි බොහෝ දෙනකු ගීතයෙන් .... කලාවෙන් බොහෝ ඈත්වූවෝ වෙති. එවැනි පිරිසගෙන් සමාජයට සිදුවන්නේ අගතියක්ම මිස යහපතක් නම් නොවේ. ඔබ ඇසුරු කරන අය ගැන විමසා බලන කල මේ කියන දේ වැරැදි ද? නිවැරැදි ද? කියා ඔබටම සාක්ෂාත් කරගත හැක. ඔවුන් ජීවිතය විඳින්නට දන්නෝ නොවෙති. ඔවුන් තමන් විඳවමින් අනුන්ටද විඳවන්නට සරිලන පරිසරයක් නිර්මාණය කිරීමට රුසියෝ වෙති. තව කෙනකු සතුටින්.. හිනැහෙමින් ජීවිතය සැහැල්ලුවෙන් ගතකරන විට ඔවුනට ඇහැට කටු අනිනවා වැනිය. මෙවැන්නෝ සතුටු වන්නේම අනෙකාට රිදවමිනි. මෙලෙස රළු, දරුණු ලෙස අනෙකා හිංසනයට පත්කරන්නට උත්සාහ දරන මෙවැන්නෝ අප ජීවත්වන සමාජයේ අතිශය සුලබ බවට ඔබටත් අත්දැකීම් ඇති.

ඔබටත් ආදරණීය හිතැත්තකු වීමට අවැසි නම් සුභාවිත, සුමිහිරි ගීතයකට සවන් දෙන්න හිත යොමන්න. එය ඔබට ජීවිතය විඳින විදිය අනුනට විඳවන්නට නොවන ලෙස ජීවත්වන්නටත් මඟ කියාදෙයි. ගීතයක් ඇසීමෙන් අපගේ සිත අතීත ස්මරණ සමඟ දිව යන හැටි කිසිවකුට වළක්වන්නට බැරිය. පාසල් දිවියේ සුන්දර කාලය, ප්‍රථම ප්‍රේමයේ විරහව, ආදරයේ සුපසන් බව මෙන්ම වෙන්වීමේ විරහ වේදනාව ද ඒ අතර වෙති. ගීත තුළින් එවැනි දෑ අසන්නට ලැබීමෙන් අපේ ජීවිතයට නව පැහැයක් එක්වනු ඇත.

ඉතින් දැන් මට ඔබෙන් සමුගන්නට කාලය එළැඹී ඇත. දෙවසරකුත් මාස තුනක් පුරාවට තරුණී මා සමඟ සිටි ආදරණීය පාඨක ඔබගේ ප්‍රතිචාර හැමදාමත් අපව දිරිමත් කරයි.