අසිරිමත් තරුණී රුවෙන් ගුණයෙන් නොවේ පැරැණී

ජූලි 10, 2019

අප සෑම කෙනකුටම මෙලොව එළිය දකින්නට උපතක් ලබා දී ඇත්තේ උත්තරීතර මවු පදවියයි. හදවතෙහි ඇතිවන්නාවූ උත්තරීතර දරු සෙනෙහස නිසාම ඇගේ ලේ කිරි බවට හැරෙන්නේය. මේ විස්මිත ක්‍රියාවලිය කෙසේ සිදුවන්නේද යන්න තවමත් කිසිවකුට සොයාගන්නට හැකිවී නැත.

විද්‍යාව කොතරම් දියුණු වුවත් මේ විස්මිත කාර්යය කෘත්‍රිමව සිදුකරන්නට ද සමත්ව නැත. එය සිදුකළ හැක්කේ උතුම් මාතෘත්වය ලැබූ කාන්තාවකට ම පමණි.

දරුවකු මෙලොවට බිහිවුණු පසු ඒ බිලිඳා ආදරය හඳුනාගන්නේ අම්මාගෙනි. ලෝකය හඳුනාගන්නේ ද අම්මාගෙනි. එසේම බිලිඳාගේ ලෝකයේ මුලින්ම ඉන්නේ අම්මා පමණක්ම වන අතර පියා, සහෝදර සහෝදරියන්, ඥාතිවරුන් ඇතුළු අනෙකුත් බාහිර පාර්ෂ්වයන් හඳුනාගන්නේ ඉතාමත් සෙමිනි. මෙලෙස ක්‍රමයෙන් සමාජගත වන දරුවකු යහපත් ගුණ ගරුක නැණවත් පුද්ගලයකු බවට පත්කරන්නට 'අම්මා' කෙනකු ගන්නා වෙහෙස ගැන කියන්නට වචන නැත.

දරුවකු හැදෙන්නන් වාලේ හැදෙන්නට නොදී යහපත් ලෙස හදාගත යුතුය. සැබෑ අම්මා කෙනකුගේ කාර්ය භාරය වන්නේ එයයි. ª විශේෂයෙන් ගැහැනු දරුවකු ලොකු මහත්වී සමාජයේ හැසිරෙන ආකාරය අනුව ඇගේ මව පිළිබඳව හඳුනාගත හැකි යැයි පැවසෙන්නේ එබැවිනි.

මවකගෙන් ලබන නිවැරැදි ගුරු හරුකම්, හොඳ නරක තුළින් යහපත්ව හැදෙන දියණිය ද කව දා හෝ යළි අම්මා කෙනකු වී තම දරුවන් ද එලෙසම යහපත් ලෙස හදාවඩා ගනු ඇත. මෙය පරපුරෙන් පරපුරට රැගෙන එන උතුම් දායාදයකි.

එලෙස තම දරුවන් යහපත් ලෙස හදාවඩා ගන්නා මවුවරුන් ගැන සඳහන් කරමින් මේ සටහන තබන්නේ 'තරුණී' සිය 50 වැනි උපන් දිනය සමරන ඓතිහාසික දිනය අද බැවිනි. හොඳ අතීතයක් නොමැති නම් ස්ථාවර වර්තමානයක් මෙන්ම පැහැබර අනාගතයක් ද නොමැත යන්න සත්‍යයකි.

ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ දිවංගත ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ගේ උපදේශකත්වයෙන් දිවංගත ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ ශූරීන් ගේ කර්තෘත්වයෙන් 1969 ජූලි මාසයේ අද වැනි දිනෙක බිහිවුණු තරුණී මේ රටේ ලක්ෂ සංඛ්‍යාත දියණියන්ට යහපත් ලෙස හැදෙන්නට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙන්නට අම්මා කෙනකු වූවාය. කාන්තාවක සමාජයේ ඉටුකරන විවිධ භූමිකාවන්වලදී ඇයට අවශ්‍ය සියලු දැනුමින් සන්නද්ධ වන්නට ගුරුවරියක වූවාය.

එදා එලෙස තරුණී පාඨකයන් බවට පත්වුණු යුවතියෝ මේ වන විට දරු මුණුබුරන් බොහෝ ගණනකගේ මිත්තණියන් වී සිටිති. ඒ අතරින් බොහෝ පිරිසක් 'තරුණී'ට දුරකථනයෙන් අමතා ජීවිතය ජයගන්නට තාරුණී ගෙන් ලද සහාය ගැන සිහිපත් කළේ ඉතාමත් සතුටිනි. ලිපිවලින් සිය අදහස් පළකර එවා ඇත්තේද සැබෑ කෘතවේදිත්වයකිනි.

එලෙස තරුණී පුවත්පතින් සිය ජීවිත ඒකාලෝක කරගත් ලක්ෂ සංඛ්‍යාත තරුණී පාඨක මවුවරුන් නියෝජනය කරමින් එක් සුවිශේෂී කවි පන්තියක් මෙම සටහන තුළ පළකරන්නට තෝරා ගතිමි. එය ලියා ඇත්තේ කටුගස්තොට චන්ද්‍රිකා කුරේ මහත්මියයි.

දශක පහක් පුරා තරුණී ඉටු කළ ඒ සමාජ මෙහෙවර හෙට දිනයේදීත් එලෙසම ඉටුකරන බවට සපථ කරමින් මේ සටහන නිමා කරමි.