ශ්‍රී ලංකාවේ පළමු නියෝජ්‍ය පොලිස්පතිනියට සාධාරණය ඉටුවේවි ද?

පෙබරවාරි 24, 2021

වසර 24 ක ඇයගේ සේවා කාලය තුළ ශ්‍රී ලංකා පොලිසියේ විවිධ ක්ෂේත්‍ර ගණනාවක සේවය කර තිබේ. අපරාධ විමර්ශණ අංශයේ වසර 14 ක්ද, ළමා හා කාන්තා කාර්යංශයේ වසර 10 ක්ද, කාන්තා අපයෝජන නිවාරණ ක්ෂේත්‍රයේ හා පොලිස් පුහුණු කිරීමේ ක්ෂේත්‍රයේ වසර 4 ක කාලයක්ද, ආරක්ෂක හා පරිපාලන සේවයේ වසර 5 ක කාලයක් ඇය කටයුතු කර තිබේ. පොලිස් මෙහෙයුම් මූලස්ථානයේ පිරිස් පාලන නිලධාරිනිය ලෙස ද කටයුතු කර ඇති බිම්ෂාණී මහත්මිය 2015 වසරේදී ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙසින්ද ස්විට්සර්ලන්තයේ ජිනිවාහි පැවැති ජාත්‍යන්තර සම්මේලනයටද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි විය.

 

ඇයට මේ අසාධාරණය වෙන්නේ වසර ගණනාවක සිටයි....

නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානී ජාසිංආරච්චි වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය

 

මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වී සිටින කාන්තා චරිතය ඇයයි. ඇය පිළිබඳව අප තරුණී පුවත්පතේ සටහන් තැබුවේ පසුගිය වසරේ ඔක්තෝබර් 21 දිනයි. ඒ ශ්‍රී ලංකා පොලිස් පොතේ තවත් ඓතිහාසික පිටුවක් දිග හැරිය දිනයකි.

 

බිම්ෂානී ජාසිංහආරච්චි.... ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය වූ දිනයයි. එය ශ්‍රී ලාංකේය කාන්තාවන්ට ද විශාල අභිමානයකි. ඒ නිසාම ඇය ගැන තරුණී පත්තිරු අතර සටහනක් තබන්නට අපි අමතක නොකළෙමු.

පොලිස්පති පුටුවට අත පොවන දුරින් සිටින බිම්ෂානී මහත්මියට එම අවස්ථාව හිමිකර ගැනීමේ සියලු සුදුසුකම් හා පළපුරුද්ද තිබියදී ඇයගේ තනතුර අභියෝගයට ලක් කරන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 32 දෙනකු විසිනි. මේ නිලධාරින් පිරිස ඇයගේ පත්වීම අභියෝගයට ලක් කරනු ලබන්නේ ‘කාන්තා’ යන වචනය ඉලක්ක කරගෙනය. සැබැවින්ම මෙම ඉල්ලීම ඉතාම අසාධාරණ බව පෙනි පෙනී ඔවුන් මෙලෙසින් පෙත්සමක් ගොනු කරනු ලබන්නේ කුමන අරමුණකින්ද යන්න පැහැදිලි නොවේ.

මෙලෙසින් මේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු 32 දෙදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරනු ලබන පෙත්සමේ සඳහන් වන්නේ ජාසිංහආරච්චි මහත්මිය එම ධූරයට පත් කෙරුණ ද එම පත් කිරීම අදාළ රෙගුලාසිවල ‘කාන්තා’ යන වචනය සඳහන් නොමැති බව පෙන්වා දෙමිනි. එබැවින් කිසිම නියෝජ්‍ය පොලිස්පතිනියකට පොල්ස්පති තනතුරට පත්විය නොහැකි බවයි. අදාළ පෙත්සම්කරුවන් තවදුරටත් පෙන්වා දෙන්නේ මෙම පත්කිරීම නිසා තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවයි. එබැවින් මෙම පත්කිරීම බල රහිත කරමින් නියෝගයක් ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

මේ සිදුවීම විවිධ මාධ්‍ය තුළින් ප්‍රචාරයවීමත් සමඟ සමාජ මාධ්‍ය තුළින් විවේචන විශාල ප්‍රමාණයක් එල්ල වූයේ පෙත්සම ගොනු කළ නිලධාරීන්ට විරුද්ධවය. මේ නිසාම ඇයගේ තනතුරේ සුරක්ෂිතතාවය වෙනුවෙන් කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය ඉදිරිපත්වීම විශාල ශක්තියක් විය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිලුම පක්ෂවල කාන්තා නියෝජිතයන්ගෙන් සැදුම්ලත් මේ මන්ත්‍රීවරියන්ගේ කණ්ඩායම පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පෙන්වා දුන්නේ ඇය වෙනුවෙන් ඔවුන් සෘජුවම පෙනී සිටින බවයි.

මේ පෙත්සම ගොනු කිරීමත් සමඟ ඇයගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා අපහට කරුණු දක්වමින් ඇයට සිදුවී ඇති අසාධාරණය වඩාත් හොඳින් විග්‍රහ කළේ මෙලෙසිනි.

“බිම්ෂානි මහත්මියට අසාධාරණකමින් වෙන්නේ වසර ගණනාවකට පෙරයි. ඇය සමඟ මා මීට පෙරත් උසාවියේ පෙනී සිටියේ ඇයගේ තනතුරු පිළිබඳ ඇතිවූ ගැටලුවක් නිසයි. උප පොලිස් අධිකාරි පරීක්ෂක තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ පොලිස් තනතුර දක්වා උසස්වීම ලබන විට අඟල් 4 ක් උස අඩුවීම මත ඇයගේ උසස්වීම ලබාදීම තාවකාලිකව අවලංගු කරලා තිබුණා. ඒ අඟල් 4 අඩුවුණේ පොලිසීයට බඳවා ගැනීමේ පැවැති රෙගුලාසි අනුව. 5’1” - 5’2” යන උස ප්‍රමාණය. නමුත් එය උසස්වීම ලබන විට 5’6” ලෙස වෙනස් වී තිබුණා. අපි උසාවියේ පෙනී සිටිමින් කියා සිටියේ කාන්තාවක් අවුරුදු 25 - 26 වෙන විට එක පාරම අඟල් 4 ක් උස යන්නේ නැහැ. මේ නීතිය අසාධාරණ බව අපි උසාවියට පෙන්වා දුන්නා. එහෙම රෙගුලාසියක් තියෙන්න බැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අසාධාරණය වෙනස් කළා.

ඒ ආකාරයෙන් තමයි ඇයගේ කතාව ආරම්භ වුණේ. අසාධාරණය වෙනස් කරලා තීන්දුව ලැබුණු නිසා තමයි අධිකරණය තීරණය කරන්නේ ඇයට උසස්වීම ලබාදිය යුතු බවට. එපමණක් නොවෙයි ඇයට එම කාලය තුළ සිදු වූ අසාධාරණය වෙනුවෙන් ප්‍රතිශෝධනය කරන්න. එතැනින් තමයි ඇයගේ උසස්වීම් සියල්ල හිමිවන්නේ. ඉන්පසුව 2020 වසර වෙනවිට ඇය, ජ්‍යෙෂ්ඨතම පොලිස් අධිකාරිවරිය ලෙස පත් වන්නේ උසාවිය විසින් සිදු කළ ප්‍රතිශෝධනය නිසයි. නමුත් ඉන්පසු ඇයව අමතක කරලා ඇයට වඩා පහළ තනතුරු දැරූ පිරිමි 6 දෙනෙක් නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් වෙනවා.

පොලිසියේ උසස්වීම් ලබාදීමේදී තනතුරක් සඳහා කාන්තා යනුවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දක්වා සඳහන් වී තිබෙනවා. ඒ කියන්නේ එඒඉර්‍ථ, එඉර්‍ථ ලෙස සඳහන් වී තිබුණත් නියෝජ්‍ය පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා පැමිණෙන විට මෙම කාන්තා යනුවෙන් සඳහන් කොටස ඉවත් වෙනවා. නමුත් අපේ තර්කය වන්නේ කොස්තාපල් තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දක්වා පැමිණි පසු නියෝජ්‍ය පොලිසිපති තනතුර සඳහා කාන්තාව ද පිරිමි ද යන්න අදාළ වන්නේ නැති බවයි. එය පළපුරුද්ද හා සුදුසුකම් මත ඕනෑම අයකුට හිමි විය යුතු බවයි.

අපේ ඉදිරිපත් කරන තර්කය වන්නේ කිසියම් හේතුවක් නිසා ‘කාන්තා’ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරෙන් පසු සඳහන්ව නැති නම් ලංකාවේ කාන්තාවකට නියෝජ්‍ය පොලිස්පති වෙන්න බැරිද යන තර්කයයි. ඇයට සාධාරණය ඉටු කරදීමට තමයි අප අධිකරණය ඉදිරියේ බිම්ෂානී ජාසිංආරච්චි මහත්මිය වෙනුවෙන් පෙනී සිටින්නේ.”

මෙලෙසින් පෙනී සිටින ඔහු මෙන්ම ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයේ සංවිධාන ගණනාවක්ම ඇය වෙනුවන් හඬ නැගීමට පෙනී සිටින්නේ කාන්තාවන් වෙනුවෙන් සමතැන හිමිකර ගැනීමේ අරගලයයි. එය අධිකරණය ඉදිරියේ කෙලෙසින් තීරණය වුවත් කාන්තාවකට පොලිස් මුල් පුටුව හිමිවීම කිසිම වැරැද්දක් හෝ අසාධාරණයක් නොවන බව බහුතර ජන මතය වී තිබේ.තව නොබෝ දිනකින් අන්තර්ජාතික කාන්තා දිනය එළඹේ. එවන් පසුබිමක බිම්ෂානී ජාසිංආරච්චි නියෝජ්‍ය පොලිස්පතිනියට හෙට දිනයේ සාධාරණය ඉටුවේද යන්න මුළු රටම බලා සිටී.