රාජකාරිය දේවකාරියක් සේ කරමින් සම්මානනීය වුණු නයිටිංගේල් දියණිය

මාර්තු 3, 2021

විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනි

ගීතානි උඩුගමකෝරාළ

 

Best Top 50 Women award  2020 ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබන්නට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනි ගීතානි උඩුගමකෝරාළ මහත්මියට අවස්ථාව ලැබිණි.

එහිදී Women in Mangement  ආයතනය සංවිධානය කළ කාන්තාවන් ඇගයීමේ උත්සවයේ කෝවිඩ් වෙනුවෙන් සටන් වැදි කාන්තාවන් සිව් දෙනෙකු සම්මාන ලබා දුන් අතර ගීතානි මිය ද ඒ අතර වේ.

සුව විරුවන් අතර ඉදිරියෙන්ම සිටින ඇය තරුණී හා ළබැඳි කතාබහකට එක් කරගත්තෙමු.

ඇය ප්‍රසිද්ධිය ප්‍රචාරය සඳහා අතිශයින්ම මැලිකමක් දක්වන අතර අප හා සම්බන්ධ වූයේ ‘තරුණී” වෙත දක්වන ළයාදර බව නිසා මය.

අන් කවර කලකටත් වඩා සුව විරුවන් සුපසන් බවින් යුතුව අප සැමගේ සිත් තුළ ලැගුම් ගෙන සිටියි.

කෝවිඩ් 19 වසංගතය හමුවේ තව අදටත් ඔවුන් නොනිමි මෙහෙවරක නියැළෙන්නේ තම ජීවිත ද පරදුවට තබමින් බව නොකිවමනාය.

ලූ යැන් නම් වූ චීන ජාතික කාන්තාව සුවපත් කිරිමේ පටන් අද දක්වා කොරෝනා රෝගීන් සුවපත් කිරීමේ ගමනේ පුරෝගාමියා ලෙස කටයුතු කරන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනය නොහොත් අයි.ඩී.එච්. රෝහලයි.

එහි සිටින විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෙසු වෛද්‍යවරුන්ට රෝගීන් සුවපත් කිරීමට සහය වෙමින් හෙද සත්කාරයේ යෙදෙන අපූරු හෙද කාර්ය මණ්ඩලයක් සිටියි. රෝහල් අධ්‍යක්ෂවරයාගේ පටන් කණිෂ්ට සේවකයින් දක්වා ඔවුන් එකම පවුලක සාමාජිකයන් මෙනි. එකිනෙකාට පංගු බේරු නොකර යුහුසුළුව කටයුතු කරන ඔවුන් තම වගකීම් මැනවින් ඉටු කිරීමට කිසිසේත් ම නොපැකිළෙති.

මෙහි සිටින හෙද කාර්ය මණ්ඩලයට ශක්තියක් ධෛර්යයක් වෙමින් කටයුතු කරන ඇය අද අපේ කතා නායිකාවයි. ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියක වන ඇය ගීතානි උඩුගම කෝරාළයි. ඈ අසලම රැඳී සිටිමින් ඇයට අත්වැලක් වන්නී විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනි වජිරා රණසිංහයි.

කෝවිඩ් 19 වසංගතය හමුවේ මර බියෙන් අයි. ඩී. එච්. රෝහලට ඇතුළුව සිටින බාල මහලු කාගේත් සිත් දිනා ගෙන සිටින ගීතානි මිය ඔබටත් සමීප වූවා විය හැකියි. ආදරණීය මවක මෙන් ඇය ඔබටත් සෙනෙහෙ සිතින් ඔවදන් දුන්නා විය හැකියි. ඇගේ සොඳුරු ඔවදනින් රෝග බිය දුරු වන්නට ඇති. ආරක්ෂිත ඇඳුම් කට්ටලවලින් සැරසීගෙන ඔබ අභිමුවට එද්දී මේ මේ යැයි හඳුනා නොගත්තත් සුවපත් වී නිවෙසට යන මොහොතේ ඔබ ඇයව හඳුනා ගනියි. ඇගේ කාරුණික බව ඔබට මහමෙරක් වන්නට ඇති.

සැබෑම නයිටිංගේල් දියණියක වූ ඇය ආදරණීය දුවකි, සොයුරියකි, බිරියකි, මවකි. සැමගේ සිත් දිනාගත් සුපසන් යෙහෙළියකි.

කළුතර දොඩංගොඩ ඇගේ ගම් පියසයි. ඇගේ මව ද හෙදියකි. පියා පොලිස් නිලධාරියෙකි. හයදෙනෙකුගෙන් යුතු පවුලක දෙවැන්නි ඇයයි. මිරිස්වත්ත මහ විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා පහේ ශිෂ්‍යත්වය සමත්ව කොළඹ විසාකාවට පැමිණෙයි. ඇය උසස් පෙළ විභාගයට පෙනී සිටි සැණින් හෙද විභාගයට මුහුණ දුනි. ඉන් සමත් වද්දී උසස් පෙළ ප්‍රතිඵලවත් පැමිණ නොතිබිණි.

නයිටිංගේල් දියණියක ගේ අඩිපාරේ යෑමේ මූලාරම්භය එතැනයි. ඒ ගාල්ලේ හෙද විදුහලටයි. හෙද විදුහලේ දෙවැනි වසරේ ඉඳිද්දී ඇගේ මව මෙලොව අතහැර යන්නේ ඈ ඇතුළු අනෙකුත් සොයුරු සොයුරියන්ගේ, පියාගේ ජීවිතවලට විශාල හිඩැසක් තබමිනි. පානදුරේ කේතුමතී රෝහලේ රාත්‍රී සේවයේ යෙදී සිටියදී හෘදයාබාධයක් වැලඳීමෙන් අම්මා මිය ගිය පුවත පිළිබඳ පවසද්දී අදටත් ඈ බෙහෙවින්ම සංවේදී වෙයි.

“එදා එම රෝහලේ මේට්‍රන්වරියක් මගේ තාත්තාගේ හොඳම යාළුවෙක්. දරුවෝ හයක්ම තනිකරලා ඔයාගේ බිරිය යන්න ගියා. හෙද සත්කාරයෙන් එයාව බේරගන්න තිබුණා. එදා තාත්ත ඒ ගමන ගියේ මා එක්ක. මේට්‍රන් වරිය කියපු ඒ වදන් කිහිපය අදටත් මගේ හිතේ රැව් පිළිරැව් දෙනවා. මම ඒ බව හොඳින්ම හිතට ගත්තා. රෝගියකු අසාධ්‍යවන වාරයක් පාසා මම ඒ අතීතයට දිවයනවා.”

ඈ තම පළමු පත්වීම ලැබුවේ කළුබෝවිල රෝහලටයි. විවාහයත් සමඟින් ඇය පත්වීම ලබන්නේ හපුතලේ රෝහලටයි. හෙද සොයුරියක වීමේ විභාගයට එහිදී මුහුණ දී පශ්චාත් හෙද විදුහලේ ඉගෙනීම අරඹා හෙද සොයුරියක ලෙස ගමන අරඹන්නේ කොළඹ ජාතික රෝහලේය. එහි සිට අයි. ඩි. එච්. රෝහලට පැමිණියේ එවකට එහි සිටි මේට්‍රන්වරියකගේ ආරාධනයකිනුයි. 2007 වසරේදී මේට්‍රන්වරියක වූ ගීතානි මිය නැවත ජාතික රෝහලට පැමිණෙයි. මාස 6 ක පමණ කාලයක් එහි සිට නැවත අයි. ඩී. එච්. පවුල සොයා එනුය් එහි සිටින්නවුන්ගේ හෘදයාංගම චරිතයක් බවට පත්වෙමිනි.

ආදරණීය කැදැල්ලකට හිමිකම් කියන මැය සෙනෙහෙබර සැමියකුගේ බිරියකි. ඔහු (ධම්මික රත්නායක) කටුබැද්ද කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහය අධ්‍යක්ෂවරයෙකි. පුතු මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා උපාධිය හදාරා පශ්චාත් උපාධිය හැදෑරීමට ඔස්ට්‍රේලියාව බලා පිටත්වීමේ සූදානමකින් සිටියි. දියණිය බෙලරුෂ් හි ෙවෛද්‍ය විද්‍යාව හදාරන්නීය.

අයි. ඩී. එච්. රෝහලේ හෙද නිල නිවසක පදිංචිව සිටින ඇය රාජකාරිය දේවකාරිය මෙන් ඉටු කරන්නියක බව ඕනෑම කෙනකුට කටපුරා කිව හැකිය.

කෝවිඩ් සමයේ ඇගේ සැමියා සහ පුතු ඇයට දුන් සහය මෙතෙකැයි කිව නොහැකිය. ‘රට වෙනුවෙන් ඔයා ඔයාගේ යුතුකම ඉටු කරන්න’.

ඇගේ සැමියා ඇයට දිරි දුන්නේ එලෙසිනි. පවුලේ සහයක් නොතිබිණි නම් ඇයට මෙවන් කැපකිරිමක් සඳහා ඇති ඉඩකඩ සීමාවන්නට තිබිණි.

වසර ගණනාවක් අතීතයට දිවයන අයි. ඩී. එච්. මතකය

වසර කිහිපයකට පෙර ඉතාම අවම පහසුකම්වලින් යුතු රෝහලක් වුණු අයි. ඩී. එච්. රෝහලේ සේවය කිරීමට පවා සිතට යම් චකිතයක් ගෙන දෙන්නක් විය. එහෙත් එකාවන්ව එකම පවුලක් මෙන් පුදුමාකාර සමගියෙන් යුතුව කටයුතු කරන කාර්යමණ්ඩලයට එවැනි බාහිර සාධක කිසිවක් අදාළ නැත. ඔවුන් රෝගීන්ගේ සුබ සිද්ධිය උදෙසාම කටයුතු කරන අන්දම අතිශයෝක්තියෙන් යුතුව පැවසිය හැකි දෙයකි.

සමාජයේ අතිශයින්ම කොන්ව සිටි පිරිසක් වූ එච්.අයි.වී ආසාදිතයින් වෙනුවෙන් වෙනමම වාට්ටුවක් අරඹා ඔවුන්ට සුව සරණක් විය.

2003 කොරෝනා වෛරසයේම ප්‍රභේදයක් වූ සාර්ස් රෝගය පැමිණෙන්නට විය. වෛද්‍යවරුන් සිව්දෙනකු පමණක් සිටියදී අවම පහසුකම් මැද හෙද කාර්ය මණ්ඩලයේ (17 දෙනකු) සහය ද ඇතිව ඊට මුහුණ දෙන්නට විය. ඒ වකවානුවේ ගීතානි මහත්මිය හෙද සොයුරියකි. බෝවන රෝග සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රධාන ම රෝහල අයි.ඩී.එච්. වන නිසාවෙන් ඔිනෑම අවස්ථාවකදී ඒ සඳහා නොබියව මුහුණ දීමට ඔවුන් සූදානම් ශරීරයෙන් සිටියි. 2009 දී ඩ්1ව්1 රෝගය පැමිණෙද්දී නේවාසික රෝගීන් දහසකට ආසන්න ගණනක්, බාහිර රෝගීන් දහසකට අධික ගණනකට ප්‍රතිකාර කළේ අතිශය කැපවීමකිනි.

එදා අයි.ඩී.එච්. රෝහලේ කිසිම රෝගියෙක් ඩ්1ව්1 වලින් මිය ගියේ නැත. මේ කාලයේ අනුර සේනානායක වෛද්‍යවරයා රෝහල් අධ්‍යක්ෂවරයා විය. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඒ අවස්ථාවේ දීත් රෝගීන් සුවපත් කිරීමේ කාර්යයේ නිරත විය.

2010 වසරේ එස්. එම්. ආර්නෝල්ඩ් වෛද්‍යවරයා රෝහල් අධ්‍යක්ෂවරයා ලෙස පැමිණ වසර පහක කාලයක් එහි කරගත කරන්න විය.

අවශ්‍ය නොයෙකුත් පහසුකමක්ම සලසා දෙමින් රෝහල කණපිට හරවන්නට හෙතෙම සමතෙක් විය.එ ය රෝහල් කාර්යමණ්ඩලයට විශාල ශක්තියක් විය.

ඩෙංගු රෝගය සම්බන්ධයෙන් අයි.ඩී.එච්. රෝහල කටයුතු කරනුයේ ඔවුනට ම ආවේණික ක්‍රමවේදයකටයි.

‘ඩෙංගු නම් අයි.ඩී.එච්.’ තමයි යන පහන් සිතිවිල්ල කාගේත් සිතෙහි තැන්පත් විය. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සහ දමයන්ති ඉඩම්පිටිය ඩෙංගු රෝගීන් වෙනුවෙන් ඇපකැප වූයේ හෙද කාර්යමණ්ඩලයට ද සවිමත් බවක් ගෙන දෙමිනි.

2017 දී ඩෙංගු රෝගය අතිශයින් පැතිරගොස් තිබියදී අයි.ඩී.එච්. හි පමණක් රෝගීන් 17445 ක් සිටින්නට විය. ඔවුන් සියලුදෙනා සුවපත් කර නිවෙස් කරා යැවීමට මේ රෝහල සමත් විය.

බෝවන රෝග සම්බන්ධයෙන් වන ආසාදන පාලන වැඩසටහන් බොහොමයක් ම මෙහෙයවමින් රටපුරාම සිටින රෝහල් කාර්ය මණ්ඩල දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් අයි.ඩී.එච්. රෝහල මඟින් ඉටු කෙරෙද්දී ගීතානි මහත්මිය ද එහි පෙරමුණේ සිටියි.