සියනෑ අවුරුදු කුමරියෝ

අප්‍රේල් 21, 2021

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය සහ කොළඹ ව්‍යාපාරික සංගමය සමඟ තරුණී පුවත්පත එක්ව සංවිධානය කළ SLT Mobitel සියනෑ මේලා අවුරුදු සැණකෙළිය සමගාමීව පැවැත්වුණු 'තරුණී - සියනෑ අවුරුදු කුමරී' තරගාවලියේ අවසන් තරගය පසුගියදා මහර සාප්පු සංකීර්ණ ශ්‍රවණාගාරයේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්වුණා.

දිවයිනේ දස දෙසින් ඉදිරිපත් වුණ රූමතියන් රාශියක් අතරින් තරගකාරියන් විසිදෙනකු දෙවැනි වටයට සුදුසුකම් ලැබූ අතර එයින් තරුණී - සියනෑ අවුරුදු කුමරී කිරුළ දිනා ගන්නට වාසනාවන්ත වුණේ තෙසාරා විනලි. තෙවැනි ස්ථානය අවිශ්කා ගිහානිට හිමි වෙද්දී, දෙවැනි ස්ථානය ලැබුණේ නිපුනි කෞශල්‍යාට. ලැබූ ජයග්‍රහණය පිළිබඳ ඔවුන් මෙලෙස අදහස් දැක්වූවා.

මේ ජයග්‍රහණය ගැන ගොඩක්ම සතුටු වුණේ අම්මා
 

අවුරුදු කුමරී කිරුළ දිනූ තෙසාරා විනලි
 

 

ලබපු ජයග්‍රහණය ගැන මොකද හිතන්නේ....

ගොඩක් ලස්සන ළමයි තරගයට ඉදිරිපත් වෙලා හිටියා. එවැනි රූමත් පිරිසක් අතරින් මට ජයග්‍රහණය ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මටත් වඩා අම්මාට තමයි සතුටු. එයා තමයි මාව තරගයට යොමු කළේ. තරගයට ආපුවම මට පොඩි චකිතයක් ඇති වුණා. මොකද කොණ්ඩෙ ගොඩක් දිග ලස්සන අය හිටියා. මගේ කොණ්ඩේ ඒ අයට වඩා දිගින් අඩුයි. ඒ නිසා අවසන් තිදෙනා අතරට තේරුණත් පළමු ස්ථානය ලැබෙයි කියා හිතුවේ නැහැ.

 

දෙරණ ලිට්ල් ස්ටාර් තරගයෙනුත් ඔබ ජයග්‍රහණයක් ලබා තිබෙනවා නේද?

ඔව්. දෙරණ ලිට්ල් ස්ටාර් තරගයෙන් මට ජනප්‍රියත්වයක් ලැබුණා. ඒ තරගය නිසා බොහෝ අය මාව හඳුනනවා. දෙරණ ලිට්ල් ස්ටාර් තරගයේ 8න් පහළ කාණ්ඩයෙන් ජනප්‍රියම නර්තන තරුව වෙන්න මට හැකි වුණා. ඊට අමතරව පාසල් නාට්‍ය තරග සහ නර්තන තරගවලින් සමස්ත ලංකා ජයග්‍රහණ ලබා තිබෙනවා.

 

අධ්‍යාපන කටයුතු ගැන කතා කළොත්...

මම ඉගෙන ගන්නේ නුගේගොඩ ශාන්ත ජෝන්ස් විද්‍යාලයේ. ලබන වසරේදී කලා අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දීමට අපේක්ෂාවෙන් සිටිනවා.

 

මේ ජයග්‍රහණය පිටුපස සිටින්නේ ඔබේ මව ද?

අම්මා නිල්මිණී හෙරනායක. තාත්තා දුෂාන්ත ලක්ෂ්මන්. අයියා පසිඳු මල්කාන්ත. අපි පදිංචි වෙලා ඉන්නේ බොරලැස්ගමුවේ. පවුලේ හැමෝම මට උදව් කළා. අම්මා තමයි ගොඩක් වෙලාවට මගේ ළඟින්ම ඉන්නේ. මගේ සෑම ජයග්‍රහණයක් පසුපසම ඉන්නේ එයාලා. දිනෙක නීති විද්‍යාලයට ප්‍රවිශ්ට වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ හීනය සැබෑ කරගන්නත් එයලගේ සහයෝගය මට ගොඩක් වටිනවා.

විද්‍යා අංශයෙන් උපාධියක් කරන්න බලාපොරොත්තු වෙනවා
 

දෙවැනි ස්ථානය දිනූ නිපුනි කෞෂල්‍යා
 

 

 

SLT Mobitel තරුණී සියනෑ අවුරුදු කුමරිය තරගාවලියෙන් දෙවැනි ස්ථානය දිනාගත්තේ ඔබයි...

ඔව්, තරගයට ඉදිරිපත් වුණේ ගොඩක් ආසාවෙන්. අම්මා හැම සතියෙම තරුණී පුවත්පත ගන්නවා. තරුණී පුවත්පතේ තිබුණු කූපණය පුරවලා එව්වේ ආසාවට. මට මේ තරගයෙන් දෙවැනි තැන මට ලැබුණා. ඉතිං මටත් ගෙදර අයටත් ගොඩක් සතුටුයි.

 

මින් පෙරත් මෙවැනි ජයග්‍රහණ ලබා තිබෙනව ද?

මම පාසලේ අවුරුදු කුමරි තරගයෙන් දෙවැනි තැන දිනාගත්තා. ඒ වගේම කුඩා කාලයේදිත් අවුරුදු කුමරි තරගවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලබා තිබෙනවා. නමුත් මෙතරම් ප්‍රමිතිගත දැවැන්ත තරගයකට ඉදිරිපත් වුණේ පළමු වතාවට.

 

තරගයට ඉදිරිපත් වෙනවට ගෙදරින් විරුද්ධ වුණේ නැති ද?

අපේ ගෙදර අයට තරුණී පුවත්පත ගැන ලොකු විශ්වාසයක් තිබ්බා. ඒ නිසාමයි මාව තරගයට ඉදිරිපත් කළේ. තරගයේ ස්වභාවය සහ ප්‍රමිතිය හරි හැටි දන්නේ නැති වුණාම මව්පියෝ කැමැති වෙන්නේ නැහැනේ දුවෙක්ව එවැනි තරගයකට යවන්න. මේක තරුණී පුවත්පතේ දෙයක් නිසා ගෙදර අය හරිම සතුටින් තමයි මාව තරගයට එව්වේ.

 

ඔබ නර්තනයට වගේම නිවේදනයටත් දක්ෂයි...

මම අධ්‍යාපනය ලැබුවේ මිලාගිරිය ශාන්ත පාවුළු බාලික විද්‍යලයෙන්. උසස් පෙළට ජීව විද්‍යා අංශයෙන් ඉදිරිපත් වුණේ. ප්‍රතිඵල එනකම් තමයි බලාගෙන ඉන්නේ. මම උඩරට නර්තනය හොඳින් හැදෑරුවා. ඒ වගේම ඉංග්‍රීසි සහ සිංහල යන මාධ්‍ය දෙකෙන්ම පාසල් නිවේදන කටයුතුවලට සම්බන්ධ වෙනවා. පාසල් නර්තන කණ්ඩායමේ සාමාජිකාවක්. සමස්ථ ලංකා ජයග්‍රහණ රැසක් ලබාගෙන තියෙනවා.

 

පවුලේ අය ගැනත් මතක් කරමු...

මගේ ගම ගල්කිස්ස. අම්මා ඩීනා තෙන්නකෝන්. තාන්තා රොහාන් තෙන්නකෝන්. මට අයියා කෙනෙක් ඉන්නවා. එයා ඩිහාන් තෙන්නකෝන්.

 

අනාගත සැලසුම් මොනවද?

විද්‍යා අංශයෙන් උපාධියක් කරන්න බලාපොරොතුවෙන් ඉන්නේ. ඒ අතරතුර නර්තන කටයුතුත්, නිවේදන කටයුතුත් කරගෙන යනවා.

රංගනයෙන් ඉදිරියට ගොස් නිළියක් වීමයි මගේ බලාපොරොත්තුව.
 

තෙවැනි ස්ථානය දිනූ අවිශ්කා ගිහානි
 

 

ඔබේ අධ්‍යාපන කටයුතු දැන් අවසන් ද?

මූලික අධ්‍යාපනය ලැබුවේ දෙහිවල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන්. ඉන්පසු පානදුර අන්තනීස් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. දැන් ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් විදිහට කටයුතු කරනවා.

 

තරගයට සහභාගි වෙද්දි පවුලේ අයගෙන් ලැබුණේ මොන වගේ සහයෝගයක් ද?

මම පානදුරේ. අම්මා ඈන් වෙරෝණිකා. තාත්තා සරත් ප්‍රනාන්දු. මට සහෝදරයන් තිදෙනකුත් වැඩිමල් සහෝදරියකුත් ඉන්නවා. මේ තරගයට එද්දි එයාලගේ බලාපොරොත්තුවක් තිබුණා මට ජයග්‍රහණයක් ලැබෙයි කියලා. ගමේ අවුරුදු කුමරි තරගවලින් දෙපාරක්ම මම ජයග්‍රහණය කළා.

 

ඒ වගේම ඔබ කලාකාරිනියක්....

 

මට කලා හැකියාවන් කිහිපයක්ම තියෙනවා. නර්තනයට, ගායනයට වගේම අංගනයටත් ඉතාම කැමැතියි. මම සමස්ථ ලංකා ජයග්‍රහණ පවා ලබාගෙන තියෙනවා ඒ අංශවලින්. දිනෙක රංගනය පැත්තෙන් ඉදිරියට ගොස් දක්ෂ නිළියක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.

 

 ඡායා -හිරන්ත ගුණතිලක