විසකුරු නයි පොළඟුන්ට පවා ප්‍රතිකාර කර සුවපත් කරන පශු වෛද්‍ය යුවළ

අප්‍රේල් 28, 2021

 

මම වැඩියෙන්ම කැමැති ඇට කටු වල ඔපරේෂන් වලට

- පශු වෛද්‍ය කණිෂ්ක කොළඹගේ

අලි, කොටි, වලස්සුන්ට විතරක් නෙමේ සිංහයන්ටත් ප්‍රතිකාර කරලා තිබෙනවා

-පශු වෛද්‍ය තමාරා තරංගනී

 

සුරතලයට හෝ ආරක්ෂාවට බල්ලකු ඇති නොකරන නිවෙසක් ඇත්නම් ඒ කලාතුරකිනි. සුරතලයට සතුන් ඇති කිරීමේදී විශේෂයෙන් බල්ලන් ඇති කිරීමේදී නිසි පරිදි එන්නත්කරණය කළ යුතුය. ඒ සඳහා අප යායුතු වන්නේ පශු වෛදද්‍ය වරයා වෙතය.

එසේම සුරතලා අසනීප වූ අවස්ථාවලදී ප්‍රතිකාර කරන්නේ පශු වෛද්‍ය වරයාය. මේ නිසා පශු වෛද්‍ය වරයා අපේ ජීවිත සමඟ නිරන්තරයෙන් සම්බන්ධවන කෙනෙකි. අද අපේ කතා නායකයින් වන්නේ සත්තුන්ට ආදරය කරන, සත්තුන්ට ප්‍රතිකාර කර සුවපත් කරන පශු වෛද්‍ය සුමේධ කණිෂ්ක කොළඹගේ සහ පශු වෛද්‍ය තමාරා තරංගනී විල්සන් යුවළයි.

දිනකට සාමාන්‍යයෙන් සතුන් සියයක් දෙසීයක් තරම් ප්‍රමාණයකට ප්‍රතිකාර කරමින් අතිශයින් කාර්ය බහුල අවිවේකී දිවියක් ගතකරන මේ දෙදෙනා තරුණී ආදරණීය කතාබහකට එක්කර ගත්තේ ඔවුන් කරන සේවාවේ සුවිශේෂී බවක් ඇති නිසාය.අප බොහෝ විට අසා ඇත්තේ හෝ දන්නේ පශු වෛද්‍යවරුන් බල්ලන්, පූසන්, හරකුන් වැනි මිනිසුන් ඇති කරන සතුන්ට ප්‍රතිකාර කරන බවය. එහෙත් සුමේධ කණිෂ්ක පශු වෛද්‍ය වරයා නයි, පොළඟුන් වැනි විසකුරු සර්පයින්ට පවා සැත්කම් කර, ප්‍රතිකාර කර උන් සුවපත් කරන බව ඇසුවොත් ඔබ පුදුමයට පත් වනු ඇත.

විස්මිත සැත්කම් සිදුකරමින් සතුන්ට ජීවත් වීමේ වරම් ලබා දෙමින් බුද්ධදාස රජතුමන්ගේ අඩිපාරේ ගමන් කරන පශු වෛද්‍ය සුමේධ කණිෂ්ක ගෙන් අපි කතා බහ ආරම්භ කරමු.

“මගේ ගම කඩවත. මම අධ්‍යාපනය ලැබුවේ කැලණියේ ධර්මාලෝක විදුහලෙන්. පුංචි කාලයේ මමත් අනෙක් ළමයි වගේම සත්තුන්ට ආදරය කළා. ඒත් මට මේ ක්ෂේත්‍රය ගැන අදහසක් තිබුණෙ නැහැ.උසස් පෙළ විභාගයෙන් පස්සෙ පේරාදෙණියේ පශු වෛද්‍ය පීඨයට තේරුණා. ඒ විදිහට තමයි මම පශු වෙද්‍යෙවරයෙක් වෙන්නේ.”

සත්තුන්ට වැඩි ආදරයක් නොතිබුණු ඔබට දැන් මේ තරම් සත්තුන්ට ආදරයක් ඇතිවුණේ කොහොමද?

මම පාස් අවුට් වෙලා සෞඛ්‍ය අමාත්‍යංශයේ රේබීස් යුනිට් එකේ රැකියාවට ගියා. ඉතින් රැකියාව කරන අතරතුර සතුන් සමඟ නිරතුරවම ගැටෙද්දී කරුණාව, ආදරය ටික ටික හිතට ආවා. සතෙක්ගේ මූණ දැක්කම තේරෙනවා එයා අසනීපයකින් ඉන්නවද

 

නැද්ද කියලා. සත්තුන්ට කතා කරන්න බැහැනෙ. ඉතින් ඒ ඇස් වලින් අසරණ විදිහට බලනකොට පුදුම හැඟීමක් දැනෙන්නේ. සත්ත්ව ආදරේ ඇඟේ තියෙන්නෙ රස්සාවත් එක්ක. ඒ දෙකම තිබුණාම මේ රැකියාව ලේසියි.

ඔබේ බිරියත් පශු වෛද්‍යවරියක්. ඇය මුණ ගැහීම සිදුවන්නේ කොහොමද?

ඇය තමාරා තරංගනී විල්සන්. එයා ෆැකල්ටියේ මගේ බැච් එකේමයි. ෆැකල්ටියෙදි නවකයෝ ජෝඩු කරනවා. අපි දෙන්නත් එහෙම ජෝඩු කළා. අපි හිටියෙ එකටමයි. මුලින් හොඳ යාළුවො වුණා. දෙවැනි වසර වෙනකොට අපි පෙම්වතුන් වෙලා ඉවරයි. මට ඉගෙන ගන්න මුදල් හදල් තිබුණු කෙනෙක් නෙමෙයි. ඒ කාලයේ මට අවශ්‍ය වියදම් දීලා මාව බලාගත්තෙ මගේ පෙම්වතිය.

රජයේ රැකියාවක් කළ ඔබ මේ වගේ සත්ත්ව සායනයක් ආරම්භ කළේ?

තමාරාගේ ගම දෙවළපොල. අපි පාස් අවුට් වෙනකොට එයා මේ ස්ථානයේම ක්ලිනික් එක පටන් අරගෙන තිබුණා. මම ජොබ් එකට ගියා. තමාරා ක්ලිනික් එක කළා. මගේ ජොබ් එකේ හැටියට මුළු රට වටේම යන්න ඕන. ඉතින් මම ලංකාවේ හැම තැනකම ගියා. ඒක හරිම වෙහෙසකරයි. ඒ නිසා මම ඒ රස්සාව ඒ තරම් තෘප්තියකින් නෙමෙයි කළේ.

ඒ නිසා වයිෆ් පොඩියට කරපු ක්ලිනික් එකට මමත් සෙට් වුණා. අපි දෙන්නා එකතුවෙලා උපකරණ අරගෙන ඒක වැඩිදියුණු කරලා සත්තුන්ට ආදරෙන් ප්‍රතිකාර කරන තැනක් බවට පත් කළා.

අපේ කතා බහට පශු වෛද්‍ය තමාරා මහත්මියත් එකතු වුණා.

මම තමාරා. මම පාසල් ගියේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට. 98 අවුරුද්දේ උසස් පෙළ කරලා 2000 අවුරුද්දේ පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට ඇතුළත් වුණා. කණිෂ්ක මට මුණ ගැහුණේ කැම්පස් එකේදි. මම දැන් දැන් මිනුවන්ගොඩ රජයේ පශු වෛද්‍ය නිලධාරිවරිය ලෙස සේවය කරනවා.

රජයේ පශු වෛද්‍යවරියක් ලෙස ඔබට ඇති අත්දැකීම් විස්තර කළොත්..

මම 2010 වසරේ මඩකලපුව රජයේ පශු වෛද්‍ය වරිය ලෙස සේවය කරලා 2014 පින්නවල අලි අනාථාගාරයේ ස්වයට එක්වුණා.

කාන්තා වෛද්‍යවරියක ලෙස අලි ඇතුන්ට ප්‍රතිතාර කරමින් ගත කළ කාලයේ අත්දැකීම් මොන වගේද?

ඒක වෙනස්ම අත්දැකීමක්. අලි කුලප්පු වුණු අවස්ථාවලදී උන් නිර්වින්දනය කරන්න ඕනෑ. අලිත් එක්ක වැඩ කරන එක භයානකයි. වගේම අනතුරු දායකයි. ඒත් ඉතින් බයක් නම් දැනුණේ නැහැ. අලි අනාථාගාරයයි සත්වෝද්‍යානයයි දෙකම තිබුණේ එකට. එකම ඩොක්ටර්ස්ල තමයි දෙකටම හිටියේ. ඉතින් පින්නවල සත්වෝද්‍යනයේත් වැඩ කරන්න සිදුවුණා. කොටි, වලස්සුන්ට විතරක් නෙමේ සිංහයන්ටත් ප්‍රතිකාර කරලා තිබෙනවා.

දැන් ඔබ දෙදෙනාගේ Universal Vets Animal Hospital ගොඩක් ජනප්‍රියයි.

ඇත්තටම දැන් ගොඩක් මිනිස්සු සත්තුන්ට ප්‍රතිකාර කරන්න අපව හොයාගෙන එනවා. අද වෙනකොට එක දවසක් වත් වහන්න බැරි තරමට සත්තු අරගෙන එනවා ඒ තරමට ප්‍රසිද්ධයි.

පශු වෛද්‍ය කණිෂ්ක බොහෝ ප්‍රසිද්ධ වෙලා ඉන්නේ සත්තුන්ගේ සැත්කම්වලට.

 

 

ඒක ඇත්ත. මම ගොඩක් ආසා ඔපරේෂන් වලට. සත්තුන්ගේ කැඩුම් බිඳුම් වලට ප්‍රතිකාර කරන්න මම හරිම කැමැතියි. විශේෂයෙන් ඇට කටුවල සර්ජරිවලට.

සමහර වෙලාවට කකුල්, අයින් කරන්න තරම් දරුණුවට හානි වෙලා තියෙන ඒවා හදලා සුව කළාම හිතට හරි සතුටුයි.

හරකුන්ගේ කකුල් කැඩුණු අවස්ථාවල අපේ සමහර පශු වෛද්‍යවරු වුණත් පුරුදු වෙලා ඉන්නවා ඒ කේස් එකට මාව සම්බන්ධ කරගන්න. ඇත්තටම මම ආසම සබ්ජෙක්ට් එක ඔපරේෂන්.

ඔබ කොහොමද ඒකට මුලින්ම යොමුවෙන්නෙ.

මුලින්ම පොඩි පොඩි ඒවා කළා. අමාරු දෙයක් කරලා සාර්ථකවුණාම ටික ටික ඒකට ආසා වෙනවා.

මේ වගේ අසීරු සැත්කම් කරන්න ඔබ අනුගමනය කරන්නේ කව්ද?

ඒ ඔපරේෂන් එක මෙහෙමයි කරන්නේ කියලා ලෝක කොහේවත් තියරි එකක් නෑ. ඒ තියරි එක අපි හදා ගත්තෙ. ලෝකේ මොකක් හරි තියරි එකක් තියෙනවා නම් ඒක කවදා හරි මනුස්සයෙක් හදපු එකක්නෙ. ඉතින් මේ සත්තුන්ට මම කරන ඔපරේෂන් වලට එහෙම තියරි එකක් නැහැ.

දැන් අපි මේ වගේ දේවල් අත්හදා බලලා කරලා ඒක සාර්ථක වුණාම එතැනින් එහාට අය ඒක දිගටම කරන්න උත්සාහ ගනියි.

ඉබි කටුව හැදූ සැත්කම ගැන විස්තර කරන්න.

අන්තිමට ගෙනාව ඉබ්බා බැකෝ යන්ත්‍රයක බකට් එකට අහුවෙලා. ඉබ්බාගේ කටුව පොඩිවෙලා තමයි මම ළගට ගෙනාවෙ.

කටු කෑලි එතැන වැටිලා තිබුණෙ. ආවට පස්සේ ඒ කටු කෑලි ටිකත් ආයෙ හොයාගෙන එන්ඩ කියලා කටු ටික එකතු කළා. ඩ්‍රිල් එකෙන් විදලා කම්බියකින් තමයි මැහුවෙ. මහලා දවසක් තියලා ඊට පස්සෙ කැටලෝයි පේස්ට් වලින් කටුව හැදුවා. කොහේවත් එහෙම දෙයක් කරන්න කියලා නිර්දේශයක් නෑ. ගොඩක් දේවල් මම ම හදාගත්ත ඒවා. ඒවගේ ගොඩක් අමාරු දේවල් කළා.

මේ ළඟදි මීරිගම ප්‍රදේශයේ බල්ලෙක් ගෙනාවා. මම ළඟට ගෙනාවේ ඇට කෑලි ටික නැතුව. ඒක කපලා ඉවත් කළ යුතු අතක්. අතේ යට අස්ථි දෙකේ මැද කෑලි ටික තිබුණේ නැහැ.

මෙතෙන්ට ආවට පස්සෙ අපි කිව්වා සමහරවිට අපි ෆේල් වෙන්නත් පුළුවන්. ඒත් අපි ට්‍රයි එකක් දෙමු කියලා. අත කපන්න යන්නෙ විනාඩි 10 ක විතර වෙලාවක්. ඒත් අත හදල දෙන්න මාසයක් එකහමාරක් විතර යන්න පුළුවන්. ඔයාටත් ටිකක් වැඩිපුර වෙහෙස වෙන්න වෙනවා. එයා ඒකට කැමැති වුණා. අපි අස්ථි කෑලි කම්බි වලින් ගානට සෙට් කරලා අත හැදුවා. දැන් ඌ අඩිය තියලා යනවා.

බල්ලන්, පූසන්, ඉබ්බන් වගේ අය අහිංසක මිනිසුන් සමඟ ළගින්ම ජීවත් වන සත්තු.ඒ අයට ප්‍රතිකාර කරන එක සාමාන්‍ය දෙයක්. නමුත් නයි පොළඟුන් වැනි විසකුරු සත්තුන්ටත් ප්‍රතිකාර ඔබ කරනවා.

පශු වෛද්‍යවරයෙක් විදිහට රස්සාව බාරගන්නකොටම අපි ඒකට කැමැති වෙලා තමයි ඒක බාරගන්න ඕනෙ. අනේ පොළඟෙක්නෙ කියලා බෑ කියන්න බැහැ. පශු වෛද්‍යවරයකුට මනුෂ්‍යයෙක් නොවන සෑම සත්වයෙක්ම අයිතියි. බල්ලෙක් පූසෙක් විතරක් එතෙන්ට අදාළ වෙන්නෙ නැහැ.

 

 

 

 

පොළගා බලන්නෙත් පශු වෛද්‍යවරයා. පොළඟාට බෙහෙත් කරන එකම ආයතනය සත්වෝද්‍යානයනෙ. පොළඟා වැදගත් වෙන්නෙ එතැනට විතරයි.

පරිසරයේ ඉන්න සත්තු මැරෙන්න යනකොට අපි ට්‍රීට් කරන්න ඕනෑ.

එදා ඒ පොළඟා ගෙනාවෙ අවුරුදු 22 ක විතර තරුණ කොලු ගැටයෙක්. දවස් දෙක තුනක් එයාව අතින් අල්ල අල්ල මස් කෑලි කව කවා තියාගෙන තියෙන්නෙ. ටික දවසකින් කන්නෙ නැතුව ගියා. එයාට සිතිවිල්ලක් ආවා. මේ වගේ කන්නෙ නැති වෙලාවට බල්ලන්ට හරකුන්ට පවා සේලයින් දෙනවනෙ. ඒ වගේ මූට සේලයින් ටිකක් දෙන්න කියල තමයි අරගෙන ආවෙ.

මේ පොළඟාට මොකක් හරි ලෙඩක් හැදිලා එක්තැන් වෙලා තමයි එයාට හම්බවෙලා තියෙන්නෙ. සේලයින් දුන්නාට වැඩක් වුණේ නැහැ. ඒ සතා පහුවදා මැරුණා. නමුත් එතැන ඒ දරුවට ආව සිතිවිල්ල තමයි වැදගත්.

දැන් දවස් දෙක තුනකට උඩදී පිඹුරෙක් ගෙනාවා. ඌ කවලා පොවලා තමයි හදලා තියෙන්නෙ. පොඩි කාලෙ උගෙ බෙල්ල නූලක එතිලා. ඌ ලොකු වෙනකොට බෙල්ල හිරවලා. එතැන ගෙඩියක් හැදිලා ඒක පිළිකාවකට ඇවිත්. ඒ අය නුල කපලා අයින් කරලා තුවාලෙ හොඳ වෙන්නෙ නෑ කියලා තමයි ගෙනාවෙ. මම තුවාලය සුද්ද කරලා ඇන්ටිබයොටික් දිදී ප්‍රතිකාර කරනවා. සතා සනීප වුණාට පස්සේ ඔවුන් කොහේහරි කැලේකට නිදහස් කරයි.

ලංකාවේ බල්ලගෙ ආදරය සහ සෙනෙහස දැනෙන්නෙ කොහොමද?

 

 

මම රට බල්ලෙකුත් හදනවා. ලංකාවේ බල්ලෙකුත් හදනවා. මූ ඉතින් කකුල් දෙක ගාවින් හෙල්ලෙන්නෙ නැහැ. අරූට ඉතින් එහා පැත්තෙ ගෑනු සතෙක් බිරුවොත් අපිව ඕනත් නෑ. එතෙන්ට වෙලා ඉන්නවා. නමුත් මූ කවදාවත් අපේ කකුල් දෙක ගාවින් යන්නෙ නෑ.

රට බල්ලන්ට වඩා ලංකාවේ බල්ලා හරිම ගුණයහපත්. ඒක මගේ පෞද්ගලික අදහසක්.

සත්තු එක්ක ගත කරන ජීවිතේ එපා වෙන්නේ නැතිද?

සමහරු එනවා පවුල පිටින්ම. ගෙදර ඉන්න චූටි පූස් පැටියා අරගෙන ඇවිත් වටේ ඉන්න බල්ලො ටිකත් බලලා යන්න. එහෙම සත්තුන්ට ආදරේ කරන අය ඉන්නෙ. ඒ අය එන්ජෝයි කරන්න හරිම ජොලි.

මමත් හරියට විහිළු කරනවා. නැත්නම් මේක එපා වෙනවා. මොකද මටත් දවසම ඇහෙන්නෙ බල්ලො ගොරවන සද්දෙනේ. උදේ 9 ඉඳල රෑ 9 වෙනකම් බල්ලො බුරන, ගොරවන සද්ද තමයි කන්දෙකේ තියෙන්නෙ. මෙතන තිබුණාට දවල්ට කාටවත් එන්න වෙන්නෙ නැති දවස් තියෙනවා. රෑ 11 යි 12 යි ඉවර වෙනකොට. එකම ඇඳුම පිටින් ඉන්නෙ. ඒත් එපා වෙන්නෙ නෑ. හරිම ආසාවෙන් තමයි කරන්නෙ. නමුත් හැමදාම වගේ නිදා ගන්නකොට රෑ 1 යි 2 යි. ආයෙත් උදේ 7.30 ට ඇහැරෙනවා. ඒක හැමදාම එක දිගට කරන්න අමාරුයි.

ඔබේ විනෝදාංශ මොනවද?

ගීත අහන්න ආසයි. මම වැඩ කරන අතරතුරත් සින්දුවෙන් තමයි ඉන්නෙ. ක්ලිනික් එකෙන් සින්දු දාලා තියෙන්නෙ. සත්තු මැරෙනවා. මිනිස්සු අඬනවා. ඒ හැම දෙයක් අතරම සින්දුත් ඇහෙනවා. මේ රස්සාව එපා නොවී කරන්න හේතුවත් තමයි මම සින්දු අහන්න කැමැති එක.

ඔබ වඩාත් ප්‍රියකරන්නෙ මොනවගේ ගීත වලටද?

පැරැණි ගීතවලට තමයි කැමැති. කැම්පස් යන කාලෙ ඉඳලම.

විශේෂයෙන් එම්. එස්. ප්‍රනාන්දු මහතාගේ ගීතවලට ආසයි. නෝනා ආසයි අලුත් සින්දුවලට. කැම්පස් එකේ යාළුවොත් එක්ක විනෝද වෙන්න අවස්ථාවක් ලැබුණොත් ඉතින් දිව්‍ය ලෝකයේ ගියා වගේ තමයි. එහෙම දවස් ඉතාමත් කලාතුරකින් උදාවෙනවා.

සැබැවින්ම මේ දෙදෙනාගේ ලෝකය පිරී ඇත්තේ සුරතල් සතුන්ගෙනි. විශේෂයෙන් අසනීපවී, තුවාල වී හෝ වෙනත් හේතුවක් නිසා අසරණ වුණු තමන්ගේ දුක වේදනාව කතා කර පවසන්නට නොහැකි සතුන්ගේ දුක නිවන්නට දිවා රෑ නොබලා කැපවෙන ඔවුනගේ දයාබරිත බවට සතුනට ආදරය කරන අප ස්තූතිවන්ත විය යුතුය.

 

 

 ඡායා - ශාන් රූපස්සර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.