පොල් කට්ටක් ඔතාගෙන පාසල් ආපු දරුවා තමයි මගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කළේ

පොල් වගා කිරීමේ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිනී මානෙල් කුලරත්න
අගෝස්තු 18, 2021

 

 

ජීවිතේ කියන්නේ අපූරු දෙයක්. එය නොලැබීම් දරාගෙන, ලැබීම් පරිස්සම් කරගෙන, රිදීම් ඉවසාගෙන, වැටීම් උහුලාගෙන,‍ තනිව යන ගමනකි. මේ ගමන සාර්ථක වුණු මිනිසුන්ගේ කතාව හරිම සුන්දරයි. හරියට රසවත් නවකතාවක් වගේ. හැබැයි මේ නවකතා පොතේ රසවත් බව විඳින්න ඒ පොතේ මුල පිටුව කියවලා දැනගන්න බැරි බව දැනෙන කතාකරුවන් අපට හමුවෙනවා. ඇය මානෙල් කුලරත්න මහත්මිය.

පොල් වගා කිරීමේ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිනීතුමිය ලෙස කටයුතු කරන ඇය රාජ්‍ය පරිපාලන සේවයේ දක්ෂ නිලධාරිනියක් වගේම ඉතා කෙටි කාලයක් තුළ දිගු ගමනක් ආ දක්ෂ කාන්තාවක්. ඇය ආ ඒ ගමන් මඟේ ආරම්භය සනිටුහන් කරන ඉතාම සංවේදී සිදුවීමකින් මේ සුහද පිළිසඳරට මුල පුරනවා.

ඇය රාජ්‍ය පරිපාලන සේවයේ මුල්ම පත්වීම ලබන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ ලුනුගල ප්‍රදේශයට. දරිද්‍රතාවයෙන් පිරි ලුනුගලදී ඇයට පුංචි දරුවකු මන්දපෝෂණයෙන් පෙළෙන බව දැනගන්න ලැබෙනවා. මේ ගැන ඇය සමෘධි නිලධාරින්ගෙන් විමසූ විට කියන්නේ මේ “දරුවාගේ මව්පියන් කියනවා දරුවා හොඳට කනවා කියලා.” “කෑවද පුතේ“ කියලා ගුරුවරු ඇහැව්වාම “ඔව්“ කියනවලු. දවසක් ගුරුවරියක් මේ දරුවා කෑම කනවා හොරෙන් බලාගෙන ඉඳලා තියෙනවා. මේ දරුවා කවදාවත් අනෙක් දරුවෝ එක්ක කන්නේ නැතුව වෙනම තැනකට ගිහින් කනවාලු. බනිස් ගෙඩියක් ඔතාගෙන ඇවිත් කනවා පේනවාලු. මේක දවසක් ගුරුතුමිය හොඳින් පරීක්ෂා කරලා බලනකොට ඇයගේ දැස කඳුළින් තෙත් වෙලා ඇඬුනාලු. මේ දරුවා පොල් කට්ටක් කොලේක ඔතාගෙන ඇවිත් කනවා වගේ පැත්තකට වෙලා ඒකට අත දදා ඉන්නවා.... හැබැයි දරුවා කනවා වගේ සතුටින් ඉන්නවා පේනවා. මේ සංවේදී සිදුවීමත් සමඟ ඇයට දිළිඳුකමේ දරුණුම අවස්ථාව සිත පතුළට කා වදිනවා. ඇය මේ රටේ දිළිඳුකම වෙනුවෙන් මිනිස්සුන්ට සේවය කරන්නට තීරණය කරන්නේ එතැන් සිටයි.

 

මානෙල් මහත්මිය..... ඔබ එසේ තීරණය කරන්නට පෙර ඔබ ආ ගමන් මඟ ආරම්භ කරන්නේ කොතැනින්ද?

 

මගේ ගම පිළිමතලාවේ වල්ගම්මන, මැද්දේගොඩ කියන සුන්දර ගම්මානයක්.

මගේ පියා දක්ෂ චිත්‍ර හා මූර්ති කැටයම් ශිල්පියෙක්. ඔහු සුනිල් කුලරත්න. මව ආරියවතී කුලරත්න. මගේ පවුලේ මල්ලියි, මමයි විතරයි. ඔහු දැන් නැවක ඉංජිනේරුවෙක්. මගේ මූලික අධ්‍යාපනය පටන් ගත්තේ නුවර ලංකාතිලක මහ විදුහලෙන්. ශිෂ්‍යත්වය සමත් වෙලා ඊළඟට මම මහනුවර උසස් බාලිකා විද්‍යාලයට ආවා. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් සමත් වෙලා ඉන්න කාලේ තමයි ජීවිතේ තීරණාත්මක කාලේ වුණේ. මගේ අදහසක් තිබුණා යුද හමුදාවට බැඳෙන්න. ඒ කාලේ යුද්ධයක් තිබුණු නිසා පවුලකින් එක්කෙනෙක් හරි බැඳෙන්න ඕනේ කියන අදහස මගේ හිතේ තිබුණා. ඒ කාලේ මට දැනගන්න ලැබුණා කොතලාවල ආරක්ෂක පීඨයට ගැහැනු ළමයින් බඳවා ගන්නවා කියලා. මම ඒ ඇකඩමියට සිලෙක්ට් වෙලා අවුරුදු 1 1/2ක් හමුදා කැඩෙට් නිලධාරිනියක් ලෙස පුහුණුව ලැබුවා. හැබැයි මම උසස්පෙළ ලියලා ප්‍රතිඵල එන්න කලින් තමයි මේකට ගියේ. මේ අතරේ මාව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට තෝරාගත් ලිපිය ලැබෙනවා. එතකොටත් මම කොතලාවල වාර දෙකක් අවසන්. හැබැයි ඒ පීඨයේ උසස් නිලධාරින් මට විශ්ව විද්‍යාලයට යන්න සෑහෙන්න උදව් කළා.

 

ඔබ ඉන්පසුව යුද හමුදාවෙන් සමු ගත්තාද?

මට ඒ දේ කරන්න සිද්ධ වුණා. මම විශ්ව විද්‍යාලයෙන් ඉවත්වෙන විටම සහකාර කථිකාචාර්ය පත්වීමත් ලැබුණා. ඒ අතරේ මගේ පශ්චාත් උපාධියටත් ලියාපදිංචි වුණා. මගේ පළමු පශ්චාත් උපාධිය පාරිසරික වන විද්‍යාව. ඒ වසර හතරක සේවා කාලය ඉවර වෙනවත් එක්කම මට රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ධූරයකට පත්වීමක් ලැබුණා. ඒ විශ්ව විද්‍යාලයේ සේවය කරනකොට තමයි අලුතින් පටන් ගත්ත ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට එන්න අවස්ථාව ලැබුණේ. 2006 වසරේ ඌව වෙල්ලස්ස පටන් ගත්තේ හරිම ආසාවෙන්. මේ අතර පත්වීම ලැබෙනකොට මම පරිපාලන සේවයේ විභාගයට ලියලා තමයි ඌව වෙල්ලස්සට ආවේ. මට ප්‍රතිඵල ආවට පස්සේ තීරණය කරන්න වුණා මොකක්ද කරන්නේ කියලා. මම ඒ විභාගයෙන් 24 වැනියා. මම තීරණය කළා මිනිස්සුන්ට යමක් කරන්න හොඳම තැන පරිපාලන සේවය කියලා. ඒ නිසා මම විශ්ව විද්‍යාලයට සමු දුන්නා.

 

ඔබ මුලින්ම රාජ්‍ය පරිපාලනයට එකතු වුණේ සහකාර පරිපාලන නිලධාරියෙක් ලෙසද?

 

ඔව්... මම ලුණුගලට එන්නේ මුලින්ම සඳහන් කරපු සංවේදී සිද්ධියත් සමඟ. මාස 8ක් ඒ ප්‍රදේශයේදී තමයි දුප්පත්කමේ භයානකත්වය හරියටම අත් වින්දේ. එදා ඒ දරුවා මගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කළා. එදා පටන් අද වෙනකම් ලොකු අරගලයක් තනියම කරනවා.

 

ඔබේ පෞද්ගලික ජීවිතේ ගැනත් දැනගන්න කැමැතියි.

මගේ සැමියා හමු වුණෙත් මේ කාලෙදි. ඔහුගේ හමුවීමත් සමඟ මම තෙල්දෙණිය සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස මාරුවීමක් ලැබුවා. ඔහු පෞද්ගලික ආයතනයක සේවය කළා.

නමුත් දැන් අපේ කාර්යබහුල ජීවිතත් එක්ක ඔහු රැකියාවෙන් ඉවත්වෙලා මගේ රාජකාරි වැඩවලට විශාල ශක්තියක් දෙනවා. මට අවුරුදු 12ක පුතෙක් ඉන්නවා. පුතාගේ වැඩ අපේ වතුපිටිවල වැඩ ටික කරන අතර මගේ සැමියා හෙවණැල්ලක් වගේ මට ශක්තියක් දෙනවා. ඔහු මාව හොඳින් තේරුම් අරගෙන මට කියන්නේ “ඔයාගේ රාජකාරි වැඩ ටික හරියට කරන්න“ කියලා. ඒක මට විශාල ශක්තියක්. මගේ අම්මයි පුංචි අම්මයි දෙන්නම ඉන්නේ අපේ ගෙදර. මේ සියලුම දේවල් කළමනාකරණය කරගෙන අපි හරිම සරල ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒක හරිම සුන්දරයි. මගේ සැමියාගෙන් හැමවෙලාවෙම අහනවා මම කොණ්ඩේ කපලා ඉන්නකොට කොහොමද....? ඒක මට ගැළපෙනවාද...? කියලා මේ හැම දෙයක්ම ඔහු සමඟ කතා කරනවා. ඒ බැඳීම තුළ අපි අවබෝධයෙන් දිගු ගමනක් ආවා.

 

ඔබ ඒ දක්වා දිගටම ප්‍රාදේශීය ලේකම් ලෙස ද සේවය කළේ?

 

නැහැ... මම ප්‍රාදේශීය ලේකම් හැටියට කටයුතු කරන්නට පෙර පිළිමතලාවේ ග්‍රාම සංවර්ධන අභ්‍යාස පර්යේෂණ ආයතනයේ, ජාතික රූපවාහිනී සේවය, ජනාධිපති කාර්ය සාධක බලකාය, සමෘධි සහකාර කොමසාරිස් වැනි ආයතනත්, ගොවිජන සේවා සහකාර කොමසාරිස්වරිය ලෙස ආයතන ගණනාවක සේවය කරලා තමයි මේ ආයතනයට සේවයට එක් වුණේ. මේ අතර මට ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍යත්වයක් ලැබුණා මොනෑෂ් විශ්ව විද්‍යාලයට. අපි පවුල පිටින්ම අවුරුදු 2ක් ඔස්ට්‍රේලියාවේ ගත කළා. හරිම සුන්දර කාලයක්. ඉගෙන ගන්න අතරේ ලොන්ඩ්‍රියක වැඩ කරලා මුදල් ටිකක් හොයා ගන්නත් පුළුවන් වුණා.

 

ඔබට ඉන්පසු හොඳ තනතුරක් ලැබෙන්න ඇති නේද?

 

ඒක හරිම කනගාටුයි. මම එනකොට තිබුණු තනතුරක් නැතුව ගිහින් මම යටියන්තොට ප්‍රාදේශීය ලේකම් බවට පත් කරලා. ඒත් මම යටියන්තොට ප්‍රදේශයට ආවේ හරිම සතුටින්. මගේ රාජ්‍ය සේවයේ හොඳම කාලය ගත කළේ යටියන්තොට‍. ඒකට හේතුව තමයි කරන දේ සමඟ එන හොඳ දේවල් කියලා මම හිතනවා. මම ඒ ප්‍රදේශයට ආවේ ඉතාම නරක කාලයක. ප්‍රදේශය වටේට නාය ගිහින්. ඒ අභියෝග සියල්ලත් එක්ක මම ඉතාම කැපවීමෙන් වැඩ කළා.

මේ අතරේ නරක නිලධාරි පිරිසකුත් හිටියා. දේශපාලන ඇඟිලිගැසීම් වගේ දේවල් හරියට තිබුණා. දෙපාරක් මාව මරන්න උත්සාහ කළා. නායගිහින් උන්හිටිතැන් අහිමිවූවන් සිටි කඳවුරු 26ක 3000ක් අවතැන් වෙලා හිටියා. ඒ අත්දැකීම් ටික මට ජවයක් ගෙන දුන්නා.

මේ ප්‍රදේශයේ ළමා අපචාර වැඩිම ප්‍රදේශයක් වුණා. නමුත් මම සංවර්ධන නිලධාරීන්ගේ උදව්වෙන් විශාල ප්‍රයෝජනයක් අරගෙන මේ සියලු දේ සෑහෙන දුරට පාලනය කළා. හැබැයි ඒ ප්‍රදේශයේ ජනතාව එක්ක තිබුණු සම්බන්ධතාව තවම තියෙනවා. අපි විවිධ වැඩසටහන් රාශියක් කළා. ඊට පසුව නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කළා. මේ අතරේ තමයි රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලක) ලෙස සේවය කරන්න ඉල්ලීමක් ලැබුණේ. මම එතැන අවුරුදු දෙකක් සේවය කළා.

ඔබ පොල් වගාකිරීමේ මණ්ඩලයට එක්වීමත් සමඟ සිදු කළ වෙනස ගැන අපට කියන්න පුළුවන් ද?

 

මේ ආයතනයට මම ආවේ පොල් මිල ඉතාම ඉහළ කාලේ. ඒ කාලේ පොල් ගෙඩියක් රුපියල් 100ක් වුණා. මේ කාලේ මිනිස්සු අපි ගාවට එන්නේ නරක විදිහට විවේචන කරගෙන. මම ආපු දවසේ පටන් කළේ බීජ පොල් අරගෙන පැළ කිරීමේ වැඩසටහන. මාස 7කට පසු දැන් පොල් පැළ ලැබෙනවා. ඒ නිසා තමයි අපට දැන් පොල් පැළ ලක්ෂ 40 වැඩසටහන ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ. අපි මාදම්පේ වැලිකැටිය කියන වත්තේ හොඳ පොල් වගාවක් කරලා පෙන්නුවා. එතැනදි යටි වගාවක් කරන ආකාරය, කාබනික පොහොර යොදන ආකාරය, ට්‍රොජන් සිස්ටම් එක හඳුන්වා දුන්නා.

 

මොකක්ද ඔය ට්‍රොජන් කියන ක්‍රමය?

 

මේ ක්‍රමය ජනප්‍රිය නෑ. පුරන් කුඹුරුවල (B, C ශ්‍රේණියේ) චක්‍රලේඛයකින් අක්කරයක පොල් වගා කරන්න අපි අවශ්‍ය තාක්ෂණය, ආධාර දෙනවා. වැලිකැටියේ ආදර්ශයකුත් දැන් බලන්න පුළුවන්. ඇත්තටම පොල් වගා කිරීම කාටවත් පාඩුවක් වෙන්නේ නෑ. මේ වගාවෙන් අපට දුර ගමනක් යන්න පුළුවන්. ලෝකයේ වැඩිම පොල් පාරිභෝජනයක් තිබෙන්නේ අපේ රටේ.

අවුරුදු 5කින් හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි. හැබැයි එතකොට අපි නැතිවෙයි. ඒත් මේ කරපු දෙයින් ප්‍රතිඵලයක් තියෙනවා. ඒ වගේම අපේ රටේ තිබෙන තැඹිලි ලෝකයේ කොහේවත් නෑ. King Coconut තියෙන්නේ අපේ රටේ විතරයි. නමුත් හොඳ තැඹිලි පැළයක් හොයා ගන්න අපට බැහැ. අපි හොඳම තැඹිලි පැළයක් ගන්න තවානක් ආරම්භ කළා. මාතලේ කන්දෙටිය ති‍ෙයන අක්කර 13ක ඉඩමේ අපි හොඳම වර්ගයේ තැඹිලි තවානක් පටන් ගත්තා. කවදහරි හොඳම තැඹිලි පැළයක් එතැනින් ගන්න පුළුවන්. කෝමාරිකා ව්‍යාපෘතියකුත් එතැන පටන් අරගෙන තියෙනවා.

 

මේ තරම් වැඩ කොටසක් කරන ඔබගේ වැඩ මාධ්‍ය හරහා අපට දකින්න නැහැනේ. ඒ ඇයි?

 

ප්‍රතිපත්තියක් හැටියට මම කරන දේවල් සමාජ මාධ්‍යවල පල කරන්නේ නැහැ. නමුත් අපේ වෙනම නිලධාරීන් ආයතනවලින් ඒවා පලකරනවා ඇති. නමුත් අපි කරන දේවල් අගය කරන්න ඕනේ තමුන් නෙවෙයිනේ... ඒ දේවල් අගය කරන්න ඕනේ ඒවා දකින මිනිස්සු. ඒක තමයි නියම වටිනාකම. අපි කරන දේවල් කවුරුවත් දැක්කත් නැතත් එයින් රටට වැඩක් වෙනවා නම් ඒක හොඳටම ඇති.

 

ඡායාරූප - ශාන් රුපස්සර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.