පුතාගේ ඇස්දෙක පේන්නෙ නැති බව දැනගත්තාම අපේ මුළු ලෝකෙම කඩාගෙන වැටුණා

- බ්‍රයන්ගේ මව අමල් ප්‍රියා
නොවැම්බර් 9, 2021

 

සිරස ලක්ෂපතියෙන් රටක ආදරය දිනූ බ්‍රයන් කිංස්ටන්ට්ගේ කතාව

සුදෝ සුදු කවි පෙළෙහි දෑස් නොපෙනෙන පුතු එලෙස තම මවට සුරතල් බස් තෙපළයි. එහෙත් මා ඉදිරිපිට අසුන්ගෙන සිටින දෘශ්‍යාබාධිත බ්‍රයන් තම මව ගැන පවසන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි.

“මගේ අම්මා කියන්නෙ අති දක්ෂ කුඹලෙක්. ඉතින් ඒ කුඹලට ලැබුණු මැටි පිඬ තමයි මම. ඒ මැටි පිඬ තලළා, පදම් කරලා කරපු නිර්මාණය තමයි ඔයාලා මේ දකින බ්‍රයන් කියන්නෙ. ඇයගේ දක්ෂතාව, කැපවීම, උත්සාහය ගැන කියන්න වචන නෑ. මගේ ජයග්‍රහණයේ ප්‍රධානම සාධකය ඇය. මගේ අම්මා තමයි මේ ලෝකයේ සතුටින්ම ඉන්න පුද්ගලයා. ඉතින් ඒ සතුට දිගින් දිගටම ඇය සතුව තැබීමයි මගේ එකම සතුට.“

ඉතින් මේ විදිහට අපිත් එක්ක කතාබහට එකතුවුණු ඒ නව යොවුන් තරණයා ඔබ හොඳින් හඳුනනවා ඇති. ඒ පසුගියදා සිරස ලක්ෂපති තරගයට මුහුණ දී මිලියන දෙකක් දිනාගත් වාසනාවන්තයා විම නිසා පමණක් නොව, ඒ වැඩසටහනේදී ප්‍රශ්න 5ක් වෙනුවට ප්‍රශ්න 16කටම නිවැරැදි පිළිතුරු ලබාදුන් ඵළමුවැන්නා වෙමිනි.

එපමණක් නොව බ්‍රයන් තම නම ඉදිරියේ තැබූ වාර්තා කිහිපයකි. රත්මලාන දෘශ්‍යාබාධිතයන්ගේ පාසල් ඉතිහාසයේ ශිෂ්‍යත්වය සමත් පළමුවැන්නා ඔහුයි. එමෙන්ම අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයට A සාමාර්ථ 9ක් ලබාගත් පළමු සිසුවා ද ඔහුයි. ඒ පසුගිය අ. පො. ස. සා. පෙළ විභාගය වෙනුවෙනි.

ඉතින් වාර්තා පිට වාර්තා තබමින්, දක්ෂයන් අතර අති දක්ෂයකු වන්නට බ්‍රයන් මෙහෙයවන්නෙ ඔහුගේ ආදරණීය මවයි. කිසිවිටෙකත් සාමාන්‍ය දරුවන් අතර බ්‍රයන් විශේෂ දරුවකු ලෙස නොහැදූ අන් අයට සේ සමාන අවශ්‍යතා සහිත දරුවකු ලෙසින් සිතන්නට සේම වැඩ කටයුතු කරන්නට ඔහුව පොළඹවන්නේ මේ මවයි. එබැවින්ම ඇය සුවිශේෂී මවකි. ඉතින් ඇයට තම පුතු ගැන කියන්ටන මහමෙරක් තරම් දේ ඇති. මෙතරම් දුරක් ඔහුව රැගෙන ආ ඒ ගමන් මගේ කඳුළු, දුක් සෝ සුසුම් වැල් අසීමිතව හෙළන්නට ඇති. එන්න අපි ඇගේ ඒ හඬට සවන් දෙමු.

“මගේ නම අමල් ප්‍රියා. ඉපදුණේ ග්‍රෑන්ඩ්පාස්වල. යහත් එඬේරාගේ රජයේ කාන්තා විද්‍යාලයෙන් තමයි අධ්‍යාපනය හැදෑරුවේ. බ්‍රයන්ගේ තාත්තා ඒ කියන්නේ ලියෝ බැස්ටියන් එක්ක විවාහ වුණේ 1977 වර්ෂයේ. විවාහයෙන් පසුව අපි මට්ටක්කුලියට පදිංචියට ගියා.

අපේ ලොකු පුතා රැම්ස්ටන් ක්ලෙමන්ට්. එයා වෙස්ලි විද්‍යාලයේ ඉගෙනගන්නෙ. වාණිජ්‍ය විෂ්‍යය ධාරාවෙන් මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න සූදානම් වෙනවා.

ලොකු පුතා ඉපදිලා අවුරුදු දෙකකට පස්සෙ තමා බ්‍රයන් ඉපදුණේ. ලොක්කා පුතෙක් නිසා දෙවැනියා දුවෙක් වෙයි කියලා මම බලාගෙන හිටියා. දුවෙක් ද පුතෙක් ද ඉන්නෙ කියලා ස්කෑන් කරලා බැලුවෙත් නෑ.“

නියමිත මාස ගණන සම්පූර්ණ කරන්නෙ නැතිවම ඔයාගාවට එන්න හිතිලා වෙන්නැති බ්‍රයන් අඩු මාසෙන්ම මෙළොව එළිය බැලුවේ.

“ඒක ඇත්ත. මට කිසිම ලෙඩක් දුකක් අමාරුවක් තිබුණේ නෑ. ඒත් මාස හතෙන් සාමාන්‍ය විදිහට බ්‍රයන් ලැබුණා. ඉතින් අඩු මාසෙන් නිසා එයාව ICU දැම්මා. වරින්වර කිරි දෙන්න තමයි මම එතැනට ගියේ. මෙයා ඉපදෙනකොට ග්‍රෑම් 950යි. හැබැයි හරිම දඟ බබෙක්. එහාට මෙහාට පෙරළෙනවා. ඇස් වහල තියෙන ගෝස් කැලි එහෙම අයින් කරගන්නවා. ඒ ළයිට් එළිය ඇස්වලට හානිකරයිනේ. ඉතින් සමහරවිට පෙනීම නැති වෙන්න ඒකත් බලපාන්න ඇති. දරුවා ගෙදර ගේන්න කළින් අක්ෂි සායනයකට යොමු කළා. ඊට පස්සෙ වරින්වර අක්ෂි සායනයට රැගෙන ගිහින් ලේසර් ප්‍රතිකාරත් කළා. මාස දෙකක් විතර ගතවෙද්දි මම දැකගත්තා මගේ දරුවාගේ පෙනීම අහිමි බව. අපේ මුළු ලෝකයම කඩා වැටුණා වාගේ වුණා.“

ඒත් ඔබ අධෛර්යට පත් වුණේ නැහැ.

“ඔව්. වෛද්‍යවරු බෑ කිව්වත් මම කඩා වැටුණේ නෑ. අපි දෙන්නා තියෙන මිල මුදල් එකතු කරගෙන දරුවෝ දෙන්නම අරන් ඉන්දියාවට ගියා. එහිදී බ්‍රයන්ට ඔපරේෂන් කිහිපයක්ම කළා. නැවත අවුරුදු 05කින් එක්කගෙන එන්න කිව්ව නිසා අපි ලංකාවට ආවා. ඒ ඇවිල්ලත් නිකම් හිටියේ නෑ. ලංකාවේ හොදයි කියන හැමතැනටම එක්කගෙන ගියා. ඔය අතරතුරේ අපේ හිතවතෙක්ගෙ තාත්තා කෙනෙක් නැති වුණා. එයා ඉල්ලීමක් කරලා තිබුණා එයාගේ ඇස් දෙක බ්‍රයන්ට දෙන්න කියලා. අපි ඒ සඳහා සූදානම් වුණත් ඒකත් හරිගියේ නෑ.“

ඊට පස්සෙ ඔබ ආයෙමත් ඉන්දියාවට අරන් ගියා.

“මේ වෙනකොට බ්‍රයන්ට අවුරුදු පහයි. අපි ආයෙමත් එයාව ඉන්දියාවට අරගෙන ගියා. එතැනදි මෙයාව පරීක්ෂා කරලා බලලා කිව්වා පෙනීම ලබාගන්න එක 100% ෂුවර් නෑ. මේ වෙනුවෙන් එයාට වියදම් කරන මුදල්වලින් එයාට හොඳට උගන්වන්න ඒක මෙයාට පෙනිම ලබාදෙනවා හා සමානයි කියලා.

එදා බ්‍රයන්ගෙ තාත්තයි, මමයි හොඳටම කඩාගෙ වැටුණා. මෙයාට කොහොමද අපි ලෝකය පෙන්වන්නෙ කියලා. ඒ වෙනකොට අපි බිංදුවටම මිල මුදල් නෑ. ගොඩක් ණයවෙලා හරියට අසරණ වෙලා හිටියේ. ඒත් කමක් නෑ කියලා අපි දරුවන් අරන් ලංකාවට ආවා.“

ඊට පස්සෙ...

“දැන් මගේ කල්පනාව කොහොම හරි දරුවට උගන්වන අභියෝගයට මුහුණදීම. මම බ්‍රයන්ව ශාන්ත මරියා දේවස්ථානයේ පාසලට මාස දෙකක් විතර අරගෙන ගියා. ඊට පස්සෙ අවුරුදු හයේ දී රත්මලානේ දෘශ්‍යාබාධිත පාසලට ඇතුළු කළා. එතැනදි බ්‍රයන්ට යන්න වුණේ ළදරු පාසලට. මොකද මෙයා ළදරු පාසල් ගිහින් නැති නිසා. අවුරුදු හතේදි තමයි පළමු වසරට ඇතුළු වුණේ.

ඔය අතරතුරේ මම බ්‍රයන්ව කොම්පඤ්ඤවීදියේ අන්ධ ජන මධ්‍යස්ථානයටත් අරන් ගිහින් බේල් ක්‍රමයත් ඉගැන්වූවා. බිසෝ චීටර් තමයි ඒවා කියලා දුන්නෙ. ඇත්තම කිව්වොත් මමත් බ්‍රයන් එක්ක වාඩිවෙලා ඉගෙනගත්තා. මොකද මම ඉගෙන ගත්තොත් නෙ දරුවන්ට කියල දෙන්න පුළුවන් වෙන්නෙ. ඊට පස්සෙ අපි දෙන්නා ගෙදර ඇවිත් ඒවා පුරුදු වෙනවා.බ්‍රයන් හොඳට වැඩ කරගෙනයන නිසා මම පළමු වසරේදි එයාට ඩබල් ප්‍රමෝෂන් එකකට ඉල්ලීම් කළා. ඒකට එයාට විභාගයකට මුහුණ දෙන්න සිදුවුණා. එතැනදි පළමුවැනියා විදිහට ඉහළම ලකුණු අරගෙන බ්‍රයන් දෙවැනි වසරට ගියා. එයාට පහුවෙච්ච අවුරුද්ද බ්‍රයන් අල්ලගත්තෙ ඒ විදිහටයි. බ්‍රයන් කියන්නෙ හරිම දක්ෂ ළමයෙක්. ටක් ගාලා ඕනෙ දෙයක් අල්ලගන්නවා. එදා ඉඳන් බ්‍රයන් තමයි හැමදාම පන්තියේ පළමුවැනියා. වසර අවසානයේ තෑගි දෙනකොට සෑම විෂයයකටම වැඩිම ලකුණු හිමි වුණේ එයාට. ඉතින් තෑගි ගොඩාක් ලැබෙන නිසා එයා ආසාවෙන් ඉගෙන ගත්තා.

එයා පහ වසරේදීත් සිංහලෙන් ඉගෙන ගත්තෙ. එතැනදි ශිෂ්‍යත්වයට උගන්වන්න අම්මට අමාරු නිසා මගේ මව් භාෂාවෙන් විභාගය ලියන්නම් කියලා පුතා කිව්වා. ඊට පස්සෙ මාස කිහිපයක් ඇතුළත දෙමළ භාෂාවෙන් බේල් ඉගෙනගෙන ශිෂ්‍යත්වයට මුහුණ දුන්නා. බ්‍රයන් ශිෂ්‍යත්වය සමත් වුණේ ලකුණු 155ක් අරගෙන. ඒත් එයාට ඒ ලකුණු ප්‍රමාණවත් වුණේ. බ්‍රයන් කිව්වෙ අම්මේ මට අනිත් හැමදේම බේල් විදිහට කියවන්න පුළුවන් වුණාට පින්තූර තියෙන ප්‍රශ්න කියවගන්න බෑනේ. නැතිනම් මට ලකුණු 200ම ගන්න තිබුණා. ඒත් පෙනෙන්නෙ නැති නිසා බැරිවුණානේ කියලා. එදා තමයි එයාගේ පෙනීම නැති නිසා ගොඩාක් දුක් වුණු පළමු අවස්ථාව."

මේ විදිහට අම්මා දිගින් දිගටම මල්ලි එක්ක ඉන්න එක අයියා ඉවසුවාද?

"පුංචි කාලේ නම් අයියාට ඒ ඉවසීම තිබුණේ නෑ. නෝක්කාඩු ගොඩයි. බ්‍රයනුත් ලේසි නෑනේ. අයියා කරන හැමදේම එයත් කළා. දුවනවා, පනිනවා, ගහගන්නවා. ඉතින් අයියට දෙකක් ගැහුවොත් මල්ලිටත් දෙකක් ගහන්න ඕනේ. එයාට බෑනේ කියලා බෑ. අපේ ගෙදර මගේ මල්ලිගේ බබාලත් ඉන්නවා. මම ඒ හැම කෙනාටම කියල තිබුණේ බ්‍රයන් පැත්තකට කරලා වැඩ කරන්න බෑ. ඕනෙම වැඩකට එයත් එකතු කරගන්න කියලා.

බ්‍රයන් එක්ක දවසම ගත කරද්දි මම අයියාගේ වැඩ මඟ හැරියේ නෑ. පාසල් ඇරිලා ගෙදර ආවම මම එයාගේ වැඩ බැලුවා. උදේ පාන්දර අපි ගෙදරින් පිටත් වෙන්නෙ 4.30ට. ඒ යද්දි ලොකු පුතාට අවදි කරලා යනවා. එයා තනියම ලැහැස්ති වෙලා යනවා. පුංචි කාලේ රණ්ඩු කළත් අයියා ලොකු වෙනකොට ඒ තත්ත්වය තේරුම් අරගෙන මල්ලිට උදව් කළා."

ඔබ දරු දෙදෙනකුගේ මවක්. ඒ වගේම ගෘහණියක්. ඉතින් බ්‍රයන් එක්ක දවස පුරාම වැඩ කරද්දි කවුද සහයෝගය දුන්නෙ?

"ඇත්තටම මට ඒ නිදහස ලැබුණේ මගේ අම්මා නිසා. මරිය පුෂ්පම් කියන්නෙ ඇය. මට ලොකු සහයෝගයක් දෙනවා. මම පාන්දර බ්‍රයන් එක්ක යද්දි ක්ලෙමන්ට්ව පාසල් යන්න ලැහැස්ති කරලා දෙන්නෙ ඇය. බ්‍රයන්ගෙ ආච්චි අම්මා එයාලට හරිම ආදරෙයි.

ඒ වගේම තමයි මම නිවෙසේ වැඩ කටයුතු කරද්දි බ්‍රයන්ට නිකම් ඉන්න දෙන්නෙම නෑ. මොනවා හරි වැඩක් පවරනවා. බ්‍රයන්ගෙ ප්‍රතිකාර සඳහා අපිට බොහෝම මුදල් වැය වුණා. ඒ විතරක් නෙමෙයි ණය වෙන්නත් සිදුවුණා. ඉතින් බ්‍රයන්ගෙ තාත්තා විදෙස් ගත වෙලා රැකියාවක නියුතු වෙනවා. ඉතින් මමත් ගෙදර ඉඳන් මැහුම් වැඩ එහෙම කරනවා. ඒවාගේ වෙලාවට බ්‍රයන්ට මොනවා හරි පුංචි පුංචි වැඩ පවරනවා. නිකම් හිටියම දරුවා කම්මැලි වෙයි කියලා අඩුගානේ ජනේල ගාවටවෙලා ගැටයක් හරි දාන්න කියලයි මම කියන්නෙ."

ඔබ හරිම ධෛර්යවන්ත කාන්තාවක්. මව් ගුණය උපරිමයෙන් පෙන්වන, මවකට කළ නොහැකි දෙයක් නැති බව ලෝකයට පසක් කරනා මවක්. ඉතින් මේ රටේ අනෙකුත් අම්මලාට දෙන්න තියෙන පණිවුඩය මොකක්ද ඔබට.

"බ්‍රයන් වාගේ ඉන්න දරුවෝ තව ඕනේ තරම් අපේ රටේ ඉන්නවා. ඒ හැම දරුවකුටම එයාලා සතු හැකියාවන් බොහොමයක් තියෙනවා. ඉතින් ඔබ මවක් විදිහට ඒ හැකියාවන් ඉස්මතු කරගන්න දරුවාට උදවු වෙන්න. කරන්න බැරි දෙයකට දරුවා මහන්සි කරවනවාට වඩා එයාට පුළුවන් දේ සහ එයා කැමැති දේට අත දෙන්න, උදවු කරන්න. ජයග්‍රහණය කරා රැගෙන යන්න. අපි උත්සාහ කළොත් බැරි දෙයක් නැහැ."

"සිරස ආයතනය ගැනත් යමක් කියන්නම ඕනේ. මම ජීවිතයේ විවිධ ජයග්‍රහණ ලබාගත් අවස්ථාවල මම ගැන කතා කළා. ඒත් ගොඩාක් දෙනා අතරේ ජනප්‍රිය චරියක් බවට පත්වුණේ සිරස ලක්ෂපති වැඩසටහන හරහා. මම පුංචි කාලේ ඉඳන්ම මේ වැඩ සටහනට ඉදිරිපත් වෙන්න උත්සාහ ගත්තා. ඒ වයස මදි නිසා බැරි වුණා. ඉතින් මේ තමයි අවස්ථාව. ඒවාගේම මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා සිරස ආයතනයෙන් තවත් මිලියනයක් පරිත්‍යාග කළා. ඉතින් ඒ හැමෝටම ස්තූතිවන්ත වෙනවා. මම වාගේ දෘශ්‍යාබාධිත අය තව බොහෝ පිරිසක් මේ සමාජයේ ඉන්නවා. අපි හැමෝම වෙනුවෙන් මම ඉල්ලීමක් කළා. ඒ දෘශ්‍යාබාධිත අයටත් කලා විෂයයට අමතරව විද්‍යා විෂයය මාලාවෙන් උසස් පෙළ කරන්න ඉඩකඩ ලබා දෙන්න කියලා. යහපත් ප්‍රතිචාරයක් ලැබෙනකම් අපි බලාගෙන ඉන්නවා."

අප සමුගන්නා මොහොතේ සිය බලාපොරොත්තු ගැන එලෙස හඬ අවදි කරන්නත් බ්‍රයන් අමතක කළේ නැහැ.

ඉතින් බ්‍රයන්, ඔබ සේම මේ රටේ ජීවත්වන සෑම දෘශ්‍යාබාධිත දරුවකුට ඒ අවස්ථාව ඉක්මනින් උදාවේවායි අපි ප්‍රාර්ථනය කරමු.

 

 

ඡායා - ශාන් රූපස්සර