මුහුණු පොත ඇතුළු අන්තර් ජාලයේ කතාබහට ලක්වුණු Port Cityයේ රේස් පදින සාරි අඳින නෝනා

දකුණු ආසියාවේ කොහේවත් මෙවැනි අත්දැකීමක් ගන්න තැනක් නෑ
නොවැම්බර් 9, 2021

 

පවුල් කුටුම්බයට එහා ලෝකය බොහෝ ගැඹුරුය. ඒ ගැඹුරු ලෝකය සොයා යන්නට වෙහෙසෙන කාන්තාවන් ද බොහෝ විරලය. පවුල් සංස්ථාව නම් බැඳීම හමුවේ සම්ප්‍රදායික රාමුවකට කොටු නොවුණු එවැනි කාන්තාවන් ලෝකය ජය ගෙන ඇත්තේ සම්ප්‍රදායද රැකගනිමිනි.

ඒ අතුරින් අපේ කාන්තාවන් අතීතයේදී මෙන්ම වර්තමානයේ දී වඩාත් ඉදිරියෙන් සිටීම මහත් අභිමානයකි.

පසුගිය සති කිහිපය පුරාම අපට අසන්නට දකින්නට ලැබුණේ එවැනි නිර්මාණශීලී කාන්තාවන් කිහිප දෙනෙකි. යොහානි ද සිල්වා සිංහල ගීතයකින් ලෝකයම කලඹද්දී අපේකම ලොවට කියන්නට උත්සාහ දරන තවත් කාන්තාවක් අපට පසුගිය සතියේදී හමුවන්නේ Port City යේදී ත්‍රාසජනක ක්‍රීඩාවකිනි.

ඇය නමින් පද්මලතා අබේසිංහයි.

ඇගේ කතාව යොහානිගේ ගීතයේ ස්වරයට වඩා රළුය. නමුත් ඇය ගැන ද පසුගිය සතිය පුරාම කතාබහ කළේ සම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ශ්‍රී ලාංකේය නාමය රැගෙන යාමට දැරූ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසිනි.ඒ නිසාම ඇයගේ උත්සාහයෙන් ත්‍රාජසනක ATV ක්‍රීඩාව නැතිනම් වැලි කඳුමත Adventure මෝටර් රථ ධාවන පථයක් මුල්ම වරට නිර්මාණය කරන්නට හැකිවිණි. එය නිර්මාණය වන්නේ ශ්‍රී ලංකාවේ දැවැන්තම නිර්මාණ තාක්ෂණය ලෙසින් ඉදිවන Fort City නැතිනම් වරාය නගරයේය. එම ධාවනපථය ආරම්භ කර නිල වශයෙන් විවෘත කරන දිනයේදී ඇය සාම්ප්‍රදායික සාරියකින් සැරසී ත්‍රාසජනක Adventure මෝටර් රථයක් ධාවනය කරන ඡායාරූපය සමාජ මාධ්‍ය ජාලයට එක්වී ගතවූයේ සුළු මොහොතකි. එම ඡායාරූපයට දසතින් ප්‍රතිචාර ගලා ආවේ ලැව් ගින්නක් ලෙසින් රට පුරාම කතාබහට ලක්වෙමිනි.

එක් මොහොතකින් සමාජ මාධ්‍ය කැළඹූ මේ පද්මලතා කවුද...?

අප ඇය ගැන තොරතුරු සොයා ගියේ ඒ සිදුවීමට මුල් වූ තොරතුරු ද වඩාත් හොඳින් දැන ගැනීමේ අපේක්ෂාවෙන්. මාධ්‍ය ක්ෂේත්‍රයේ අපගේ සහෘද ළබැඳියාවන් සමඟ පද්මලතා මේ කතාවේ මුල් වස්තුබීජය ගැන අපට විස්තර කරන්නට පටන් ගත්තේ අධිෂ්ඨානය හා කැපවීම තුළින් ආ ගමන් මඟ ආවර්ජනය කරමින්.

'' Create Adventure කියන සංචාරක ආයතනය අප ආරම්භ කරන්නේ මමත් මගේ සැමියා අනුර තන්තිරිගේ සමඟ අපේ පුතා වසර ගණනාවක් කළ කැපවීමක ප්‍රතිඵලයක් ලෙසයි. Wild Asia කියන වැඩසටහන ජාතික රූපවාහිනියේ මේ දක්වාම ඉදිරිපත් කිරීමෙන් අපට ලැබුණු ප්‍රතිචාර හා ප්‍රසංශාව නිසා අපි හිතුවා මෙවැනි අභියෝගාත්මක මොහොතක අපේ රට වෙනුවෙන් යමක් කළ යුතුයි කියලා. ඇත්තටම කොරෝනා වසංගතය නිසා මුළු ලෝකයම කඩා වැටුණා. අපේ රටට සංචාරකයෝ පැමිණීම නැවතුණා. විදේශ විනිමය අහිමි වුණා. නමුත් අපි මෙවැනි අයෝජනයක් පෞද්ගලිකව කළේ අපේ රටට තියෙන ආදරය නිසයි.

අපි දන්නවා කවදා හරි සංචාරකයෝ අප රට බලන්න සූදානම් වෙනකොට ඒකට අපි සූදානම් වෙලා ඉන්න ඕනේ. ඩුබායි වගේ වැලි කතරේ මෙවැනි ත්‍රාසජනක ක්‍රීඩා තිබුණාට දකුණු ආසියාවේ කොහේවත් මෙවැනි අත්දැකීමක් ගන්න තැනක් නෑ.

අපි ඒ අඩුව හඳුනාගෙන අනාගත ආයෝජනයක් ලෙස Port City එක ආරම්භ කරන විට සංචාරකයන්ගේ පැමිණීම හා ආකර්ෂණය වැඩිකරගැනීමේ අපේක්ෂාවෙන් තමයි මෙවැනි ධාවන පථයක් මේ වරාය නගරයේ විශාල මුදලක් අපේ පෞද්ගලික මුදල් යොදා ආරම්භ කළේ. දේශීය ආර්ථිකය ගොඩ ගන්න විදේශ විනිමය අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් අප සංචාරක ක්ෂේත්‍රයේ ඇති ලොකු හිඩැසක් පුරවන්න පුළුවන්වීම ගැන අපට විශාල ආත්ම තෘප්තියක් තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රය තුළ අපේ රටේ කඩාවැටීම සිද්ධ වුණේ සහරාන්ගේ බෝම්බ සිද්ධියත් සමඟ. මිනිස්සුන්ට මරණ බය දැනුණා. ලෝකයම ඒ සිද්ධියෙන් බය වුණා. ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය වෙලා තිබුණු අපේ රටට සංචාරකයන් එන එක නැවැත්තුවා. ඉන්පස්සේ කොරෝනා වසංගතය පැතිරුණා.

රටේ ආර්ථිකය කඩා වැටිලා... මොනවාද මේ කරන විකාර සෙල්ලම්.?. ඇමැතිවරු රේස් පදිනවා... කන්න නැතුව මිනිස්සු මැරෙනවා කියලා. නමුත් මේ මොන ප්‍රශ්න තිබුණත් දේශීය විදේශීය සංචාරක කර්මාන්තය තුළින් තමයි අපට ගොඩ එන්න පුළුවන්. සංචාරකයන් දැන් බලාගෙන ඉන්නේ කෝවිඩ් වසංගතය පාලනය වුණු ගමන් අපේ රටට එන්න. ඒ සඳහා ලොව වටා ලක්ෂ ගාණක් සංචාරකයෝ ඉන්නවා.

ඔවුන් ලංකාවට එනවිට නරඹන්න, විනෝදවෙන්න ක්‍රීඩා කරන්න මෙවැනි දුලබ ක්‍රීඩා උද්‍යාන තිබිය යුතුයි. මේ වසංගතය තුළ අපට හැමදාම කොටු වෙලා ඉන්න බැහැ. අපි මේ වැටුණු මානසිකත්වයෙන් ගොඩ එන්න අලුත් දෙයක් ගැන සිතීම තමයි කළ යුත්තේ. මේ වෙලාවේ රටට අවශ්‍ය වෙන දේ විතරක් නොවෙයි අනාගතයට එය ආයෝජනයක් වෙන්නේ කොහොමද කියලා අපි හිතන්න ඕනේ. අපි ලෝකයේ රටවල් ගණනාවකම සංචාරය කරලා තියනවා. ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ Port City වගේ නගර නිසයි. අපි මේ ආරම්භක උත්සවයට ක්‍රීඩා ඇමැතිතුමාටයි, විදේශ කටයුතු ඇමැතිතුමාටයි, කොවිඩ් වසංගතය වෙනුවෙන් විශාල කැපවීමක් කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ආරාධනය කළේ ඔවුන්ට දක්වන ගෞරවයක් ලෙසයි.''

''මම පොදු රාජ්‍ය මණ්ඩලයේ කොමන් වෙල්ත් ගේම්වල media සම්බන්ධීකාරක සහ නිවේදිකාව ලෙස කටයුතු කළා. එහිදී ලංකාවට පළමුව සජීවීව වාර්තා කළ නිවේදිකාව ලෙසත් මම ලැබූ අත්දැකීම් රාශියක් තියෙනවා. ඒ වගේම 2000 වසරේ පැරා ඔලිම්පික් මාධ්‍ය සම්බන්ධීකාරක ලෙසත් කටයුතු කළා. ඒ කාලේ පරිගණකයක්වත් නොතිබුණු කාලයක්.

දැන් 2021 අවුරුද්ද. අපි කොයි තරම් දියුණු ලෝකයක ද අද ඉන්නේ. ඒ නිසා අපි කළ යුතු නොකළ යුතු දේ ගැන හොඳ අවබෝධයකින් තමයි මෙවැනි කටයුත්තකට මුල පිරුවේ.”

ඇය තුළ වූ අධිෂ්ඨානය, අත්දැකීම් හා පරිනතබව ලබාගෙන ඇත්තේ අධ්‍යාපනයෙන්ම පමණක් නොවෙයි. ලෝකය පුරා සංචාරය කරමින් විදේශ රටවල පුරවැසිභාවය ද අහිමිකර ගනිමින් අප රටට අසීමිතව ආදරය කිරීමේ ප්‍රතිඵල හිමිකරගෙන සිටියි. ඒ අතීතය ද ඇය සිහිත් කළේ අතීතයේදී මාධ්‍ය ක්ෂේත්‍රයේ සිදු කළ සේවාවන් ද සිහි කරමිනි.

“මම ඉගෙනුම ලැබුවේ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ. කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා උපාධියක් ලබා ගත් පසුව මම සංගීත විශාරද උපාධියත් හිමිකර ගත්තා. ඊට අමතරව බෙල්ලන ශ්‍රී ඥාණවිමල නායක හිමියන් යටතේ ඡ්‍යොතිෂ විෂයය පරියේෂණාත්මක හැදෑරීමටත් අවස්ථාව ලැබුණා.

ඒ වගේම ස්වාධීන රූපවාහිනියේ හා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසත් කටයුතු කළා. ඊට අමතරව ගුරුවරියක් ලෙසත් වසර ගණනාවක් කටයුතු කිරීමෙන් පසුව තමයි පෞද්ගලික ප්‍රචාරක මාධ්‍ය ආයතනයක් පටන් ගත්තේ. ටෙලිසීන් නමින් පටන් ගත්තු ඒ ආයතනය තමයි අපි Wild Asia වැඩසටහන ආරම්භ කළේ.

මේ අතරේ මට අමෙරිකාවේ ග්‍රීන් කාඩ් ලොතරැයිය හිමි වෙනවා. ඇමෙරිකාවේ ටික කාලයක් පදිංචියෙන් පසුව ලංකාවට එනවා. මගේ සැමියා අනුර තන්තිරිගේ ජාතික රූපවාහිනියේ වැඩසටන් රැසක් නිෂ්පාදනය කරනවා. ලස්සන ලංකා, සිංහරාජ වනාන්තරය, ගලා හැලෙන රිදී නදී, අවාරේ ගිය සිරිපා ගමන, මහවැලි ගඟ පිළිබඳ වාර්තා වැඩසටහන් වුණු පැතුම් සපිරි ‘ඉසුරු දිය’ වැඩසටහන ආදී රාශියක් ලෙස නිෂ්පාදනය කළා. අපි දෙන්නා හමුවුණේ ගුවන්විදුලියේ නිවේදන කටයුතු කරන කාලයේදී.

අපි අමෙරිකාවට ගියාට හිටියේ ලංකාවේ පරිසරයත් එක්ක. අපේ පුතා මේ දිනවල අයර්ලන්තයේ විශ්ව විද්‍යාලයක ගෞරව උපාධියක් හදාරනවා. ආරක්ෂක අමාත්‍යංශයේ සයිබර් ආරක්ෂක කටයුතු තමයි ඔහුගේ විෂයය පද්ධතිය.

අපේ පුතාගේ අදහසක් අනුව තමයි මේ ධාවන පථය ආරම්භ කළේ. අපි අමෙරිකාවේ දැක්කේ කොන්ක්‍රීට් වනාන්තරයක්. ලංකාවේ දැක්කේ ස්වභාවික වනාන්තරයක්. ඒ නිසා අපට ලැබුණු සියලු දේ අතහැරලා ලංකාවට ආවා.

2004 වසරේදී Wild Asia රූපවාහිනී වැඩසටහන. අපි අරූන් ඩයස් බණ්ඩාරනායක සමඟ කණ්ඩාමක් විශාල කැපවීමකින් තමයි ඒ වැඩසටහන කළේ. එහිදී අපි තමයි ඩ්‍රෝන තාක්ෂණය ලංකාවට මුලින්ම හඳුන්වා දුන්නේ.''

අපේ රටේ සංචාරක කර්මාන්තයට විශාල අඩුවක් වුණු මේ ත්‍රාසජනක ක්‍රීඩාව ආරම්භ කිරීමත් එක්තරා අභියෝගයක්.

''ආපහු අපේ රටට ආවට පස්සේ ලංකාවේ නොතිබුණු දෙයක් සොයනකොට තමයි සංචාරක කර්මාන්තයට අඩුවක් වුණ ත්‍රාජසනක ක්‍රීඩාව ගැන සිතුණේ.

ඒ අනුව සතා සිවුපාවාට ආදරය කිරීම වගේම සංචාරක කර්මාන්තය ගැන හිතලා 2018 දී අපේ Creat Adventure ආයතනය පටන් ගත්තා. ඕනෑම භූමි කලාපයක පහසුවෙන් පැදයා හැකි රෝද හතරේ සැහැල්ලු වාහනයක් තමයි මේ රථය (Altrnative Vehicle) . මේ වාහනයෙන් පරිසරයට සිදුවන හානිය අඩුයි. අපට යන්න බැරි අසීරු තැනකට මේ රථයෙන් යන්න පුළුවන්. හැබැයි පරිසරයට හානියක් වෙන කිසිම දෙයක් කරලා නෑ.

ගම්පහ මාලිගාතැන්නේ අක්කර 40ක විතර වනාන්තරයකට සමාන භූමියක තමයි අපේ මේ ස්ථානය තිබෙන්නේ. මෙහි තිබෙන ස්වාභාවික මාර්ගයක තමයි මේ රථ ධාවනය වෙන්නේ. එහිදී ස්වාභාවික පරිසරය විඳගනිමින් මේ අත්දැකීම ලබන්න පුළුවන්.

අපි පසුගිය සතියේ මේ වරාය නගරයේ පටන් ගත්තු මේ ධාවනපථය වැලිකතරක අත්දැකීම ලබන්න ට්‍රැක් 3ක් හැදුවා. A, B, C කියන මේ ට්‍රැක් 3 පදින්න අපි සංචාරකයන්ගෙන් සාධාරණ මුදලක් අය කරනවා. අපි ඉතාම ක්‍රමානුකුලව ආරක්ෂිතව තමයි මේ සඳහා සංචාරකයන් යොදවන්නේ.

කිලෝමීටර් 3 ක් තරම් ප්‍රමාණයක් මේ පථය විශාලයි. විදේශිකයන්ට පමණක් නොවෙයි දේශීය සංචාරකයන්ටත් මේ ධාවන පථය විවෘතයි. ඉතිං අපි ආරාධනා කරනවා. ඔබත් එන්න මේ අත්දැකීම විඳින්ට කියලා.” ඇය සැම දෙනාටම ආරාධනා කළේ මේ ධවාන පථය ප්‍රභූන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද ඉතාම සහනදායි මුදලකට පැදීමට අවස්ථාව ලබාදෙන බව සඳහන් කරමිනි.

 

 

ඡායා  - ශාන් රූපස්සර