ජීවිතේ කොතැනින් කඩා වැටුණත් සැලෙන්න එපා

කවරයේ කතාව
නොවැම්බර් 22, 2021

 

චතූ මුණසිංහ පිළිකා රෝගය සමඟ සටන් කළ අභීත කාන්තාවකි. කාන්තාවක් සතු ශක්තිය, ධෛර්යය, මෙන්ම නොසැලෙන ගුණය ප්‍රකට කරමින් ඇය එයට මුහුණ දුන්නේ සමස්ථ කාන්තා පරපුරටම ආදර්ශයක් වෙමින්. ඒ මතක සියල්ල ඉතිරි කර ඇය පසුගියදා අප අතරින් සදහටම සමුගත්තාය.

කාන්තා රූ සපුව ඔප නංවන, මෙලොව ඇති උතුම් මව් පදවිය ලබන මවකට පමණක් කළ හැකි රුධිරය කිරි බවට හරවන පියයුරු වල පිළිකාවක් ඇති වනවා යනු කාන්තාවකට බලපාන දරුණුම ඛේදවාචකයකි. පසුගිය මාසය එනම් ඔක්තෝබර් මාසය පියයුරු පිළිකා මාසය ලෙසින් නම් කර ඇත්තේ ද කාන්තාවන්ගේ අවධානය මේ කෙරෙහි යොමුකර එයින් වැළකෙන්නට උපදෙස් දෙන්නටය. අද අපේ කතා නායිකාව වන්නේ පියයුරු පිළිකාවේ ගොදුරක් බවට පත්ව සිතේ ශක්තියෙන් ඊට මුහුණ දී ජීවිතය ජයගත් තවත් එක් කාන්තාවකි. ඇය වේදිකා නාට්‍ය නිළියක, සංගීත ශිල්පිනිය, මෝස්තර නිරූපිකාවක මෙන්ම වර්තමානයේ රූපවාහිනී නිවේදිකාවක ලෙසින් කටයුතු කරන චතූ පත්බේරියයි. මේ වනවිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචිවී සිටිමින් අපේ රටේ අනන්‍යතාව එරට ප්‍රචලිත කරන්නට සිය දායකත්වය ලබා දෙමින් කටයුතු කරන ඇය මට මුණ ගැසුණේ කොරෝනා වසංගතය එන්නට පෙර මා ඕස්ට්‍රේලියාවේ කළ සංචාරයකදීය. එහිදී විශ්වවාහිනී නාලිකාවෙන් ‘තරුණී‘ පුවත්පත පිළිබඳව ඇය කළ සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවකට මට ආරාධනා කළ ඇය සමඟ කළ කතා බහයි මේ.

ඔබ කවුරුන් හැටියට හඳුන්වනවාටද කැමැති.

මම ශ්‍රී ලාංකික කලා කාරිනියක් ලෙස හඳුන්වනවාට කැමැතියි. මොකද මම කලාවේ විවිධ ඉසව් නියෝජනය කරනවා. ඒකට හේතුව මම පුංචි කාලයේ ඉඳලාම කලාවට කැමැතියි. මට තිබෙන හැකියාවන් ගණනාවක්ම ඉදිරියට ගන්නට මම හැදෑරීම් කළා. කුලසිරි බුදවත්තයන්ගෙන් නර්තනය හැදෑරුවා. පද්මිණී දහනායකයන් යටතේ භරත නැටුම් හැදෑරුවා. ඒ වගේම මම මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳවත් හැදෑරීම් කළා. ආචාර්ය රෝහණ වීරසිංහයන් යටතේ නුගේගොඩ කලාභූමි ආයතනයෙන් සංගීතය ඉගෙන ගත්තා.

ඉන්පස්සේ මම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවා. ධර්මසිරි බණ්ඩාරනායක, මංගල සේනානායක වැනි අය යටතේ මම රංගනයට යොමුවුණා. මංගල සේනානායක මහතා ගේ ‘උතුරු සළුව‘ හා කිරට අඬන සප්පයෝ නාට්‍ය වල මම රඟපෑවා. රාජ්‍ය යොවුන් නාට්‍ය උලෙළේ සම්මාන පවා අරගෙන තිබෙනවා. කලාවත් එක්ක තමයි ලංකාවේදී ජීවත් වුණේ.

*ඔබ ඕස්ට්‍රේලියාවට පැමිණෙන්නේ කොහොමද?

ස්ටුඩන්ට් වීසා එකක් මත වැඩිදුර අධ්‍යාපනය හදාරන්න තමයි මම ඕස්ට්‍රේලියාවට එන්නේ. මෙල්බන් සරසවියේ වෛද්‍ය සමාජ විද්‍යාව උපාධිය හදාරලා දැන් මේ රටේ මෙඩිකල් රිවීව් ඔෆිසර් කෙනෙක් විදිහට රාජ්‍ය අංශයේ රැකියාව කරනවා.

*ඕස්ට්‍රේලියාවේදීත් ඔබ කලාව අතහරින්නේ නැහැ.

බන්දු දිසානායක මහත්මයා මේ කාලයේදී විශ්වවාහිනී නමින් රූපවාහිනී නාළිකාවක් පටන් ගන්නවා. එහි විශේෂත්වය තමයි ලංකාවෙන් පිටත තියෙන පළමු ශ්‍රී ලාංකික නාළිකාව වීම. ඒ නාළිකාවේ සජීවී වැඩසටහන් අංශයේ නිවේදිකාවක් විදිහට මම විශ්වවාහිනියට සම්බන්ධ වෙනවා. ඒකෙන් මම රූපවාහිනී නිවේදිකාවක් විදිහට ගොඩක් දුර ගමනක් එනවා.ඊට පස්සේ මම නිරූපණ ක්ෂේත්‍රයට යොමුවෙනවා. ලංකාවෙන් ආරාධනා ලැබුණාම මොඩ්ලින් ෂෝෂ් වලට යනවා. ඕස්ට්‍රේලියාවේ මොඩ්ලින් ඒජන්සිස් එක්ක මම මොඩ්ල් කළා. ඒකෙන් ගොඩක් ඉස්සරහට ගියා. ගොඩක් අය මම ගැන දන්නවා.

*ඔබ සුවිශේෂී චරිතයක් වෙන්නේ පිළිකා රෝගයට ගොදුරු වෙලා ඉන් සුවවුණු කෙනෙක් නිසා.

මම පිළිකාවක් හැදිලා සුව වුණු කෙනෙක් විදිහට මේ වනවිට ගොඩක් දෙනෙක් මාව දන්නවා. ඒ කාලය තුළදී මම ලබපු අත්දැකීම් මම රෝගියෙක් විදිහට ලබපු අත්දැකීම් විශේෂයෙන් පිළිකාවක් හැදුණු ගැහැනු ළමයෙක් විදිහට ජීවිතේ කොහොමද මම දැක්කෙ මරණය කොහොමද අත්වින්දෙ මම කොහොමද ඒ මරණයෙන් එළියට ආවෙ කියන දේ මම ජනතාව සමඟ බෙදා ගත්තා. මෝස්තර නිරූපණයේ නියැළිලා හිටිය කෙනෙක් විදිහට මගේ මුළු කොණ්ඩයම ගියා ගිහින් තට්ටය පෑදුණා ප්‍රතිකාර වලට. ඒ තත්ත්වය එක්ක තමයි මම ගැහැනු ළමයෙක් විදිහට ජීවියතට මුහුණ දුන්නේ. ඒ දුක ඒ වේදනාව ඔක්කොම එක්ක මම නැගිට්ට හැටි ඉතින් මම ඒ දේවල් හරි කැමැත්තෙන් ලෝකයට කිව්වා. මම ඒක කවදාවත් හංගන්නේ නැහැ. මම පිළිකාවක් තිබුණා කියන එක මම ඒක කියන්නේ තව කෙනෙක් ඒකෙන් ධෛර්යවත් වෙන්න පුළුවන්. පිළිකා රෝගයට ගොදුරු වුණු තව කාන්තාවක් හිතන්න පුළුවන් මේ වගේ පිළිකා හැදිලා නිරෝගී වුණු අය තව ඕන තරම් ඉන්නවා. නමුත් ඒ ගොල්ලන් හිතනවා ජීවිතේ දැන් ඉවරයි. අපි අවලස්සනයි. දැන් අපේ ජීවිතෙන් වැඩක් නැහැ කියලා. නමුත් මම දැන් සතුටින් කියන්නේ මගේ මෝස්තර නිරූපණ ක්ෂේත්‍ර යේ හොඳම කොටස එන්නේ පිළිකාවෙන් පස්සෙ. ඒ නිසා මම හැම කාන්තාවකටම කියනවා පිළිකාවක් හැදුණු පළියට අපි මරණ වරෙන්තුව අතට ගන්න ඕනෙ නැහැ. පිළිකාවක් හොඳවුණාට පස්සෙ අනේ මම පිළිකාවක් හැදුණු කෙනෙක්නෙ කියලා පසුබසින්න ඕනෙත් නැහැ. ජීවිතේ කියන්නේ කොතැනින් කඩා වැටුණත් ගොඩ ගන්න පුළුවන්. මගේ ජීවිතේ ගොඩක් තැන් වලදී කඩාගෙන වැටුණා. සමහර වෙලාවට මට තනිකම දැනුනු තැන් ජීවිතේ රිදුණු තැන් තියෙනවා. පිළිකාව නිසා මට ජීවිතයේ අහිමි වුණු දේවල් ගොඩක් තියෙනවා. යුවතියක් විදියට ප්‍රේමය සම්බන්ධයෙන් මට රිදුණු තැන් තියෙනවා. නමුත් මම හිතනවා ජීවිතේ කියන්නෙ කොතැනින් කඩාගෙන වැටුණත් අපිට නැවත ලස්සනට ගොඩ නගා ගන්න පුළුවන් දෙයක් කියලා.

*ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඔබේ කලා කටයුතු වලට උපකාරී වුණු තැනක්

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කියන්නේ මම හරිම අගය කරන තැනක්. මොකද ලංකාවෙන් පිට පුංචි උප සංස්කෘතියක් තියෙන ලෝකයේ එකම බිම තමයි මෙල්බර්න් නුවර කියන්නේ. ඉතින් එතැන ඉන්න ලැබීමත් සතුටක්. මොකද මව්බිම අතහැරියා කියන හැඟීමක් දැනෙන්නේ නැහැ. අපි මෙහෙ ඉඳගෙන ලංකාවත් එක්ක පැය 24ම සම්බන්ධතා පවත්වනවා. මෙල්බර්න් වල නාට්‍ය ගත්තොත් නාට්‍ය හා රංග කලාව පැත්තට සම්බන්ධ බොහෝ ප්‍රවීණයන් ජීවත් වෙනවා. ජය ශ්‍රී චන්ද්‍රජිත්, භානුක මනෝරත්න, සංගීතය පැත්තෙන් ගත්තම රනිල් මල්ලවආරච්චි, ඉන්ද්‍රජිත් මිරිහාන වැනි අය මෙල්බර්න් වල ඉන්නවා. ශාස්ත්‍රීය පැත්තෙන් හෝ වාණිජමය පැත්තෙන් සතියකට වරක් මොනවා හෝ ප්‍රසංගයක් මෙහෙ පැවැත්වෙන තැනක් තමයි මෙල්බර්න් කියන්නේ. ලංකාවේ බොහෝ කලාකරුවන් ස්ථීර පදිංචියට තෝරාගෙන තිබෙනවා. ඉතින් අපිට කලා පවුලක් සිටිනවා. රූපවාහිනී නාළිකාවක් තිබෙනවා. වෙස් බැඳපු දක්ෂ නර්තන ශිල්පීන් ඉන්නවා. ඒ අය නර්තන ආයතන පවත්වනවා. මෙහෙ ඉන්න මෙල්බර්න් නුවර ඉපදුණු ශ්‍රී ලාංකික දරුවන් පවා ඒ ආයතන වල අපේ සාම්ප්‍රදායික නර්තන ක්‍රම ඉගෙන ගන්නවා. සංගීත ආශ්‍රමත් ඒ වගේමයි. මට මේ වෙලාවෙ විශාරද චමරි වීරකෝන් මහත්මිය මතක් කරන්න ඕන. හිරණ්‍යා මනෝරත්න වැනි අය සංගීත ආශ්‍රම පවත්වනවා. ඒවායින් දැනුම දෙන ගමන් හරිම ආකර්ශනීය ප්‍රසංග පවත්වනවා. මමත් බොහෝ වෙලාවට ඒවාට සහභාගි වනවා.

* ලංකාවෙන් අධ්‍යාපන කටයුතු වලට පැමිණ කාලයත් සමඟ මෙහි ස්ථීර පදිංචිය ලැබූ යුවතියක් ලෙස ඔබ අපේ රටේ යුවතියන්ට දෙන පණිවුඩය මොකක්ද?

යුවතියකට ඉතාමත්ම ආරක්ෂිතව ඉන්න පුළුවන් රටක් ලෙස ඕස්ට්‍රේලියාව මම බොහොම අගය කරනවා. අපි ස්ටුඩන්ට් වීසා එකේ ඉන්න කාලේ අපිට පැය 20ට වඩා වැඩ කරන්න නීතියෙන් තහනම්. ඉතින් අපිට යුනිවර්සිටි එකෙන් හොයලා දෙන කුඩා රැකියාවල් වලට එහෙට මෙහෙට දුව දුව තමයි ඒ මුදල හම්බ කළේ. මට මතකයි මම එක රැකියාවකින් තව එකකට යන්න වෙලාව නැති නිසා මෙල්බර්න් සිටි එකේ සෙන්ක්ලේඩා කියන ඒරියා එකේ පාර අයිනේ තියෙන බංකුවක නිදා ගත්තා. ඊළඟ ට්‍රෑම් එකට නගින්න. මම මහ පාන්දර පැය තුනක් එතැන නිදාගෙන හිටියා ඉතින් මට කිසිම අනතුරක් වුණේ නැහැ. මම ඒක අදටත් මතක් කරනවා මොකද ඒ ආරක්ෂාව අපට මේ රටේ තිබුණා. මේ ළඟදී මම දැක්කා අන්තර්ජාලයේ දාලා තිබෙනවා ලෝකයේ කාන්තාවන්ට ආරක්ෂාව අතින් ඉතාම ඉහළම රට විදිහට ඕස්ට්‍රේලියාව තේරිලා තියෙනවා කියලා. ඉතින් මම අගය කරනවා ඒ දෙය. ඒක හැම රටකම තියෙන්න ඕන දෙයක් කියලා. මේ රටට යුවතියක් විදිහට තනිවම ඇවිත් හුඟක් අමාරු පැති තිබුණා රෑ තිස්සේ පුංචි පුංචි රස්සාවල් වලට ගියා. මැක්ඩොනල් වල පොඩි රෙස්ටුරන්ට් වල තමයි යුනිවර්සිටි එකෙන් ලැබුණු පොඩි රස්සාවල් කරන්න මහ රෑ තිස්සේ එළියට බැහැලා යද්දි අපිට ඒ ආරක්ෂාව තිබුණා.

ඔබ ශිෂ්‍යාවක ලෙස මේ රටට පැමිණිලා අවසානයේ සම්මානයට පවා පාත්‍ර වනවා. ඒ මතකය අවදි කරමුද ?

මගෙ පිළිකාව සුව වෙලා 2014 දී මම මෝස්තර නිරූපණයට ආයෙත් ආවට පස්සේ නුවන් සමරපති මහත්මයාගේ යූ ටර්න් කියන ග්‍රන්ථය මෙල්බර්න් නුවරදී එළිදක්වනවා ඒක ලංකාවේ එළිදැක්වුණු අවස්ථාවේ අනෝජා වීරසිංහ මහත්මිය තමයි රෝල් මොඩල් විදිහට තෝරාගෙන තිබුණේ. ඔහු මෙල්බර්න් නුවර මේ පොත එළිදක්වද්දී රෝල් මොඩල් විදිහට තෝරාගත්තේ මාව. මට ඒ භාග්‍යය ලැබුණා. එදා බොහෝ පිරිසක් මාව දැනගත්තා. මම පිළිකා රෝගයට මුහුණ දුන්න හැටි. එතැනින් පස්සේ යළිත් මෝස්තර නිරූපණයට යොමුවෙලා ඉදිරියටම යන්න මට අවස්ථාව ලැබුණා. ඒ අතර සෙරන්ඩිබ් සම්මාන උලෙළ මේ රටේ පැවැත්වුණා. සෙරන්ඩිබ් මීඩියා ඕගනයිෂේෂන් එක තමයි ඒක සංවිධානය කරන්නේ. 2015 සහ 2016 යන වසර දෙකේම පිට පිටම මෝස්ට් ඉන්ස්පිරේෂන් වුමන් ( Most Inspiration Women) කියන සම්මානය හම්බවුණා.

* ඔබ ලංකාවේ ඉපදිලා ඕස්ට්‍රේලියාවට ඇවිත් සාර්ථක වුණු කාන්තාවක් ලෙස මොකක්ද අපේ රටේ කාන්තාවන්ට දෙන පණිවුඩය

මම හරිම සතුටින් අපේ කාන්තාවන්ට කියන්න විශේෂ දෙයක් තිබෙනවා. ඒ තමයි කාන්තාව කියන්නේ බොහොම ශක්තිමත් කෙනෙක්. විශේෂිත කෙනෙක්. මොකද කාන්තාවකට පුළුවන් තවත් ජීවියෙකුට ජීවය දෙන්න. උපතක් දෙන්න. ඇයට පුළුවන් තමන්ගේ රුධිරය කිරි බවට හරවන්න. ඇය ඒ තරම් ශක්තිමත්. ඉතින් එහෙම කාන්තාවක් විදිහට ජීවිතයේ කොතැනින් වැටුණත් අපිට නැගිටින්න පුළුවන්. ජීවිතේ කියන්නේ කොච්චර වැටුණත් ආයේ නැගිටින්න පුළුවන්. අපිට ආයේ නැවතත් ලස්සනට උඩට ගන්න පුළුවන් පණ ගන්න පුළුවන් දෙයක් කියලා.

*රූපය රැක ගන්න මොනවගේ දේවල්ද කරන්නෙ.

ඇත්තටම මේ රටට ආවට පස්සෙ තමයි මම හුඟාක් දේවල් දැනගත්තෙ ස්වභාවික කෑම බීම වලින් අපට ගොඩක් දේ කරන්න පුළුවන් කියලා. මම විශ්වාස කරන දෙයක් තමයි අපේ ඇඟ හදා ගන්න ජිම් එකට යනවට වඩා , කෘත්‍රිම දේවල් බාහිරින් ආලේප කරනවාට වඩා මම හරිම කැමැතියි නැවුම් පලතුරු, එළවළු වැඩිපුර ආහාරයට අරගන්න. විශේෂයෙන් මේ රටේ බොහොම පිරිසුදු නැවුම් දේවල් තිබෙනවා. ඒ නිසා මම කෑමෙන් බීමෙන් තමයි මම පාවිච්චි වෙන්නෙ. පලතුරු වැඩිපුර ආහාරයට ගන්නවා.

ඒ නිසා මම අපේ රටේ කාත්තාවන්ට දෙයක් කියන්න කැමැතියි. ලංකාවේදී මේ දේවල් මීටත් වැඩිය කරන්න පුළුවන්. මේ රටට වඩා බොහොමයක් කහ පැහැති එළවළු පලතුරු තියෙන රටක් තමයි ලංකාව කියන්නේ. මම එහමෙ කියන්නේ අපි මේ රටේදී ගොටුකොළ කැඳ එකක් බොන්නෙ ලංකාවෙන් එවන වියළි ගwොටුකොළ පාවිච්චි කරලා. නමුත් ලංකාවේ කාන්තාවන්ට ඒ සම්පත ඉහටත් උඩින් තියෙනවා. ඒ අයට ඉතාමත් නැවුම්ව ඒවා පාවිච්චි කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මම හිතනවා ඒක තමයි රූපයේ රහස කියලා.

[email protected] මගේ විද්‍යුත් ලිපිනයට ලියන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.