රැකියාවේ ස්වභාවය තේරුම් ගැනීම පවුලේ යහපැවැත්මට හේතුවක්

නාවික හමුදා සේවාවනිතා සභාපතිනි චන්දිමා උළුගේතැන්න
දෙසැම්බර් 20, 2021

නිල් සයුරු තෙර කලඹමින් නාවික යාත්‍රාවන් දිවා රෑ නොබලා ජල තරංග මතින් ඉදිරියට ම ඇදී ගියේ රට රැක ගැනීමේ උදාර පරමාර්ථයෙනි.

 

තිස් වසරක් පුරාවට පැවැති යුද්ධය හමුවේ රට වට බැඳි රන් වැට ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකා නාවික හමුදාව කළ මෙහෙවර අපමණයි. මුහුදේ පෑ වික්‍රමයන් හමුවේ ඉදිරි පෙළ සිටි ඔහු වත්මනේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නයි. ඔහුගේ ප්‍රිය බිරිය නොහොත් ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ වත්මන් සභාපතිනි චන්දිමා උළුගේතැන්න මහත්මිය අද අපගේ කතා නායිකාවයි.

සිය සැමියාට රට වෙනුවෙන් ඇප කැප වන්නට, රාජකාරි කටයුතු නිරවුල් මනසකින් යුතුව කරන්නට ශක්තියක් වු ඇය සුවිශේෂී අභිමානවත් කාන්තා චරිතයකි.

මුලින්ම අපි ඔබේ බාලකාලයට පියමං කරමු.

රුවන්වැල්ල මොරාවත්ත නම්වූ සුන්දර ගම් පියසක ඉපදිලා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයෙන් අකුරු කළ මම මධ්‍යම පාන්තික පවුලක එකම දරුවා. මුල් කාලයේ ඉංග්‍රීසි ගුරුවරයකු ලෙසත් පසුකලෙක සෞඛ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ නියැළුණු පියාගේත් ගෘහණියක් වූ මවගේත් ආදරය සෙනෙහස නො අඩුව ම වින්දා. මම උසස් පෙළ හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙන්. රැකියාවක් කරන්න සුදුසුකම් තිබුණත් පවුලේ එකම දරුවා නිසා ම ඒ සඳහා අවස්ථාව ලැබුණේ නැහැ.

අද තරුණී පත්තරය සමඟ මේ හමුව මට විශේෂයි. මගේ අම්මා එදා ඉඳන් ම තරුණී පත්තරය බලන කෙනෙක්. මාත් තේරෙන කාලේ ඉඳන් අම්මත් එක්ක තරුණි පත්තරේ කියවනවා.

තව අදටත් මං විවේකයක් ලද විටක දී කරන්නේ පොත්පත් කියැවීම. අම්මාගේ ආභාසය අනුව මම මල් වවන එකත් විනෝදාංශයක් කරගත්තා. අම්මාගෙන් ලද ආභාසක් ලෙස මට රසට කෑම සකසන්නත් පුළුවන්.

 

ඔබේ දයාබර සැමියාගේ හමුවීම කොහොමද සිදුවුණේ?

 

අපි හමුවුණේ යෝජනාවකින්. 1999 මැයි මාසයේ අපි විවාහ වුණා. මම කොට්ටාව රුක්මල්ගම ප්‍රදේශයේ පදිංචියට ආවා.

අපි විවාහ වුණේ යුද සමය තියෙන කාලේ. ඔහු මාසයකට සැරයයි ගෙදර එන්නේ. මම ඔහුගේ අම්මයි තාත්තයි එක්ක ජීවත් වුණා. මීට අවුරුදු 19 කට පෙර ඔහුගේ අම්මා මිය ගියා. මගේ තාත්තා මීට අවුරුදු දෙකකට පමණ පෙර මිය ගියා. අම්මා රුවන්වැල්ලේ ගෙදර ම ඉන්නවා.

මගේ සැමියා දැන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24වැනි නාවික හමුදාපතිවරයා.

යුද සමය උච්චතම කාලයක රණවිරුවෙක් සහකරු කරගන්න බය හිතුණේ නැද්ද?

පොඩි තැතිගැන්මක් නොතිබුණාම නොවේ.. ඒ කාලේ රණවිරු බිරින්දෑවරුන්ට තිබුණ බය, චකිතය මටත් තිබුණා.

ඔහුගේ කාර්යබහුලත්වය මම එදා ඉඳන් ම අවබෝධ කරගත්තා. නිවෙසේ හැම කටයුත්තක් ම මම කළමනාකරණය කරගත්තා. අපේ දුව ඉපදුණේ 2002 අවුරුද්දේ. දුවව පෙරපාසල් ගෙනියන තැනේ සිට උසස්පෙළ දක්වා ම ඇයගේ සියලු කටයුතු ⁣කළේ මම තනිවමයි. එදා අපිට දැන් තියෙන පහසුකම් තිබුණේ නැහැ. අපේ නිවෙසේ ඉඳන් රුක්මල්ගම හන්දියට කිලෝමීටරයක් විතර එන්නත් ඕනා පයින්. ඒ නිසා ත්‍රීවීලර් එකේ, බස් එකේ තමයි මම දුවගේ අධ්‍යාපන කටයුතුවලට හා අපගේ එදිනෙදා කටයුතුවලට යන්නේ. අපේ දුව විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවේ.

මාසෙකට වතාවක් ගෙදර ඇවිත් බෑග් එක ගෙදරින් තියද්දි ම ආයේත් එන්න කියලා ආපිට ගිය අවස්ථාත් තිබුණා. එදා මම ගැන බැලුවේ නැහැ, දුව ගැන බැලුවේ නැහැ කියලා මම හිත් නොහොඳකම් ඇතිකරගත්තේ නැහැ.

තනිවම හැමදේම කළා. ඔහුව හැකිතරම් නිරවුල් මනසකින් රැකියාව කරන තැනට පත් කළා. මම ඔහුව තේරුම් ගැනීම, ඔහුගේ රැකියාවේ ස්වභාවය තේරුම් ගැනීම අපේ පවුලේ යහපැවැත්මට හේතුවක් වුණා. මම අපේ හමුදා බිරියන්ට වගේම සමස්ත කාන්තා පරපුරට ම කියන්නේ කාන්තා අපි හරිම ධෛර්යවන්තයි.

හැමකෙනාගේ ම සිත තුළ සැඟවුණු ධෛර්යවන්තකමක් තිබෙනවා. ඉන් ප්‍රයෝජන ගන්න. මම අදටත් සේවා වනිතා සභාපතිනිය වෙලා ඉඳිද්දි මගේ නාවික හමුදා නිලධාරිනියන් ට බිරියන්ට කියන්නේ ඒ දෙය.

හමුදා නිලධාරින්ට රට වටා රාජකාරියේ නියැළෙන්න වෙනවා. ඇතැම් බිරින්දෑවරු සැමියන් පිළිබඳ සැක සංකා ඇතිකරගෙන ඉන්නේ. මෙය සාර්ථක පවුල් ජීවිතයක නොතිබිය යුතුම දෙයක්.

ගෘහණියක්, බිරියක්, මවක් ලෙස ඔබ ඔබේ වගකීම ඉටු කරන්න. මවුවත්කම රැක ගන්න. මම මගේ දුව අසනීප වුණු අවස්ථාවලදී වුණත් තනිවම ඒ දේවල් කරගත්තා. දුව පාසල් යන වයසෙදි සැමියා හිටියේ ත්‍රිකුණාමලයේ කපිතාන්වරයෙක් ලෙස. එම කාලසීමාවේ යුද්ධය දරුණුවට ම පැවතියා. මහ මුහුදේ සටන් අඛණ්ඩව ම පැවතියා.

අපේ දුව භාෂා විෂයය ධාරාවන්වලින් උසස් පෙළට පෙනී සිට දැන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උපාධිය හදාරනවා. දුවගේ මුළු පාසල් කාලයට ම සැමියා මාපිය රැස්විම් දෙකකට විතර සහභාගි වෙලා ඇති. ශ්‍රමදාන... මේ වගේ හැමදේකට ම මමමයි සහභාගි වුණේ. කිසිම දෙයක් පැහැර හැරියේ නැහැ.

නැන්දම්මා ලේළි සබඳතාව ඔබට දැනුණේ කොහොමද?

ඇය සැමවිටම කටපුරා හිනාවෙලා හිටපු මවක්. නැන්දම්මා, ලේළි ගැටුම් පිළිබඳ මට අත්දැකීමක් නැහැ ඇත්තටම.

ත්‍රිකුණාමලය, යාපනය, මන්නාරම, කොළඹ, දකුණ.... මේ ආදී බොහෝ පළාත්වල ඔහු සේවය කළා. හතරවැනි වේග ප්‍රහාරක යාත්‍රා බලගණයේ අණදෙන නිලධාරි ලෙසත්, උතුරු නාවික විධානයෙහි ආඥාපති ලෙසත්, දකුණු නාවික විධානයෙහි නියෝජ්‍ය ආඥාපති ලෙසත්, දකුණු නාවික විධානයෙහි සහ බටහිර නාවික විධානයෙහි ආඥාපති ලෙසත් ඔහු කටයුතු කළා.

 

තරුණියක්ව සිටියදී අනාගත සහකරු පිළිබඳ මැවූ සිහින ඔබේ සැමියා වෙතින් දුටුවාද?

හමුදා නිලධාරියෙක් ව විවාහ කරගන්න හිතුවේ නැහැ ඇත්තට ම. වෙනත් ක්ෂේත්‍රවල උසස් රැකියාවල නිරතවන අය ගැනයි හිතුවේ. මම නම් හිතන්නේ දෛවයට අනුව තමයි සහකරු මුණ ගැසෙන්නෙත් සියලු දේ සිදුවෙන්නෙත් කියලා. අද මම අතිශයින් ම සතුටු වෙනවා ඔහු වැනි සහකරුවෙක් හමුවීම ගැන. ඔහුත් මම වගේ ම සතුටු වෙනවා ඇති මම වැනි බිරිඳක් ලැබීම ගැන.

 

ඔබතුමිය අනුගමනය කරන විලාසිතා පිළිබඳ දැනගන්නත් කැමැතියි.

හැම අවස්ථාවකට ම වගේ තෝරා ගන්නේ ඔසරිය. චාම් පෙනුමට මම හරිම කැමැතියි. වැඩි විච්චූරණ, වැඩි මේක්අප් ආදියට එතරම් කැමැත්තක් නැහැ.

 

මේ සියල්ලටම අමතරව, වත්මන් නාවික හමුදා සේවා වනිතා සභාපතිනිය ලෙස ඔබ ඉදිරියටම කරගෙන යන සහ අලුතින් හඳුන්වා දුන් ව්‍යාපෘති පිළිබඳත් කෙටියෙන් සඳහන් කරමු.

මින් පෙර සිටි සභාපතිනියන්ගේ පූර්වාදර්ශයන් සමඟින් මම මගේ තනතුරේ වගකීම් නිසිපරිදි ඉටු කරන්නයි හැමවිටම හිතන්නේ. එහිදී 2017 සිට 2019 දක්වා සේවා වනිතා ඒකකය ජ්‍යෙෂ්ඨ සාමාජිකවක ලෙස ලැබූ අත්දැකීම් මට මනා පිටුවහලක් වුණා.

2020 ජූලි මස 15 දින මා නාවික හමුදා සේවා වනිතා සභාපතිනිය ලෙස වැඩ භාර ගත්තා. මමාගේ සේවා කාලය තුළදී මම නාවික පුද්ගලයින් හට සහනදායි මිල ගණන් යටතේ සිය දෛනික පාරිභෝජන ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකි නව සුබ සාධන වෙළෙඳසැල් ,යෝගට් ව්‍යාපෘති, එළවළු සහ පලතුරු වෙළෙඳසැල් දැනට නොමැති නාවික විධානයන් හී ආරම්භ කිරීමට කටයුතු කළා. ඒ වාගේම සෞඛ්‍ය ආරක්ෂිත ජීවන රටා

වකට නාවික පුද්ගලයින් හා සිවිල් පුද්ගලයින් යොමු කරවීමේ අරමුණින් දේශීය සහල් නාවික පුද්ගලයන් වෙත මිලදී ගැනීමට අවශ්‍ය මඟපෙන්වීම ලබා දුන්නා.

මුලදි නැවියන්ට පමණක් බඩු භාණ්ඩ මිලදී ගන්න විවර වුණු මේ අලෙවිසල් නිලධාරින්ට වගේම සිවිල් පුරවැසියන්ටත් විවර වුණා.

මම ආසම කරන මල් කලාව මෙතෙක් තිබූ තැනින් ඉහළටම ඔසවා තැබුවා. ඒ සඳහා දියතලාවේ නිවාඩු නිකේතනය අවට භූමියේ මල් පැළ තවානක් පවත්වාගෙන යෑමට පියවර ගත්තා. එහි රෝපණය කෙරෙන මල් වැලිසර නාවික කඳවුරු භූමියේ ස්ථාපිත සේවා වනිතා මල් සැකසුම් ඒකකය වෙත රැගෙන විත් එය නාවික, සිවිල් පුද්ගලයන්ගේ විවාහ මංගල හා වෙනත් උත්සව අවස්ථා සඳහා සහනදායි මිලට ගන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කළා.

බතික් ඒකකය නව මුහුණුවරකින් පවත්වා ගෙන යනවා.නාවික හමුදා පිරිසගේ දරුවන්ට පාසල් උපකරණ බෙදාදීම, දුෂ්කර පාසල්වල සිසුන්ගේ නැණ පහන් දැල්වීමේ අරමුණින් පාසල් උපකරණ හා පොත්පත් බෙදාදීම සිදුවූවා.

මෙවර කාන්තා දිනයට අපි ‘සිඳුලිය‘ නමින් දැනුම වඩන සඟරාවක් එළි දැක්වූවා. ලබන වසරෙදිත් එය නිකුත් කිරීමේ බලාපොරොත්තුවක් තිබෙනවා. රුක් රෝපණ වැඩසටහන්, කොවිඩ් 19 සමාජ සත්කාරයක් ලෙස මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලට, මහරගම අපේක්ෂා රෝහලට වෛද්‍ය උපකරණ හා විවිධ පරිත්‍යාගයන් සිදු කළා.ග්‍රාමීය ප්‍රදේශවල විහාරස්ථාන සඳහා ජල පිරිපහදු මධ්‍යස්ථාන ඉදි කිරීම, ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ නව වෙබ් අඩවිය සහ ෆේස් බුක් පිටුව එළි දැක්වීම ආදි සද්කාරයන් රැසක් කරන්න මට අවස්ථාව ලැබුණා.

මෙවර නාවික හමුදා සංවත්සරය වෙනුවෙන් ආබාධිත රණවිරුවන් සිටින පවුල්වලට, යුද්ධයෙන් මිය ගිය නාවික හමුදා භට පිරිස්වල පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් බඩුමල්ලක් දෙන්නට හැකි වුණා.

අතීතය ආවර්ජනය කරද්දි මගේ කැපවීමේ ප්‍රතිඵලය අපි හැමෝම අද භුක්ති විඳිනවා. බිරියක්, ගෘහණියක්, මවක් ලෙස වගේම සේවා වනිතා සභාපතිනිය ලෙස රට වෙනුවෙන්, අසරණ අය වෙනුවෙන්, කාන්තාවන් වෙනුවෙන් හිතට දැනෙන යමක් කරන්න ලැබිම ගැන නිහතමානී සතුටක් මම අද භුක්ති විඳිනවා.

ඡායාරූප - හිරන්ත ගුණතිලක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.