අති විශාල වන්දි මුදලක් ලද දික්කසාද රජ බිරිය

ජනවාරි 3, 2022

කුණු ඇති තැනට ම කුණු එක් වීම සාමාන්‍ය දෙයකි. රජ කුමරියක් වී ඉපි ද රජ බිසවක වූ ඇය අවසන දික්කසාදයේදී ද රජ වන්දියක් ලැබුවාය. එය එසේ මෙසේ වන්දියක් නො වෙයි.

ඉතිහාසගත වන්දියකි. දික්කසාද කළ බිරියක විසින් සැමියාගෙන් ලද ඉහළ ම වන්දියකි. එය අමෙරිකානු ඩොලර් මිලියන 734 ක පමණ විශාල මුදලක් වෙයි. ලන්ඩනයේ ඉහළ උසාවිය මඟින් මේ වන්දිය හයා බින්ට් කුමරිය ට සහ දරුවන් දෙදෙනාට ගෙ‍වන මෙන් ඩුබායි පාලක සීක් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තෝම් නියෝග කර තිබෙයි. මෙය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ උසාවියකින් නියම කෙ‍රුණු විශාල ම වන්දි මුදලකි. කෙසේ වුවත් මෙතරම් විශාල දික්කසාද මුදලක් ලැබීම හයා කුමරියගේත් දරුවන් දෙ‍දෙනාගේත් ජීවිත අනතුරකට ඇද දැමීමක් බව බොහෝ දෙනකු ගේ අදහසයි. ඩුබායි පාලකයා

උසාවි තීරණයට වන්දිය, හයා කුමරිය ගෙනුත් දරුවන් දෙදෙනා ගෙනුත් ගතහොත් එය පුදුමයක් නො වෙයි.

හතළිස් හත් හැවිරිදි සුරූපී හයා සහ හැත්තෑ දෙහැවිරිදි වියපත් සීක් මොහොමඩ් දුටුවනම කාගේත් සිහියට නැඟෙන්නේ ඉන්දියාවේ බ්‍රාහ්මන සමාජයයි. සොළොස් හැවිරිදි තරුණියක වයස හැට ඉක්මවූ මහල්ලකු සමඟ විවාහ වීම අතීත ඉන්දියානු බමුණු සමාජයේ නම් නිරන්තරයෙන් සිදු වූවකි. මහලු රජුන්, ධන කුවේරයන් ලාබාල තරුණියන් හා විවාහ වීම සමඟ අද කාලයේත් විරල නැත. ඒ අය ආදරය ධනයට බලයට අලෙවි කළත් හයා බින්ට් හුසේන් ගේ කතාව නම් ඊට වෙනස්ය. සීක් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තෝම් සමඟ විවාහවූ හයා බින්ට් හුසේන් ද රජ කුමරියකි. ඇය ගේ පියා ජෝර්දානයේ රජු හුසේන් බින් තලාල් ය. රජු‍ ගේ තෙවැනි බිරිය ආලියා ගේ දියණිය වූ හයා ට සිටියේ එක් සොයුරකු පමණි.

හයා අධ්‍යාපනය ලැබුවේ බ්‍රිතාන්‍යයේය. දර්ශනය, දේශපාලනය, ආර්ථික විද්‍යාව පිළිබඳ ඔක්ස්ෆර්ඩ් සරසවියේ ගෞරව උපාධිධාරිණියක වූ ඇය සාම්ප්‍රදායික මුස්ලිම් තරුණියක වූයේ නැත. හයා බැට්මින්ටන් ක්‍රීඩාවට හා අශ්වයන් පැද යාම ට දැක්වූයේ පුදුමාකාර කුසලතාවකි. ඩැමස්කස්වල පැවැති හත් වැනි පෑන් ඇරූබ් ක්‍රීඩා උලෙළේදී ඇය කෙවල පැනීමේ ඉසව්වෙන් තඹ පදක්කමකට හිමිකම් කීවාය. 1993 දී ඇය වසරේ ජෝර්දානු ක්‍රීඩිකාව ලෙස නම් දැරුවාය. අශ්ව තරග සඳහා ජෝර්දානය නියෝජනය කළ පළමු කාන්තාවත් පදක්කමක් දිනූ පළමු හා එකම කාන්තාවත් ඇයයි. වසර ගණනක් අයර්ලන්තයේ හා ජර්මනියේ පුහුණුව ලැබූ හයා 2000 වසරේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැති ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ තුරග තරග සඳහා සුදුසුකම් ලැබීය. ක්‍රීඩා උලෙළේ ජෝර්දාන කොඩිය ඔසවා ගෙන යාමේ ගෞරවය දිනා ගත්තේ ද ඇයයි.

හයා, ඩුබායි හී සීක් මොහොමඩ් කුමරු ගේ හය වැනි බිරිය ලෙසින් අත ගත්තේ 2004 වසරේදීයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති හා අගමැති වූ ඔහු ඩුබායි පාලකයා විය. 2007 වසරේදී හයා කුමරිය අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකාවක වූවාය. අය ප්‍රථම වරට මව් පදවියෙන් පිදුම් ලැබුවේ ද ඒ වසරේදීය. දෙවැනි දරුවා 2012 දී උපත ලැබුවාය.

විසිපස් වසරක් වැඩිමල් සීක් හා පැවති හයා ගේ පෙම කෙමෙන් කෙමෙන් දෙදරා යන්නට ගත්තේ බ්‍රිතාන්‍ය ආරක්ෂක නිලධාරියකු සමඟ බැඳි තහනම් පෙම රස විඳීන්නට පටන් ගත් දා සිටය. හොර රහසේ පෙම පවත්වා ගෙන යාමට ඇය සෙසු ආරක්ෂක නිලධාරීන්ට කප්පම් ද ලබා දුණි. හැංගි හැංගි වෙස් බැන්දත් නැටීමට සිදු වන්නේ එළිමහනේය. සීක් මොහොමඩ් කුමරු රහස දැනගත් පසු ෂරියා නීතියට අනුව කුමරු ඇය දික්කසාද කළාය.

හයා කුමරිය දරුවන් සමඟ බ්‍රිතාන්‍ය බලා පිටත් වූවාය. බිඳී ගිය හයා - සීක් ප්‍රේමය ලොව පුරා මාධ්‍යයන් ගේ ප්‍රධාන මාතෘකාව බවට පත් විය.

සීක් බිරිය ගේ ද්‍රෝහී බව කියාපාමින් ඉන්ස්ටග්‍රම් වෙබ් අඩවියට අරාබි භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන් කවි එක් කළේ ඇය ගේ ජීවිතයට ද තර්ජනයක් එල්ල කරමිනි.

2019 සිට පැවැති හයා - සීක් දික්කසාද නඩුව 2021 වසරේ දෙසැම්බර් 21 අවසන් විණි. සීක් කුමරු ඉන්ස්ටග්‍රම් වෙබ් අඩවියට නිකුත් කළ හයා කුමරියට මරණිය තර්ජනය එල්ල කළ කවිය ඉවත්කර ගත්තේය.

හයා තහනම් පෙමක බැඳීම වැරැදි නමුත් ඇය සාම්ප්‍රදායික අරාබි කාන්තාවක නොවී උඩුගං බලා ගිය අවස්ථා බොහොමයකි. ඇය පළමු රාජ්‍ය නො වන අරාබි නො වන සංවිධානයේ නිර්මාතෘ වෙමින් සමාජ සේවා කටයුතු ගණනාවක නිරත වන්නියකි. එක්සත් ජාතීන් ගේ ලෝක ආහාර සංවිධානයේ සන්නාම තානාපතිනිය වූ( Goodwill Ambassador ) පළමු කාන්තාව මෙන්ම පළමු අරාබි ජාතිකයා ද ඇයයි. 2005 සිට 2007 දක්වාම ලෝක ආහාර වැඩසටහනේ සන්නාම තානාපතිනියක ලෙස ඇය සේවය කළාය. ඇය කළ සේවය වෙනුවෙන් 2015 කුසගිනි නැසීමේ සටනේ වීරයා ලෙසින් එක්සත් ජාතීන් ගේ ලෝක ආහාර සංවිධාන වැඩ සටහනෙන් සම්මානයට පාත්‍ර වූවාය. හයා අන්තර්ජාතික පැරා ඔලිම්පික් තරග කමිටුවේ ගෞරවනීය විනිශ්චය මණ්ඩල සාමාජිකාවකි.

 

අන්තර්ජාලයෙනි