මනා විනයක් සමඟ ලබන පුහුණුව ජීවිතයට ප්‍රබල අත්වැලක්

ජනවාරි 17, 2022

 

 

විශේෂ කාර්ය බලකා කාන්තා සහකාර

පොලිස් අධිකාරිනි

එන්. ටී. එන්. කුමාරි

පුරුෂ පක්ෂය හා හරි හරියට සමවෙමින් කාන්තාවෝ අදවන විට බොහොමයක් ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් ඒවාහි ඉහළ තනතුරුවල වැජඹෙති.

සියුමැලි දෑත්වලට ඔරොත්තු දේවි දෝ යැයි සිතෙන තරමේ අපූරු පුහුණුවක් ලබන ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කාර්ය බලකායේ කාන්තාවන් මේ අතරින් සුවිශේෂි වේ.

ඔවුන් ශ්‍රී ලංකා පොලීසියට අයත් වුවත් යුද හමුදාවකට සමාන වූ විශේෂිත පුහුණුවක් ලබයි. ගෙවීගිය යුද සමයේ සතුරා හමුවේ නොබියව ම සටන් වැද අදටත් ස්වභාවික ව්‍යසනයන්, සතුරු බලවේග හමුවේ විශේෂ කාර්ය බලකාය පෙරටම එයි.

ප්‍රථමවරට විශේෂ කාර්ය බලකායට කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියක පත්කර තිබීම විශේෂ කාර්ය බලකා කාන්තාවන් පමණක් නොව සමස්ත කාන්තා පරපුරටම මහත් වූ අභිමානයකි. ඔවුනට මේ උසස්වීම් ලබාදී තිබෙන්නේ ජාතික ආරක්ෂාව හා නීතිය, සාමය ආරක්ෂා කරගැනීම සඳහා විශේෂිත වූ කුසලතාවන් මෙන්ම සේවා අවශ්‍යතා මතයි. විශේෂ කාර්ය බලකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිටි නිලධාරීන් 52ක් හා නිලධාරිනියන් දෙදෙනකුගෙන් කළ තෝරා ගැනීම් අතරින් නිලධාරීන් 8ක් හා එක් නිලධාරිනියක් සහකාර පොලිස් අධිකාරි තනතුරට පත් කර තිබේ.

සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස් කෙරෙමින් විශේෂ කාර්ය බලකායේ ප්‍රථම සහකාර පොලිස් අධිකාරිනිය වූ ඇය එන්. ටී. එන්. කුමාරියි.

නම්බුකාර තන්ත්‍රිගේ නිරෝෂා කුමාරි අමරසිංහ හෙවත් එන්. ටී. එන්. කුමාරි අද තරුණී පුවත්පත හා සුහද පිළිසඳරකට එක්වන්නේ අලුත්ම තනතුරේ රාජකාරි භාරගත් සතුට ද සමඟිනි.

වයස අවුරුදු 20ක් වැනි තාරුණ්‍යයේ එළිපත්තේ සිටින කාලයක දී ඇය තම මව සමඟින් ගොස් විශේෂ කාර්ය බලකායේ සම්මුඛ පරීක්ෂණයක් සඳහා සහභාගි වූවාය. පිළියන්දල පදිංචි, රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය පාසල්වියේ දී කැපී පෙනෙන ක්‍රීඩිකාවකි.

විද්‍යාලයීය උප ක්‍රීඩා නායිකාව ද වූ ඇය ක්‍රීඩාව වෙතින් ලද දස්කම් හා පන්නරය විශේෂ කාර්ය බලකායට එක්වීමට සෘජු බලපෑමක් විය.

ශ්‍රී ලංකා පොලීසියේ පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිටියදී ඇය ඇතුළු තවත් කාන්තාවන් 10ක් විශේෂ කාර්ය බලකා ඒකකයේ පළමු නිලධාරිනියන් කණ්ඩායමට තෝරාගත්තේ 97 වසරේ මැයි මාසයේයි. තරමක් අසීරු රළු පුහුණුවක් වන ‍මෙහිදී යුද පුහුණුවක්, අවි පුහුණුවක්, කැලෑ පුහුණුවක් (Jungle Traning) ලබයි. මෙහිදී වඩාත් ම ඔප් නැංවෙන්නේ විනයයි.

“පැරා මිලිටරි ට්‍රේනිං එක ලැබ විසිර යාමේ පෙළපාලියෙන් පස්සෙ මම ගියේ විශේෂ කාර්ය බලකායේ පොතුවිල්හි ආරුගම්බේ වෙතයි. නැගෙනහිර ප්‍රදේශයේ යුදමය වාතාවරණයේ සිදුවීම් සජීවීව අත්දකිමින් ජීවිතයට බොහෝ දේ එකතු කරගන්නට මට හැකිවුණා.

මේ කාලයේ දී ටයිකොන්ඩෝ ක්‍රීඩාව හා එකතුවීම මට වෙනස්ම අත්දැකීමක් වුණා. එහිදී ජාතික තලය දක්වාම ගොස් පසුව සාෆ් ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමක් දිනා ගන්නට හැකි වීම විශේෂත්වයක්. විශේෂ කාර්ය බලකායට ක්‍රීඩා අංශයෙන් සුවිශේෂ ජයග්‍රහණ ලබමින් කීර්තියක් අත්පත් කර දෙන්නටත් මට හැකිවුණා.

විශේෂිත රාජකාරීවල නියැළෙමින් සිටිය දී වඩාත්ම කැමැත්ත දැක්වූයේ ප්‍රභූ ආරක්ෂක රාජකාරියටයි. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනයන්ගේ ආර්යාව ඇතුළුව තවත් ආර්යාවන්ට, විදේශ රටවලින් පැමිණෙන නියෝජිතයින්ගේ ආර්යාවන්ට ප්‍රභූ ආරක්ෂාව සැපයීම මම ඉටු කළේ ඉතාමත් ඕනෑකමින්."

විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේ සහය උපදේශිකාවක ලෙස පසු පරපුරට මනා පුහුණුවක් ලබාදීම ද ඈ අතින් ඉටුවිය. 2002 දී කාන්තා පොලිස් පරීක්ෂක තනතුරට, 2014 දී කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙසට පත්වෙයි. ඒ වන විට ඇය පොලිස් මූලස්ථානයේ තොරතුරු තාක්ෂණ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළාය.

"විශේෂ කාර්ය බලකා කටුකුරුන්ද පුහුණු පාසලේ දී ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ පාඨමාලාව ද හැදෑරුවා. මෙය ද තරමක් අසීරු පාඨමාලාවක්. ඩිප්ලෝමා පාඨමාලා, මානව හිමිකම් පිළිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හදාරා තිබෙන මම මේ වන විට මානව හිමිකම් පිළිබඳ පශ්චාත් උපාධිය හදාරමින් සිටිනවා."

විශේෂ කාර්ය බලකායේ කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියක ලෙස දැන් ඇය තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධීක්ෂණ කටයුතු, අණදෙන නිලධාරිතුමාගේ පාලක රාජකාරි හා කාන්තා නිලධාරිනියන්ගේ කටයුතුවල නියැළෙයි. පොලිස් සේවයේ ඉදිරි තනතුරු සඳහා ක්‍රමයෙන් ළඟාවීම ඇගේ අභිප්‍රායයි.

රාජකාරි කටයුතුවලින් පරිබාහිරව ගත් කළ ඇය දියණියක්, සොහොයුරියක්, බිරියක්, මවක් ලෙස තම ආදරණීයයන් හා එක්ව සිටින සොඳුරු සිතැත්තියකි. "මගේ මව හෝමාගම විවිධ සේවා සමූපකාර සමිතියේ සාමාන්‍යාධිකාරිනියක වූ අතර අප්පච්චි පළාත් සභා, පළාත් පාලන හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයෙක්. අප්පච්චි දැනට ජීවතුන් අතර නැහැ."

ඇගේ වෘත්තීමය ජීවිතය ඉහළට ඔසවා තබමින් මේ දක්වා ආ ගමනේ සවිමත් අත්වැල වූයේ ඇගේ දයාබර සැමියා අමල් අමරසිංහයි. ඔහු පෞද්ගලික සමාගම විධායක නිලධාරියෙකි.

"වසර විස්සක කාලයක් දිවෙන විවාහ දිවියේ දී මගේ සැමියා ලබාදෙන සහයෝගයත්, ඔහු මගේ රැකියාව පිළිබඳ හොඳ අවබෝධයකින් සිටීම මට දැවැන්ත ශක්තියක්."

අවුරුදු 20ක් හා අවුරුදු 17ක් වූ දෙව්මි සහ ආකේශී දියණිවරුන්ට ඈ ආදරණීය මවකි.

වෘත්තීමය ජීවිතයෙන් පරිබාහිරව ගත් කළ ඇය යහපත් බිරියකි, මවකි. වෘත්තීය ජීවිතයේදී ඇය සෙසු නිලධාරීන් හා සහෝදරත්වයෙන් සහයෝගයෙන් බැඳුණු චරිතයකි.