කවරය සරසන රයිනි සහ දර්ශන්

පෙබරවාරි 21, 2022

මෙවර තරුණී කවරය සැරසෙන්නේ සංගීත පවුලක දියණියකගේ සහ නවක රංගන ශිල්පියකගේ රුවෙනි. කවරය හැඩ කරන ඇය රූකාන්ත ගුණතිලකගේත් චන්ද්‍රලේඛා පෙරේරාගෙත් වැඩිමල් දියණියයි.

ඇය රයිනි ගුණතිලක. වසර හතකට පසු නැවතත් ඇය නව මුහුණුදරකින් ඇගේ හඬ අවදි කරලා. ඒ 'කළුවරට බය හින්දා' ගීතය දමිළ මුහුණවරකින් ගායනා කිරීමෙන්. මේ ඒ පිළිබඳ කතා බහයි.

පසුගිය කාලයේ රයිනි අලුත් නිර්මාණයකට දායක වුණා..

ඔව්, වසර ගණනාවක් නිහඩව ඉඳලයි මං අලුත් නිර්මාණයකට සම්බන්ධ වුණේ. කළුවරට බය හින්දා". ගීතය නිර්මාණය කරලා ඉවර වුණාට පසුව මට හිතුණා ඒකට දෙමළ වර්ෂන් එකක් තියෙන්න ඕනේ කියලා. මොකද ගීතයේ වැඩියෙන්ම ඇහෙන්නේ දකුණු ඉන්දියානු සංගීතය. මේ ගීතයේ තනුව නිර්මාණය කළේ දිනේෂ් ගමගේ. සංගීත සංයෝජයන අමිත් ගුරු. සිංහලෙන් ගීතය ලිව්වේ මනුරංග විජේසේකර, දෙමළ ගීතය ලිව්වේ පොතුවිල් අස්මින්. මේ ගීතයේ රූප රචනයත් එතරම්ම විශේෂයි.

රූප රචනය ගැනත් කතා කරමු.

රූපරචනාව නිර්මාණය කළේ දමිළ ආභාෂය සහිතවයි. මට අවශ්‍ය වුණේ වෙනස්ම මුහුණුවරකින් මිනිස්සු මාව දකින්න සහ මාව පේන්න. ඉතිං මේ රූප රචනයට මට දමිළ කෙනෙක් වෙන්න සිදු වුණා.

සතීෂ් රත්නරාජා අධ්‍යක්ෂණය කරලා ලස්සන රූපරචනාවක් නිර්මාණය කරලා දුන්නා.

මේ රූප රචනාවේ මාත් සමඟ රංගනයෙන් දායක වෙන්නේ දෙමළ රංගන ශිල්පියෙක්. ඔහු නමින් ටී. දර්ශන්. මෙවර තරුණී කවරයට මාත් සමඟ පෙනී ඉන්නේ ඔහු.

ඒ රූපරචනාවට මනුරංග විජේසේකරව සහ නිරංජනී ෂන්මුගරාජාවත් එකතුකර ගැනීමට හේතුව කුමක් ද?

මට ඉස්සර ඉඳන්ම ආසාවක් තිබුණා මනුරංග අයියාව වීඩියෝ එකකට සම්බන්ධ කරගන්න. ඔහුට තියෙන්නෙත් දෙමළ පෙනුමක්. ඔහු අඳින්න පළඳින්නෙත් ඒ විදිහට. මනුරංග අයියා තමයි අපි සින්දුවක් කරමු, අලුත් වැඩක් කරමු කියලා මාව නිතරම අලුත් නිර්මාණයක් කරන්න පෙළඹුවේ. නිරංජනී කියන්නේ මගේ හොඳම යාළුවෙක්. "කළුවරට බය හින්දා" ගීතයේ දෙමළ ගීතය ගායනා කරන්න මගේ භාෂාව, වචන උච්චාරණය ඔක්කොම සකස් කළෙත් ඇය. ගීත රූපරචනාවට අවශ්‍ය ඇඳුම් පැළඳුම් පවා සකස් කළේ ඇයයි.

රයිනිගේ වෙනස්ම විදිහේ නිර්මාණයක් ඉඳිරියේදීත් රස විඳින්න ලැබෙයි ද?

මාව ප්‍රේක්ෂකයෝ දෙමළ විදිහට දැක්කා. ඊට කලින් සිංහල විදිහට දැකලා තියෙනවා.

මම ඊළඟට එන්නේ වෙන පෙනුමකින් වෙන විදිහකට. මම වසර හතක් අලුත් ගීතයක් කරන්නේ නැතුව හිටියා. ඒ වසර හතට අලුත් ගීත හතක් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඡායාරූපය - ශාන් රූපස්සර

සටහන
විදුමිණි දිසාකරුණා