තමන් ළඟ ඉන්න පිරිස ගැන අවබෝධයෙන් සිටීම කාන්තාවකට ඉතාම වැදගත්

පොල් වගා කිරීමේ මණ්ඩලයේ මුල් පුටුවේ අසුන්ගත් පළමු කාන්තාව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාධවී හේරත්
මාර්තු 14, 2022

 

 පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිනිය මාධවි හේරත්

 

* පොල් සංවර්ධන අධිකාරිය - සභාපතිනිය

* පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

* කඳුරට සංවර්ධන බැංකුවේ හිටපු සභාපතිනිය

* ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ හිටපු විධායක අධ්‍යක්ෂිකා

* ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික

* පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික

* ඉඩම් කැබලි කිරීමේ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික

* කප්රුක අරමුදලේ සභාපති

 

පනස් වසරක් සපිරෙන මෙරට පොල් වගා කිරීමේ මණ්ඩලයේ මුල් පුටුවේ අසුන්ගත් පළමු කාන්තාව ඇයයි. එමෙන්ම පොල් සංවර්ධන අධිකාරියේ සහ කුරුණෑගල වැවිලි සමාගමේ මුල් පුටුවේ අසුන්ගත් පළමු කාන්තාව වන්නීද ඇයයි.

කඳුරට සංවර්ධන බැංකුවේ හිටපු සභාපතිනිය සේම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ හිටපු විධායක අධ්‍යක්ෂිකාව ද වූ ඕ මේ වනවිට ලංකා බැංකුව, පොල් පර්යේෂණ ආයතනය, ඉඩම් කැබලි කිරීමේ මණ්ඩලය යනාදියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙසින් ද කටයුතු කරන්නීය. ඊට අමතරව කප්රුක අරමුදලේ සභාපති ධූරය දරන්නේද ඇයයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාධවී හේරත් නම් වූ ඇයයි මෙවර ‘ජීවිතය අර්ථවත් කළ ඇය‘ විශේෂාංගය වෙත කැඳවාගෙන එන්නේ.

අපි මුලින්ම ඔබතුමියගේ ළමා කාලය ගැන මතක් කරමු.

“මගේ උපන්ගම හලාවත. ගැහැනු දරිවියන් හතරදෙනෙක්ම හිටපු පවුලක දෙවැන්නී මමයි. ව්‍යාපාරිකයෙක් වුණු පියා දැනට වසර තුනකට විතර කලින් ජීවිතයෙන් සමුගත්තා. අම්මා ගුරුවරියක්. අම්මා පාසලෙන් පාසලට මාරුවන සෑම අවස්ථාවකම ඇයත් සමඟ පාසල් මාරු කරන්න අපට සිදුවුණා. ඒ නිසා මගේ මතකයේ හැටියට පාසල් අටක පමණ මම අධ්‍යාපනය හදාරා තිබෙනවා.“

උසස් පෙළ සඳහා ජීව විද්‍යාව තෝරා ගන්නා ඔබ මාස කිහිපයකින් කලා විෂයය ධාරාවට මාරු වෙනවා.

“මම හැමදාමත් හිතනවා ඒක තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කියලා. ජීව විද්‍යා විෂයයන් හදාරලා මාස දහයක් විතර ගතවෙද්දි මට හිතෙනවා මේ ක්ෂේත්‍රය මට ගැලපෙන්නෙ නෑ කියලා. ඉතින් මම කලා විෂයයන් තෝරා ගන්නවා. අම්මයි, තාත්තයි මේ වෙලාවේ මගේ තෝරා ගැනීමට සහයෝගය දුන්නා මිසක් කිසිම විරුද්ධත්වයක් පෑවේ නෑ.“

මේ තීරණය නිසා ඔබ ජීවිතයේ පළමු අභියෝගයටත් මුහුණ දුන්නා.

“ඒක හරිම රසවත් කතන්දරයක්. මම ඒ වෙනකොට ඉගෙන ගත්තෙ මාදම්පෙ සේනානායක විදුහලේ. හැබැයි මේ පාසල් භූමිය ඒ දිනවල හමුදා කඳවුරකට යොදා ගත්තා. ඒ නිසා තිනිපිටිය විද්‍යාලයේ කොටසක තමයි කලා අංශයේ පන්ති පැවැත්වුණේ. තිනිපිටිය වැව මැද්දෙන් වැටුණු පාර දිගේ නෙළුම් මල් පිපුණු අසිරිය බලමින් උදේට යන පාසල් ගමන මගේ හිත ඇතුළේ තිබුණු සෞන්දර්යය හැඟීම් අවදි කළා.

මම විද්‍යා විෂයයන්ගෙන් අයින් වෙලා කලා විෂයය පන්තියට ඇතුළත් වෙද්දි එතකොට හිටපු විදුහල්පතිතුමා ඒ වසරේ උසස් පෙළ විභාගයට වාඩිවෙන්න ඉඩ දෙන්න බෑ කිව්වා. මොකද මට මාස කිහිපයක් ඇතුළත විභාගයට සූදානම් වෙන්න බැරි නිසා. නමුත් මම මහන්සි වෙලා වැඩ කරලා විභාගය පාස්වෙනවා කියලා එතුමාට පොරොන්දු වුණා. ඉතින් ජීවිතයේ මට ලැබුණු අභියෝගය ජය ගත්තේ දිස්ත්‍රික්කයෙන්ම දෙවැනියා විදිහට විභාගය සමත් වෙමින්.“

ඒ විදිහට විභාගය සමත් වුණු ඔබ විශ්ව විද්‍යාලය තෝරා ගැනීමේදීත් කොළඹ සහ පේරාදෙණිය අතර දෝලනය වුණා.

“හොඳම ප්‍රතිඵල තිබුණු නිසා මට කැමැතිම විශ්ව විද්‍යාලයකට ඉල්ලන්න හැකියාව තිබුණා. එහිදී කොළඹ නීති පීඨයට ද පේරාදෙණියේ ශාස්ත්‍ර පීඨයටද කියන තෝරා ගැනීම අතර දෝලනය වෙද්දි මට තාත්තා කිව්වෙ “පුතේ ඔයා හොඳට හිතලා තීරණයක් ගන්න“ කියලයි. ඉතින් අන්තිමට මම පේරාදෙණිය තෝරාගෙන ආර්ථික විද්‍යා විශේෂවේදී උපාධියක් කළා. හොඳම ප්‍රතිඵල ලබාගත් තිදෙනා අතරට එකතු වුණු නිසා සහය කථිකාචාර්යවරියක විදිහටත් කටයුතු කරන්නත් හැකියාව ලැබුණා. දැන් මම මේ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක්.

 

තනතුරු කොයිතරම් ලැබුණත් දරුවන්ට දැනුම බෙදා දෙන්න ලැබෙන මේ අවස්ථාව මම මඟ හැරියේ නෑ.“

ඔබේ ආදරණීය සැමියා හමුවෙන්නෙත් මේ සරසවි බිමේදීමයි.

“සරසවි ප්‍රේමය විවාහයකින් කෙළවර කරන්න තරම් අපි වාසනාවන්ත වුණා. අපේ ලොකු පුතා පරිගණක මෘදුකාංග ඉංජිනේරුවකු විදිහට උසස් අධ්‍යාපනය හදාරනවා.

චූටි පුතා අ. පො. ස. සාමාන්‍ය පෙළ සඳහා සූදානම් වෙනවා.

ඔබ කාන්තාවක් විදිහට හරිම කාර්යබහුලයි. වගකීම් සහගත තනතුරු කිහිපයක් උසුලන වෘත්තිය කාන්තාවක් වගේම ගෘහණියක්, බිරියක්, මවක් හැටියටත් ඔබ වෙත පැවරුණු වගකීම් සමුහයක් තිබෙනවා.

“කොච්චර තනතුරුවල ඉහළට ගියත් ගෙදරදි ගෘහණිය, බිරිය, මව කියන චරිතවලින් මිදෙන්නට අපිට බැහැ. මවක්, බිරියක් විදිහට මගේ යුතුකම් සහ වගකීම් මහ ඉහළින්ම ඉටුකරන්නටයි මම වැඩියෙන්ම කැමැති.

මේ හැමදෙයක් හොඳින් ඉටු කරන්න නම් අපි කාලය නිසි ලෙස කළමනාකරණය කරගත යුතුමයි.

ඒවාගේම මගේ කාර්යභාරය හරිම සතුටින් ඉටුකරන කෙනෙක්. මගේ සැමියාගේ වෘත්තියත් එක්ක ඔහු හරිම කාර්යබහුලයි. ඒ නිසා නිවෙසේ කටයුතු වාගේම දරුවන්ගේ වැඩ කටයුතු ගැන හොයා බලන්න ඕනේ. තරමක් කාර්යබහුල වුවත් හරිම සාමකාමී පවුලක් තමයි මම ගොඩනඟාගෙන තිබෙන්නෙ.“

කොයිතරම් කාර්යබහුල වුණත් ඔබට විනෝදාංශ කිහිපයක්ම තියෙනවා.

"මගේ පළමු විනෝදාංශය තමයි ගීත රචනය. දැනට ගීත 13ක් විතර නිකුත් වෙලත් තියෙනවා. අමරසිරි පීරිස්, වික්ටර් රත්නායක, දීපිකා ප්‍රියදර්ශනී, නිරෝෂා විරාජිනි වාගේ ප්‍රවීණ ගායක ගායිකාවන් මේ ගීත ගයනවා.

ඊට අමතරව මගේ කෙටිකතා එකතුව 'එළිසබෙත් නොමැරී මළාය' නමින් එළිදැක්වූවා. එහි දෙවැනි පොත වාගේම ගීත පොතකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කැමරාකරණයේ යෙදෙන්නත්, ඒ පිළිබඳ වැඩිදුර හදාරන්නත් මම කැමැතියි. මේ සියල්ලටම වඩා මගේ කැමැත්ත තියෙන්නෙ එයාර්ෆයරින්වලට. ඒ කැමැත්ත කොයිතරම් ද කියනවා නම් එයාර්ෆයරින් පිළිබඳ පුහුණුවක් පවා මම ලබාගත්තා."

කාන්තාවන් ගැන වැඩියෙන් කතාබහ කරන මේ මාසයේ ඔබටත් අපේ කාන්තාවන්ට කියන්න යමක් ඇති.

"අපේ බොහොමයක් කාන්තාවන් ඉන්නෙ තමන් ගැහැනියක්වීම පිළිබඳ කනගාටුවෙන්. එහෙම වෙන්න අවශ්‍ය නැහැ. ඔබ පිරිමියෙක් වාගේ හැමදේම දරාගෙන වැඩ කළයුතු යැයි මම කියනවා නෙවෙයි මේ. ගැහැනියක ලෙස ඔබ ඔබගේ හැකියාව, ශක්තිය හඳුනාගන්න. ඔබ කවුදැයි ඔබම හඳුනාගන්න. මම කාන්තාවක් කියා කවුරුත් විශේෂ අවස්ථා බලාපොරොත්තු වෙන්නත් එපා.

ඒ වගේම තමයි ඔබ මවක්, බිරියක් කියන චරිතවල හිරවෙන්නත් එපා. ඔබ සතු දක්ෂතාවලින් ප්‍රයෝජන ගන්න. ලස්සනට අඳින්න පලඳින්න. ඔබ කැමැති විනෝදාංශයක නියැලෙන්න. ඔබ වෙනුවෙන් කාලය වෙන් කරගන්න.

අපේ කාන්තාවන් බොහොමයක් රැකියාවල නියුතු වෙනවා. ඒ නිසා ඔවුන් හරි කාර්යබහුලයි. හැබැයි මේ කාර්යබහුල බව නිසාම බොහෝ කාන්තාවන් මානසික ආතතියෙන් පෙළෙනවා. නමුත් කාලය කළමනාකරණය කරගෙන ඔබේ වැඩ කටයුතු සමබර කරගන්නවා නම් හැමදාමත් සතුටින් ඉන්න පුළුවනි.

ගැහැනියකට තමන් වටා සිටින පිරිස ඇය ගැන ඇති අවබෝධය හරිම වටිනවා කියලා ඔබ විශ්වාස කරනවා.

"සත්තකින්ම. කාන්තාවකට ඉතාම වැදගත් තමන් ළඟ ඉන්න පිරිස ඇය ගැන අවබෝධයෙන් සිටීම.

ඔබ දියණියක් නම් ඔබ ගැන මව, පියා නිසි අවබෝධයෙන් සිටීම හරිම පහසුවක්. එවිට ඔබේ හැකියාවන් වැඩි දියුණු කරගත හැකියි. විවාහ වූ පසුව ඔබේ ස්වාමිපුරුෂයා ඔබ ගැන නිවැරැදි අවබෝධයෙන් පසුවීම මොනතරම් පහසුවක්ද? ඒ අවබෝධය තමයි යුග ජීවිතයක පැවැත්ම වෙන්නෙ. පවුලේ දියුණුව බවට පත් වෙන්නේ. ඒ වගේම ඔබත් ඔබේ සැමියා නිවැරැදිව අවබෝධ කරගන්න. සිතුම්, පැතුම්, රුචිකත්ව නිසි ලෙස අවබෝධ කරගන්නේ නම් පවුල් ජීවිත තුළ ගැටලු ඉතා අවමයි."

 

 

ඡායා - ශාන් රූපස්සර