අවුරුදු දාහතක බැංකු රැකියාව අතඇරලා තමයි ඇඟළුම් ක්ෂේත්‍රයට පිවිසුනේ

මාර්තු 21, 2022

දිලේෂා පෙරේරා - කොළඹ වාණිජ මණ්ඩලයේ ලේකම් හා

La Vivente ආයතනයේ අධ්‍යක්ෂිකා

 

සෑම කාන්තාවකටම නිර්මාණශීලීත්වය උරුමව ඇත්තේ උපතින්මය. ඒ හැකියාවෙන් යා හැකි දුර අනන්තය. එහෙත් බොහෝ කාන්තාවන්ට ඇති හැකියාව හඳුනා නොගැනීම අවාසනාවකි. බොහෝ දෙනකු තමුන්ගේ ආර්ථික පසුබිම නිර්මාණය කර ගැනීමට නොහැකිව ළතැ වෙති. මේ සියල්ලට වඩා ඇයට මඟ පෙන්වන්නට කෙනකු නොසිටීම ප්‍රධාන ගැටලුවකි.

කාන්තාවකට තම පවුලේ ආර්ථිකයට ශක්තියක් වෙමින් යමක් ආරම්භ කිරීමට මඟ පෙන්වීම ලබා දෙන්නට හැකි නම් එය වර්තමානයේ වටිනාම කටයුත්තකි.

එසේම එය ඇයට පමණක් නොව ඒ වෙනුවෙන් දායකවෙන තැනැත්තාට ද විශාල ආශීර්වාදයකි. ඇය මේ වටිනා මෙහෙවර වෙනුවෙන් ඉදිරිපත්වන්නේ අපට විදේශ විනිමය ඇවැසි මොහොතකය. එසේම අපේ රටේ ආර්ථිකයට කිසියම් වූ දායකත්වයක් ඇවැසි කාලයකය.

මේ සියල්ල මැනවින් හඳුනාගනිමින් ඇය ඇඟලුම් ක්ෂේත්‍රය නව මානයක් කරා රැගෙන යන්නේ අන්තර්ජාතික මට්ටමේ රෙදිපිළි නිපදවීමේ කටයුත්තට ශක්තියක් වෙමිනි. බැංකු ක්ෂේත්‍රයේ කළමනාකරණ නිලධාරිනියක් දක්වා උසස්වීමක් ලබා තිබියදී ඇයත් සැමියාත් දෙදෙනාම බැංකු ක්ෂේත්‍රයේ රැකියාවට තිත තබමින් ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසීම විශ්වාස කළ නොහැකි සිදුවීමකි.

අභියෝගයන්ට මුහුණ දෙමින් ජය ගනිමින් ඇය ව්‍යාපාර ක්ෂේත්‍රය ඉතාම සාර්ථක ලෙසින් ජය ගෙන ඇත්තේ ආදර්ශමත් ව්‍යවසායිකාවක ලෙසිනි.

දිලේෂා පෙරේරා... ඇය කොළඹ වානිජ මණ්ඩලයේ ලේකම්වරියයි. එසේම ඇය 2021 වසරේදී SLIM Brand Excellence Awards තරගයෙන් කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් සඳහා වූ රන් සම්මානය හා අලුතින් වෙළෙඳපොළට හඳුන්වා දුන් සන්නාමය සඳහා ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය. වසර 14ක කාලයක් ආ ගමනේදී ඇය ලැබූ අත්දැකීම් අප සමඟ බෙදා ගත්තේ මෙලෙසිනි.

“අපේ ඇඟලුම් නිෂ්පාදනය කරන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුකූලවයි. ඒ ගැන විශාල අධ්‍යයනයක් කරලා තමයි අපි මේ ක්ෂේත්‍රයට පිවිසුණේ. මට මුලින්ම මේ ඇඟලුම් කර්මාන්තය පටන් ගන්න ප්‍රාග්ධනයක් තිබුණේ නැහැ. මම රැකියාව කළේ බැංකු ක්ෂේත්‍ර‍ෙය්. ඒ කාලේ මට ලොකු වැටුපක් ලැබුණේ නැහැ. නමුත් මගේ සැමියාගේ සහයෝගය ඇතුව ටිකින් ටික පියවරෙන් පියවර තමයි අපි මේ ව්‍යාපාරය දියුණු කළේ. අපේ නිෂ්පාදන ආරම්භ කළේ 2007 අවුරුද්දේ.

අපි එකතුකරගත්තු සුළු මුදලක් තිබුණා. ඒ මුදලින් පුංචියට ගාමන්ට් ෆැක්ටරියක් පටන් ගත්තා. අපි දෙන්නාම රැකියා කරන නිසා ඒ ෆැක්ටරිය සාර්ථකව කරගෙන යන්න අපහසු වුණා. අපි නැතුව සේවකයන්ගේ ඵලදායිතාවය අඩුයි. නිෂ්පාදන ධාරිතාවය අඩුයි.

ඒ නිසා අපි ඒ ෆැක්ටරිය නවතා දැමීමට තීරණය කළා. ඒත් අපිත් එක්ක හිටිය දක්ෂ දරුවෝ අතරමං කළේ නැහැ. ඒ අයට ගෙදර ඉඳන් මේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන් ක්‍රමයක් හැදුවා.

අපි ඒ දරුවන්ට පොළී රහිත ණයක් දුන්නා. ඒ අයට කළමනාකරණය ගැන පුහුණුවක් දුන්නා. කවදා හරි තනියෙන්ම ඒ ව්‍යාපාරය කරගෙන යන ආකාරයට. අපි ඒ අය නිෂ්පාදනය කරන ඇඟලුම් මිලදී ගන්නා ක්‍රමයක් හැදුවා.

ඒ අයට ෆැටන් එක නිර්මාණය කරලා රෙදි කපලා දෙනවා.

ඒ අය මහලා දෙනවා. ඔවුන්ට වගකීමක් තියෙනවා ඒ අයගේ ව්‍යාපාරය දියුණු කර ගන්න. වැඩිපුර මැහුවොත් ඒ අයට ලොකු මුදලක් ලැබෙනවා. ඒ වගේ අපිත් එක්ක වැඩකරන ඒකක 20ක් පමණ තියෙනවා. ගාල්ල, මාතර, ඇඹිලිපිටිය, පල්ලබැද්ද, කොතලාවල, වැලිවේරිය, නුගේගොඩ ප්‍රදේශවල තමයි ඒ අය ඒ කර්මාන්ත කරගෙන යන්නේ.

ඇත්තටම මේක ව්‍යාපාරයක් විතරක්ම නොවෙයි. සමාජ සුබසාධන ව්‍යාපෘතියක් ආකාරයටයි ක්‍රියාත්මක වෙන්නේ. අපි දෙන්නම බැංකු ක්ෂේත්‍රයේ නිලධාරින් ලෙස සේවය කරපු නිසා අප මේ ව්‍යාපාර කරගෙන යන්නේ අධ්‍යයන මට්ටමේ ව්‍යාපාරයක් ලෙසයි.

අැත්තටම කෙටි කාලයක් තුළ අපි ඇඟළුම් ක්ෂේත්‍රෙය් මේ තරම් දුර ගමනක් ආවේ ඒ නිසයි.“

රුපියල් 2500ක මූලික පඩියකින් තම බැංකු ක්ෂේත්‍රයේ රැකියාව ආරම්භ කළ දිලේෂාගේ 'La Vivente' ව්‍යාපාරය ගාල්ල, කොස්වත්ත හා මීගමුව යන ශාඛා තුනක් හා කුඩා ඒකක 20කට වැඩි ප්‍රමාණයකින් යුතුව පවත්වාගෙන යන්නේ ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය යන රටවලට ද තම නිෂ්පාදන සපයමිනි.

මෙලෙසින් දියුණුව කරා ආ ගමන්මගේදී ඇය ලැබූ අභියෝග හා බාධක ජය ගත් ආකාරය ගැන ද සඳහන් කළේ මහත් අධිෂ්ඨානයෙනි.

“අපි පදිංචිවෙලා හිටියේ මාලඹේ. මම පුංචි කාලේදී මගේ පියා රෝගාතුර වෙනවා. මම පාසල් ගියේ කොළඹ මියුසියස් විද්‍යාලයට.

උසස් පෙළ කරන කාලය වෙනකොට අපට ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණ දෙන්න වුණා. ඒ අවස්ථාවේදී පාසලෙන් ලැබුණු ශිෂ්‍යත්වයකින් තමයි මම ඉගෙන ගත්තේ.

ඒ අවස්ථාව ලැබුණේ පාසලේ හැම බාහිර ක්‍රියාකාරකමකදීම මම ඉදිරියෙන් හිටිය නිසයි. කොහොම හරි මම වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් වෙලා ජයවර්ධනපවුර විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා.

ඊට පස්සේ පශ්චාත් උපාධිය කැලණිය විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තා.

මූල්‍ය කළමනාකරණය තමයි ආචාර්ය උපාධිය. ඊට පස්සේ තමයි මම බැංකු ක්ෂේත්‍රයට පිවිසියේ. ඒ ක්ෂේත්‍රයේ අවුරුදු 17ක අත්දැකීමක් තියෙනවා.

එදා රුපියල් 2500ක පඩියකට බැංකු ක්ෂේත්‍රයට එකතුවුණු මම උසස් බැංකු කළමනාකාර තනතුර දක්වා ගමනක් ඇවිත් තමයි බැංකු ක්ෂේත්‍රයෙන් සමු ගත්තේ.

මගේ සැමියා සුනෙත් කෝරාල. එයත් බැංකු ක්ෂේත්‍රයේ අවුරුද 20ක් සේවය කළා. අපි දෙන්නම ඉවත් වෙලා පටන් ගත්තු ගමන තමයි මේ තරම් දුරක් ආවේ.

අපේ ප්‍රධානම ව්‍යාපාරය තමයි දේශීය වෙළෙඳපොළට ගැළපෙන ඇඳුම් විලාසිතා නිර්මාණය කරලා ඒවා දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළට හඳුන්වාදී. අපේ La Vivente කියන නිෂ්පාදන මධ්‍යම පාංතික කාන්තාවන් අතර තමයි වැඩියෙන්ම ජනප්‍රිය.

අපි ඇත්තටම සාධාරණ මුදලකට වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම තමයි ඉලක්කය. ඒ නිෂ්පාදන හැම වෙලාවෙම අමතර වටිනාකමක් ඇති නිර්මාණයක් සමඟ තමයි දේශීය වෙළෙඳපොළට ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදනයක් ලෙසින් හඳුන්වා දෙන්නේ. දැනට අපේ සේවක මණ්ඩලය 40ක්. ඊට අමතරව අපේ නිෂ්පාදන ශාඛා ජාලයේ 150ක කාන්තාවන් පිරිසක් සිටිනවා.

අපි ඒ ආකාරයට දැනටමත් රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් නිර්මාණය කරලා තියෙන්නේ."