ගුරුවරුන් වෙනදාටත් වඩා නිර්මාණශීලී විය යුතුයි

ආසියාවේ විශිෂ්ටතම ගුරුවරිය ලෙසින් සම්මානයට පාත්‍ර වූ ලංකාවේ නිලූ ආනන්දප්පා
මැයි 2, 2022

 

 

දරුවන් ගුරුවරුන්ට වඩා තාක්ෂණික දැනුමෙන් ඉදිරියට ගිහින්

 

 

 Global - excellence Award 2020

A Royal Honour

(Global Digital Academy - 29 Countries)

Asia Outstanding Teacher of the year 2020 / 2021

(World Research Congress - 54 Countries)

Bwlo Awards USA / Srilanka

(SpeciaL Recognition Award)

Mihimandala Awards Srilanka

(Outstanding Recognition Award)

The Edupreneur of the year 2021

(Women Icons in Association with Times Women)

Young Women Leadership Award - Education

South Asian Excellence Awards 2021

(South Asian Partnership Summit) (SAPSA)

 

මෙලොව එළිය දුටුව දිනයේ සිට මව් ඇකයේ උණුසුම විඳිනා පුංචි දරු පැටවුන් මුල්වරට ඇයගෙන් වෙන් වන්නේ පෙර පාසලට එහෙමත් නැතිනම් පාසලට පියනැගීමටයි. සිය දෙවැනි නිවහන වන මේ විදුපියසේ දී ඔවුන් පිළිගන්නේ තවත් ආදරණීය මවකි.

 

මල් කැකුළුවන් මේ පුංචි පැටවුන් හුරතල් කරමින්, සනසමින් සිප්කිරි පොවනා ඕ ඊට අමතරව එක් එක් දරුවන්ගේ විවිධ දක්ෂතා හඳුනාගන්නීය. අනතුරුව ඒ දක්ෂතා තවත් ඔප මට්ටම් කරගන්න සහය වන්නීය. එබැවින් ගුරුමව් වූ කලී දරුවකුගේ දෙවැනි මවයි.

එවැනි උත්තරීතර පදවියකට උරුමකම් කියනා මේ ගුරු වෘත්තිය ජාත්‍යන්තරය තුළ අභිමානයට ලක් කළ අපූරු ගුරුතුමියක් ගැනයි අද අපි ඔබට කියන්නේ. ‘ආසියාවේ විශිෂ්ටතම ගුරුවරිය‘ ලෙසින් සම්මානයට පාත්‍ර මෙරට පළමු ගුරුතුමිය වූ ඈ නිලූ ආනන්දප්පා. ලෝක පර්යේෂණ සම්මේලනය, BWIO USA, SAPS, Women Icon වැනි ආයතන හරහා ද සම්මානනීය වූ ඇයයි මෙවර ‘ජීවිතය අර්ථවත් කළ ඇය‘ කතාබහට එක්වන්නේ.

 

ආසියාවේ විශිෂ්ටතම ගුරුවරිය වූ ඔබ ගුරුතුමියක් වන්නට පෙර සිසුවියක්. අපි ඒ ඔබේ ළමා කාලය ගැන කතා කරමු.

"මගේ උපන්ගම මීගමුව. ආවේ මරියා බාලිකා විද්‍යාලයෙන් තමයි උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවේ. අපේ පුංචි පවුලේ එකම දරුවා වුණේ මමයි. බැංකු නිලධාරියෙක් වුණු තාත්තා රැකියාවේ කටයුතු එක්ක කාර්යබහුල වෙද්දි අම්මා තමයි මාත් එක්ක හැමදේටම ආවේ ගියේ."

 

පුංචි කාලේදි ඔබ වැඩි දක්ෂතා දැක්වූවේ සංගීතය විෂයයට.

"අනේ ඔව්. අධ්‍යාපන කටයුතුවලට වඩා මම ගොඩක් නැඹුරු වුණේ සංගීත කටයුතුවලට. සංගීත අංශයේ විවිධ තරගවලට ඉදිරිපත් වෙන එක මට හරිම සතුටක්. ඒ විතරක් නෙමෙයි වසර ගණනාවක් අපේ පල්ලියේ ඕගන් එක වාදනය කළේ මම. ඉතින් කවදාහරි සංගීතයෙන් ඉහළට යනවා කියලයි හිතුවේ."

 

ඒ සිතිවිල්ල වෙනස් වුණේ කොහොමද?

"මම හතේ, අටේ වාගේ පන්තිවල ඉගෙන ගනිද්දි මගේ අම්මා, තාත්තා ගැන මාර දුකක් හිතුණා. මොකද වාර විභාගවලදි හොඳට ලකුණු අරන් මව්පියන් ඉදිරිපිට අනෙක් ළමයි කුසලාන ලබාගනිද්දි ඒ සතුට මගේ අම්මාට, තාත්තාට ලබාදෙන්න බැරිවීම ගැන කනගාටුවක් දැනුණා. ඒ නිසා කොහොම හරි අධ්‍යාපන කටයුතු හොඳට කරලා එයාලට සතුටක් ලබා දෙන්නයි මට අවශ්‍ය වුණේ."

 

හැබැයි අම්මගේ ආසාව වුණේ ඔබ විද්‍යා විෂයයන් කරලා වෛද්‍ය වෘත්තියට යොමු වෙනවට.

"ඔව්... ඔව්. අම්ම ඉතින් මගේ පස්සෙන්ම හිටපු කෙනානේ. ඇය නිසාම මම උසස් පෙළ සඳහා විද්‍යා විෂයයන් තෝරා ගත්තා. නමුත් මගේ කැමැත්ත වුණේ උදේ 8.00ට වැඩට ගිහින් හවස 5.00ට ගෙදර එන කාර්යාලයක වැඩ කරනවාට වඩා ගුරු වෘත්තියට. එයිනුත් ප්‍රාථමික අංශයේ දරුවන්ට උගන්වන්නයි ලොකුම කැමැත්ත වුණේ. ඒ නිසා ගුරුවරියක් වීමට අවශ්‍ය සුදුසුකම් සපයාගන්නයි මම උනන්දු වුණේ."

 

ඔබ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක්.

"මම දැන් වැඩ කරන්නේ NICE ජාත්‍යන්තර පාසලේ ප්‍රාථමික අංශයේ. දැනට දෙවැනි වසර භාර ගුරුතුමිය හැටියට කටයුතු කරනවා. ඊට අමතරව ගණිතය, ඉංග්‍රීසි, ඉතිහාසය, විද්‍යාව, භූගෝල විද්‍යාව සහ සංගීතය විෂයයන් උගන්වනවා."

රජයේ පාසලක් වෙනුවට ජාත්‍යන්තර පාසලක් තෝරාගන්නට විශේෂ හේතුවක් තිබුණාද?

"ලංකාවේ සෑම පාසලක්ම වැඩ කරන්නෙ විෂයය නිර්දේශය ඉලක්ක කරගෙන. ඉතින් බොහොමයක් දරුවෝ කරන්නෙ පොත් කටපාඩම් කරන එක. වාර විභාගයක් ආසන්න වෙද්දි දරුවෝ විතරක් නෙවෙයි මව්පියන් පවා විභාග භීතිකාවෙන් පෙළෙනවා. හැබැයි මේ පාසලේ පහ වසර දක්වා වාර විභාග නැහැ. අන්තිම වාරයේ තමයි පුංචි විභාගයක් පවත්වන්නේ. ඇත්තටම විභාග කිව්වට ඒවා විභාග නෙවෙයි. පුංචි පුංචි ක්‍රියාකාරකම්. මේ පාසලේ ගොඩාක් වෙලාවට සිදු වෙන්නෙ ව්‍යාපෘති පාදක කරගත් ඉගැන්වීම් ක්‍රමයක් නිසා ඒකට මම හරිම කැමැතියි. මොකද ලංකාවේ සිදුකෙරෙන සාම්ප්‍රදායික ඉගැන්වීමේ රටාව දැන් වෙනස් වියයුතුයි කියලයි මම නම් හිතන්නේ.

ඊට අමතරව මේ පාසලේ වැඩි වශයෙන් ඉගෙනුම ලබන්නෙ විදේශීය දරුවන්. ඔවුන් හරිම විවෘතව අදහස් දක්වනවා. ඇත්තටම ඔවුන්ගෙන් බොහෝ දේවල් අපට ඉගෙන ගන්නට පුළුවනි."

සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් මිදිය යුතුයි යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?

"ඇත්තටම කිව්වොත් අපිට තියෙන්නෙ පොතේ තියෙන දේ කටපාඩම් කරලා විභාග ලියන අධ්‍යාපන ක්‍රමවේදයක්නෙ. ඉතින් අපේ බොහොමයක් ගුරුවරුන් මේ ක්‍රමයට අනුගතයි. නමුත් වර්තමාන දරුවන් හරිම විචාරශීලීයි. ඔවුන්ට තාක්ෂණික මෙවලම් භාවිත කළහැකි දැනුමක් තියෙනවා. ගුරුවරයාටත් වඩා ඉදිරියෙන් ඉන්න දරුවෝ ඉන්නවා. ඒ නිසා ගුරුතුමිය වෙනදාටත් වඩා නිර්මාණශිලී වියයුතුමයි. පොතේ දැනුම හෝ අධ්‍යාපන සුදුසුකම් පමණක් ඊට ප්‍රමාණවත් නෑ. සෑම දරුවකු තුළම ආකල්පමය වශයෙන් දියුණුවක් ඇති කරන්න නම් ගුරුවරයාත් ආකල්පමය වෙනසක් ඇති කරගත යුතුමයි."

 

ඔබේ පුංචි පවුල ගැනත් විස්තර කියන්න.

"මගේ සැමියා ගිහාන් සේවරායන්. බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කරනවා. ලොකු පුතා ජොවෙල් අවුරුදු එකොළහයි. චූටි පුතා ජෙරම්ට අවුරුදු දහයයි. මහත්තයා වාගේම මගේ දරුවන් මේ රැකියාවේ ස්වභාවය හොඳින් තේරුම් අරගෙනයි ඉන්නෙ. ඇත්තටම කිව්වොත් මම ගෙදර ඉන්නෙ කෙටි කාලයයි. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් කිහිප දෙනෙක් සමඟ කටයුතු කරන නිසා මගේ දරු දෙදෙනා වෙනුවෙන් වැය කරන්න තියෙන්නෙ සීමිත කාල වේලාවක්. හැබැයි ඒ කාලය තුළ මම උපරිමයෙන් එයාලා එක්ක වැඩ කරනවා. මගේ වැඩවලට එයාලත් උදව් කරනවා. විශේෂයෙන්ම මම මේ අන්තර්ජාතික තරගවලට ඉදිරිපත් වෙද්දි එයාලා මට ලොකු සහයෝගයක් දුන්නා. මම සතුටුවෙන ආකාරයට එයාලගේ අධ්‍යාපන කටයුතුවල නියැළෙනවා. මගේ සැමියාත් මාව තේරුම් අරන් පුතාලත් එක්ක මට සහය වෙනවා. ඒක ඇත්තටම මට

ලොකු සහනයක්."

 

ඉදිරි බලාපොරොත්තු ගැන කතා කළොත්.

"විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පාසලක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. ඊට අමතරව මේ දිනවල ව්‍යාපෘති කිහිපයක් කරගෙන යනවා. ඒවා සාර්ථක කරගැනීමයි මගේ අරමුණ. මොකද මම

 

හැම තිස්සෙම හිතනවා තමා විසින්ම තමා තුළ පෙළඹවීමක් ඇති කරගත යුතුයි කියලා."

 

 

ඡායාරූප - ශාන් රූපස්සර