අම්මා පෙවූ කිරිවල ණය ගෙවන්නට මේ ජීවිත කාලයත් මදී

මව්වරුන්ගේ දිනයට පසු සටහනක්
අම්මාවරුන්ගේ දිනය නිමිත්තෙන්
මැයි 16, 2022

ළදරු වියේ දී අම්මා ඔබේ මුහුණට සිනහා ගෙන ආ විලස අද ඔබ අම්මාගේ මුහුණට සිනහවක් ගෙන දෙන්න. එයයි ඔබ අම්මාට කරන උතුම්ම සත්කාරය.

 

දරුවකුගේ දෙසවනට මිහිරිම වූ හඬක් වේ නම් ඒ අම්මාගේ හඬයි. දහසක් රැවුම් ගෙරවුම් අතර දයාර්ද බැල්මක් වේ නම් ඒ අම්මාගේ බැල්මයි. මුළු ලොවම තමන් අත් හැරි දිනෙක තනියට කෙනෙක් වේ නම් ඒ අම්මාය. අම්මා තරම් දරුවකුට සෙනෙහස පුදන අයෙක් ලොව නැත.

 

දුකක් කරදරයක් වුණු මොහොතක නොහිතාම කියැවෙන වචනයක් වේ නම් එය 'අම්මා' වන්නේ ඒ නිසාමය. ඒ ආදරයේ, දයාවේ උල්පත 'අම්මා' නිසාමය. දස එකඩ මසක් කුසදරා අප වෙනුවෙන් සියලු දුක් වින්දේ, වේදනාවන් ඉහිලුවේ ඈය. ඉපදුණු දා සිට නිදිවරමින්, දුක් උහුලමින් අප ඇතිදැඩි කළේ ඈය. ඉතින් අපිට ඈට සම කළ හැකි අයෙක් වේද? අප වෙනුවෙන් වන ඇගේ සෙනෙහසට අංශු මාත්‍රයකින් හෝ සම කළ හැකි අයෙක් නැත.

දරුවන්ට සැබෑ ලෙසින්ම සෙනෙහස පුදන මව්වරුන්ගේ ගුණ වයන්නට එක් දිනක් මදිය. දවස් 365ත් මදිය. එපමණක් නොව අපේ ජීවිත කාලයත් මදිය. උත්තරීතර මවුවත් ගුණයෙන් නොසැළෙන ඕ මහාමේරු පර්වතය මෙන් තම දරුවන් වෙනුවෙන් නොසැළී දුක් දරයි. වේදනාවන් උහුලයි. සෙනෙහස පුදයි. ඉතින් අපි එක් දිනක කෙලෙස මවකගේ ගුණකඳ අගයමින් ඈට ගරුබුහුමන් පුදන්නෙමුද?

මවකගේ සෙනෙහසේ විස්මය නොහඳුනන, මවු ගුණය නොහඳුනන කාර්යබහුල දරුවන් වෙනුවෙන් මව්වරුන්ගේ දිනයක් බිහිවී ඇතිබවක් හැඟෙන්නේ මේ නිසාමය. ආදරණීය අම්මාගේ සෙනෙහසේ සුවඳ හඳුනන දරුවන් හැමදාමත් තම මවට ගරු කරයි. ආදරය පුදයි. ඈ වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් ඉටුකරයි.

 

රන් බිජුවක් සුරකින්නා සේ ඈ දරුගැබ රකින්නීය. දෝතට ගත් සිඟිත්තා වැඩුණු මිනිසකු කරන්නට වසර ගණනාවක් අපමණ දුක් විඳින්නීය. ඒ කාලය පුරාවට ඈ අන්නතව නිදි වරන්නට ඇත. කුස ගින්නේ හිඳින්නට ඇත. කාෂ්ඨක අව්වේ වේළිවේළී ඉන්නට ඇත. සුළිකුණාටු සහිත වැස්සේ තෙමෙන්නට ඇත. දෑතේ කරගැට නැගෙන තුරා බැලමෙහෙවරකම් කරන්නට ඇත. අහස පොළොව නුහුළන නින්දා අපහාස විඳින්නට ඇත. ගින්දරට පිච්චිපිච්චී අපට බත සරිකරන්නට ඇත. කාර්‍යාලයක, කම්හලක තම ශ්‍රමය දියකරමින් අප වෙනුවෙන් නැහෙන්නට ඇත. අපේ කුස පුරවන්න, ඉගෙනුමට, පොතපත සපයන්නට, අපේ විලි වසා ඇඳුම් අන්දන්න ඈ ගත් වෙහෙස දන්නේ නම් ඒ ඈම පමණෙකි. ඉතින් කෙසේනම්

ඇගේ සෙනෙහසට අප වෙනුවෙන් දැරූ වේදනාවන්ට කෘතගුණ සලකා නිමකරන්නට අපට හැකිවේද? ඒ සඳහා අපට අපේ ජීවිත කාලයත් මදි වේ.

එසේ නම් අපි ලැබෙන හැම මොහොතකම ඈට සැලකුම් කළ යුතුයි. ලැබෙන ඇසිල්ලකදී පවා අපි ඒ යුතුකම් ඉටුකළ යුතු වෙමු.

වත්මන් ලෝකය දෙස හොඳින් දෑස් යොමුකරන විට අම්මාවරුන්ගේ ද යම් යම් අඩුලුහුඬුකම් දැකිය හැකියි. එහෙත් එය ඇයට නොසලකා හරින්නට තරම් හේතුවක් නොවේ. මාස නවයක් දරුගැබ ඉහිලූ නිසා අප ඇය රැකිය යුතුයි. කුස පුරවා ලෙඩට දුකට බෙහෙත් කර අත පය නොකඩා අප උස්මහත් කළ නිසා අප ඇයට සැලැකිය යුතුයි. ඇගේ කුස පිරවිය යුතුයි. ඇගේ ලෙඩ දුකට බෙහෙත් හේත් කළ යුතුයි. නොසැළෙන සෙනහසක් අපට පිදූ නිසා අප ඇයට සෙනෙහෙවන්ත විය යුතුයි. අසීමිත දයාවකින් ඈ අපි රැකි නිසා ඈ වෙනුවෙන් වූ අපේ දයාවට සීමා මායිම් නොතැබිය යුතුයි. එකතැන මුත්‍රා කරමින් මලපහ කරමින් සිටි අපගේ ඒ සියල්ල අස්පස්කරමින් අපව නාවා පිරිසුදු කළේ ඇයයි. අද අතපය වාරු නැතුව එක්තැන් වී හිඳින්නේ නම් ඇගේ කැතකුණු අස්කර ඈ පිරිසුදු කරන්නට අපේ සිත් තුළ කිසිදු පිළිකුළක් නොතිබිය යුතුය. ඈට කවා පොවා සනසන්නට හැක්කේ ඇගේ දූදරුවන් වූ අපිටයි. හයහතරක් නොදන්නා කිරි දරුවකු දා ඈ අපට පෑ සෙනෙහස අද අපි ඈ වෙනුවෙන් පුදකළ යුතුයි.

අම්මාට තාත්තාට සලකන්න වෙලාවක් නැතැයි හෝ වෙනයම් කරුණක් මුල් කරගෙන හිඳින්නේ නම් ඔබේ ළමා අවදියට යන්න. ඔබ වෙනුවෙන් ඈ කළ දේ සිහිකරන්න. ඇගේ අනන්ත සෙනෙහස සිහිකරන්න. ඒ මතකයන් ඔස්සේ සිත දිව යද්දී දැන් ඔබේ ඒ දරදඬු සිත දියවී යා යුතුයි. දෑස් අගින් කඳුළු පැන නැගී සිත ළතෙත් විය යුතුයි. මවට ඔබ ඕනෑ කල ඔබ නොවේ නම් පුරවාගන්න පව් ප්‍රමාණය සුළු නැත.

'කරන කලට පව් මිහිරිය මී සේ

විඳින කලට දුක් දැඩිවෙයි දැඩි සේ'

ළදරු වියේ දී අම්මා ඔබේ මුහුණට සිනහා ගෙන ආ විලස අද ඔබ අම්මාගේ මුහුණට සිනහවක් ගෙන දෙන්න. එයයි ඔබ අම්මාට කරන උතුම් සත්කාරය. මවට, පියාට සලකන ඔබට කිසිදා වරදින්නේ නැත. උදාවෙන හැම දිනයක්ම ඔබට මව්වරුන්ගේ දිනයකි. එසේ නම් අමුතුවෙන් සමරන්න දිනයක් අවැසි වන්නේ නැත.

 

 

 

 

පාලිකා දිල්රුක්ෂි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.