දෙවැනි එළිසබෙත් මහ රුජිනගේ ප්ලැටිනම් ජුබිලිය

ආදරයෙන් පිර වූ ලුවිස් කුමරුගේ දඟකාරකම්
ජුනි 20, 2022

බ්‍රිතාන්‍ය කිරීටයේ උරුමකරුවන් පෙළකි. නමුදු තවමත් එහි අග්‍රස්ථානය දෙවැනි එළිසබෙත් මහ රුජිනය. වයස අවුරුදු විසිපහේ දී හිරු නොබසින අධිරාජ්‍යයයේ කිරුළ දරන්නට වාසනාව ලද ඇය අද ට කිරුළ හිස දරා වසර 70 කි. එවන් දීර්ඝ කාලයක් කිරුළ හිස දැරූ පළමු බ්‍රිතාන්‍ය රාජකීයයා ඇයයි. දැනට වයස අවුරුදු 96 ක් වුවද හොඳ සෞඛ්‍යය තත්ත්වයෙන්, මනා සිහි නුවණින් දිවි ගෙවන මේ වාසනාවන්ත කාන්තාව සිය දරුවන්ගේ දරුවන් මෙන්ම ඒ මුනුපුරු මිනිබිරියන්ගේ දරුවන්ගේ මුහුණූ දකින්නට ද වාසනාවන්ත වී ඇත.

රැජිනගේ හිස මත කිරුළ දරා හැත්තෑ වසරක් පිරුණු මේ වසරේ ප්ලැටිනම් ජුබිලිය පසුගියදා එංලන්තයේ දී මහත් හරසරින් යුතුව සැමරුණි. එහි විශේෂ උත්සව කිහිපයක් ම පැවැත්වුණු අතර වැඩි දෙනකුගේ සිත සොරාගත්තේ මේ අවස්ථාවට පැමිණි විලියම් කුමරුගේ හා කේට් කුමරියගේ නොහොත් කේම්බ්‍රිජ්හි ආදිපාදි යුවළගේ දරුවන් තිදෙනාය. ඒ අතරිනුත් බාලම පුත් ලුවිස් කුමරු මේ සැමරුම් අතර කාගෙත් කතාබහට ලක් විය. ඒ ඔහුගේ දඟකාර හා සුරතල් ළමා හැසිරීම් නිසාවෙනි. බැල්කනි උත්සවයට පැමිණි මහ රුජිණට ද ලුවිස් කුමරුගේ ක්‍රියාවන් මුහුණ ට සිනහ කැඳවීය. ඈ ආදරණීය මී මිත්තණියක සේ ළදරු කුමරු වෙත පහත් වී කරුණාබර මුහුණින් ඔහු සමඟ කතා කරන්නට විය. ගුවන් යානාවල හඬින් දෙකන් හා ඇස් වසාගත් ලුවිස් කුමරු තවමත් සිව් හැවැරිදිය.

මේ රාජකීය උත්සවයේ අවසන් අවස්ථාවට ද පැමැණි ලුවිස් කුමරුට එක තැන රැඳීමට ඇති නො හැකියාව පෙන්වූයේ සිය සුරතල් හා දඟකාර හැසිරීම්වලිනි. වරෙක ඔහු සිය මවගේ කට වැසුවේය. තවත් විටෙක මවට ඔච්චම් කළේය. මව බදාගෙන සිප ගත්තේය. සිය සහෝදරිය වූ චාලට් කුමරිය දෙසට පය දිගු කළේය. ඇය වැඩිමල් සෝහොයුරියක සේ සිය මලණුවන්ගේ හැසිරීම් නිවැරැදි කරන්නට උත්සාහ කළාය. ඔහු ගේ මේ හැසිරීම් දුටු සිය වැඩිමහල් සොයුරා වූ ජෝර්ජ් කුමරු අතින් කට වසාගෙන සිනාසුණේය. තවත් විටෙක මේ දරුවන් තිදෙනා “පපා” යන ආදර නාමයෙන් අමතන චාල්ස් කුමරු වෙත දිව ගොස් ඔහුගේ ඔඩොක්කුවට නැඟ්ගේය. ඔහුගේ මේ සියලුම ක්‍රියාකාරකම් අනෙත් ළමුන් සේම කුමරු ද සුරතල් දඟකාරයෙක් දැයි ලොවට කියා පෑවේය.

අන්තර්ජාලයෙන්