ගමට සෙත සලසන ගමේ ලඳුන්

ජූලි 4, 2022

 

අභිමානවත් 53 වැනි උපන් දිනය සමරන මේ මොහොතේ තරුණී මුල් පිටුව හැඩ කරන්නේ ද අභිමානවත් කාන්තා චරිත තුනකිනි. විශේෂයෙන්ම ගමට සෙත සලසන, ගමේ ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන, ගමේදී අපට මුණ ගැසෙන අපූරු රාජ්‍ය නිලධාරිනියන් තිදෙනෙකි මේ. ග්‍රාම නිලධාරිනි, සංවර්ධන නිලධාරිනි සහ පවුල් සෞඛ්‍ය නිලධාරිනි ලෙසින් ඔබ හමුවන ඔවුන් තිදෙනා සමඟයි අද අපේ කතාබහ.

 

මව්වරුන්ගේ හා දරුවන්ගේ නීරෝගිබව මගේ සතුටයි

පවුල් සෞඛ්‍ය නිලධාරිනි - රොෂාන්තිකා හර්ෂණී

 

සීදුව MOH කාර්යාලයට අනුයුක්තව 198 - A දඹදුරය සහ උදම්මිට ග්‍රාමසේවක වසම්වල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ලෙසින් කටයුතු කරන ඇය රොෂාන්තිකා හර්ෂණී.

උදම්මිට උපන්ගම වූ හර්ෂණීගේ පාසල වන්නේ කඳාන ශාන්ත සෙබස්තියන් බාලිකාවයි. උදේ සවස පාසලට යන එන මාවතේ දී කඳාන හෙද විදුහලේ ශිෂ්‍ය හෙදියන් නිරන්තරයෙන් නෙත ගැටෙන නිසාමදෝ ඇයගේ එකම සිහිනය වූයේ හෙදියක් වීමයි. නමුත් ඇය උසස් පෙළ හදාරන්නේ වාණිජ්‍ය විෂයයන් වලිනි. හෙදියක් වීමට නම් විද්‍යා විෂයයන් හැදෑරිය යුතු බැවින් ඇය හිත හදාගත්තාය.

නමුදු ඇයගේ දෛවයේ ලියැවී තිබුණේ හෙද සත්කාරය නිසාමදෝ ඕනෑම විෂයයක් කළ උසස් පෙළ සමත් ඉහළ Z අගයක් ඇති දරුවන්ට පවුල් සෞඛ්‍ය සේවාව සඳහා ඉල්ලුම් කිරීමට හැකි විය. එබැවින් ගිලිහී ගිය හෙද සිහිනය වෙනුවට හර්ෂණීට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් වන්නට අවස්ථාව හිමි විණි. එපමණක් නොව ඇය ආසාවෙන් පියනගන්නට බලා සිටි කඳාන හෙද විදුහලෙන් වසර 1 1/2 පුහුණුවක් ලබන්නට ද වාසනාවන්ත වූවාය.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක ලෙස ඇයගේ මුල්ම පත්වීම ලැබෙන්නේ කොළඹ කාසල් රෝහලටයි. අනතුරුව කටාන MOH කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇය දඹදුරය ග්‍රාමසේවා වසමේ කටයුතු සඳහා සම්බන්ධ වන්නේ පසුගිය වසරේදීය.

ගැබිනි මව්වරුන් සේම අලුත උපන් දරුවන් සමඟ කටයුතු කිරීමෙන් ඉහළ ආත්ම තෘප්තියක් හිමිවන බව ඇය පවසන්නේ හදපිරි සතුටිනි. සිය වසමේ ජීවත්වන දරුවන් සහ මව්වරුන් වෙනුවෙන් පෝෂණ වැඩසටහන්, එන්නත් කිරීම්, මව්කිරි වැඩසටහන් ආදිය මෙන්ම කාන්තාවන් වෙනුවෙන් සුවනාරි සායන පැවැත්වීම ඇයගේ රාජකාරි අතර වේ.

නිරන්තරයෙන් වෘත්තීය ජීවිතයේ දැනුම වැඩි දියුණු කර ගනිමින් ඵලදායි සේවාවක් ලබා දීමට බලාපොරොත්තු වන හර්ෂණීගේ එම උත්සාහය ඉතා සාර්ථක වේවායි අපිද සුබ පතමු.

******************

 

ස්වයං පෝෂිත ගමක් ගොඩනගන්නයි මං කැපවෙන්නේ

ග්‍රාම නිලධාරිනි - නිෂාරි අනුරුද්ධිකා

 

කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 198A - දඹදුරය ග්‍රාමසේවක කොට්ඨාශයේ ග්‍රාම නිලධාරිනිය ලෙස කටයුතු කරන ඇය නිෂාරි අනුරුද්ධිකා ද සිල්වා. පසුගිය වසරේ සුපිළිපන් 2021 සම්මානයෙන් පිදුම් ලද ග්‍රාම නිලධාරිනිය වන ඇයට එය හිමිවන්නේ කොරෝනා උවදුර හමුවේ සිය ගමේ ජනතාව වෙනුවෙන් සිදු කළ අනගි මෙහෙවර සඳහාමයි. එනම් කොරෝනා වසංගතය හමුවේ ක්‍රියාත්මක වූ මෙරට රාජ්‍ය සේවකයන් අතරින් මුල්පෙළ දායකත්වය ලබා දීම වෙනුවෙනි.

මීගමුව හරිශ්චන්ද්‍ර විදුහලෙන් අධ්‍යාපනය ලැබූ නිෂාරි උසස් පෙළ විභාගය අවසානයේ පෞද්ගලික ආයතන කිහිපයකම රැකියා සඳහා යොමු වන්නීය. අනතුරුව 2012 වර්ෂයේ පැවැත්වූ ග්‍රාම නිලධාරි තරග විභාගයෙන් සමත්ව ග්‍රාම නිලධාරිනියක ලෙසින් සේවයට එකතු වන්නේ 2015 වසරේදීය. එතැන් සිට මේ දක්වා දඹදුරය වසමේ සුබ සිද්ධිය වෙනුවෙන් ඕ බොහෝ වෙහෙසව කටයුතු කරන්නීය.

සැමවිටම නවීන තාක්ෂණය යහපතට පෙරළාගන්නට උනන්දු වන නිෂාරි තමා සහ ගම අතර නිරන්තර සම්බන්ධයට එය යොදා ගන්නේ හරි අපූරුවටය. එනම් ඇයගේ වසමේ දුරකථන භාවිත කරන සියලුදෙනා ඇතුළත් වන ලෙස වට්ස් ඇප් කණ්ඩායමක් නිර්මාණය කරමිනි. කොරෝනා වසංගතය හමුවේදී මෙය මහත් ප්‍රයෝජනයක් වූ බව පවසන නිෂාරි එමඟින් සෑමදෙනාටම පහසුවෙන් පණිවිඩ ලබාදීමටත් ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගැනීමටත් හැකි බව පවසන්නීය.

ඊට අමතරව ඇය තම වසමේ ක්‍රියාත්මක කරනා බිම්මල්, නිල් කටරොළු, ආහාර විජලන වැනි ව්‍යාපෘති ඔස්සේ සැමටම හොඳ ආදායම් මාර්ග සැකසුණා පමණක් නොව එය ආහාර අහේනිය උදෙසා කදිම විකල්පයකි. ඊට අමතරව ජීවිතයේ සැදෑසමය ගත කරනා වැඩිහිටියන් වෙනුවෙන් ක්‍රියාත්මක වැඩිහිටි සමිතිය සේම සතුටු ගම්මානය සංකල්පය හරහා ද ඇයගේ අපේක්ෂාව ප්‍රීතිමත්, ස්වයංපෝෂිත ජනතාවක් සිටින ගමක් ගොඩ නැගීමයි.

මේ දිනවල නිෂාරි විසින් නායකත්වය ලබා දෙන්නේ ග්‍රාමාභිමානි වැඩසටහනටයි. ශ්‍රී ලංකාවේ පළාත් 08කින් ගම්මාන 100ක ග්‍රාම නිලධාරින් 100ක් සම්බන්ධ වෙමින් සිදු කරන මේ ග්‍රාමාභිමානි වැඩසටහන හරහා මෙරට වැඩි පිරිසකට ඉහළ සේවාවක් සපයන්නට හැකියාව ලැබෙන බව ඇයගේ විශ්වාසයයි.

තමන්ට හිමි රාජකාරියට එහා යමින් රාජ්‍ය සේවකයා නිර්මාණශීලි වන්නේ නම් ගමක් ගොඩ නැඟීම සේම මේ රට ගොඩ ගැනීම අපහසු කරුණක් නොවන බව නිෂාරි සැමවිටම පවසන අතර එය සැබෑ කරගන්නට අවශ්‍ය ධෛර්ය, ශක්තිය උදාවේවායි අපි ප්‍රාර්ථනය කරමු.

 

*************************

ගම්වැසියන්ගේ ආර්ථික ශක්තිය ඉහළ නැංවීම මගේ අරමුණයි

 

සංවර්ධන නිලධාරිනි - ගයාත්‍රි ගුණසේකර

 

කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත 197 - උතුරු උදම්මිට ග්‍රාම සේවා කොට්ඨාශයේ සංවර්ධන නිලධාරිනිය ලෙසින් කටයුතු කරන්නේ ගයාත්‍රි ගුණසේකරයි.

තුඩැල්ල නිමල මරියා කන්‍යාරාමයෙන් සිප් සතර හැදැරූ ගයාත්‍රි සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ ප්‍රසාංගික කලා විශේෂවේදී උපාධිධාරිනියකි. සරසවි අධ්‍යාපනයෙන් පසුව ටික කාලයක් ජාත්‍යන්තර පාසලක නැටුම් ගුරුවරියක ලෙස සේවය කරන ඇය සංවර්ධන නිලධාරිනියක ලෙස පත්වීම් ලබන්නේ 2013 වසරේදීය. සිය පියාගේ අවිහිංසක ආසාව වූ නර්තන ගුරුවරියගේ භූමිකාව පසෙකට කර ඇය මේ සංවර්ධන භූමිකාව බාර ගන්නේ පෙරළුණු පිට හොඳ යැයි සිතමිනි. එමෙන්ම සිය සෞන්දර්යය විෂයය හරහා ලබාගත් විනය, ශික්ෂණය වැනි ප්‍රායෝගික කරුණු ද සංවර්ධන නිලධාරි තනතුර වෙනුවෙන් ප්‍රයෝජනවත් යැයි සතුටින් සිතමිනි.

ඒ අනුව වසර 9ක් පුරාවට උදම්මිට ග්‍රාම සේවා වසමේ සංවර්ධන කාර්යය සඳහා උර දෙන්නට ඇයට හැකියාව ලැබුණි. ගම තුළ පවතින විවිධ සංවර්ධන කටයුතුවලට අමතරව කාන්තාවන් සවිබල ගැන්වීමට හැකි වීමත් ඇය ලද ජයග්‍රහණයකි. සෞභාග්‍යා ව්‍යාපෘතිය යටතේ කාන්තාවන් විසිදෙනකුට මැහුම් උපකරණ ලබා දීමෙන් නොනැවතුණු ඕ ඔවුන් වෙනුවෙන් මැහුම් පාඨමාලා සොයා දැනුම ලබා දුන්නීය. අනතුරුව ඔවුන්ට වෙළෙඳපොළ සොයා දෙමින් එම කටයුතු වඩාත් ඵලදායි කරගන්නට උපකාරි වුවාය. ඊට අමතරව විවිධ පුද්ගලයන්ගේ සහයෝගය මේ ගමේ ජනතාව වෙත ලබා දෙන්නට වෙහෙසෙන ඇය මේ වනවිට ප්‍රජා ශාලාවක් ඉදි කිරීමේ කටයුතු ද ආරම්භ කර තිබේ.

ආදරණීය දියණියකගේ සේම පුතණුවකුගේ මවක් ලෙසින් තම පවුලට ද, යුතුකම්, වගකීම් මැනවින් ඉටු කරමින් රැකියාවේ වැඩ කටයුතු ද සමබරව පවත්වාගෙන යන්නට වෙහෙසෙන ගයාත්‍රිට සිය කටයුතු සාර්ථකව කරගෙන යෑමට හැකි වේවායි අපි සුබපතමු.

 

 

ඡායාරූප - ශාන් රූපස්සර