කාන්තාවන් සවිබල ගැන්වීමට වැඩි ප්‍රමුඛතාවක් දෙනවා

රාජ්‍ය සේවයේ කතුන් අගයමු
සැප්තැම්බර් 5, 2022

 

තර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන

චාමලී ප්‍රියංගිකා

 

රාජ්‍ය සේවයට බැඳීම අතීතයේ දී මහත් වූ ගෞරවයක් විය. අදටත් බොහෝ වැඩිහිටියන්ගේ සිත් තුළ ඇත්තේ තමාගේ දුව හෝ පුතා රාජ්‍ය සේවයට බැඳීමේ අපේක්ෂාවයි. එහි විවිධ වූ අරමුණු පවතී. රැකියා සුරක්ෂිත බව, ගෞරවණීය බව, රටට සේවයක් කිරීම ඒ අරමුණු අතරින් කිහිපයකි. මෙලෙස රටට සෙත සලසන දිවයින පුරා විසිරී හිඳින රාජ්‍ය සේවයේ නිරත කතුන් ඇගයීම අපේ අරමුණය. එවැනි දක්ෂතා සපිරි ඇගැයුම් ලැබූ කාන්තාවක් අද ඔබට හඳුන්වා දෙනවා.

 

ඇය ද රාජ්‍ය සේවිකාවකි. තම රාජකාරිය මැනවින් ඉටු කිරීම නිසාම ඇගැයීම් ලබන වෘත්තීය තෘප්තිමත් භාවයකින් යුතුව තම කාර්යයෙහි නියැළෙන්නියකි. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන චාමලී ප්‍රියංගිකා මහත්මිය අනෙක් රාජ්‍ය සේවකයන්ට ද ආදර්ශ සපයන්නියකි. ඇගේ තොරතුරු පිළිබඳ අපි විමසා බලමු.

 

පියවරෙන් පියවර පැමිණි මේ ගමන ආරම්භ කෙරුණේ කොහොමද?

මගේ අධ්‍යාපනය තමයි මේ ගමනේ මූලිකම පදනම වෙන්නේ. පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඉන්පසුව පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වී වාණිජ අංශයෙන් උසස් පෙළ හැදෑරුවා. 2000 වර්ෂයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන විශේෂ උපාධිය දෙවැනි පන්තියේ සාමාර්ථයක් සහිතව සම්පූර්ණ කළා. ඉන්පසුව මම ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය රුහුණු විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තා.

 

අධ්‍යාපන සුදුසුකම් ලබා ගැනීමෙන් පස්සෙ මුලින්ම ලැබුණු රැකියාව ගැන කැමැත්තක් තිබුණ ද?

මම මුලින්ම මොරටුව සූසල් ආයතනයේ සහ පානදුර FMJ ආයතනයේ ගණකාධිකාරවරියක ලෙස සේවය කළා. ඇත්තටම ඒ රැකියා ගැන තෘප්තිමත් හැඟීමක් තිබුණා. මම ප්‍රායෝගික අත්දැකීම් බොහොමයක් ලබා ගත්තා. ඒ ආයතනවලටත් හොඳින් සේවය කළා.

 

විවාහයත් මේ ගමනේ හැරවුම් ලක්ෂයක් වුණා නේද?

ඇත්තටම ඔව්. මම 2003 වර්ෂයේ දී විවාහ වුණා. ඔහු ලසන්ත ද සිල්වා. ලසන්තගේ ගම වුණේ ගාල්ල අහංගම. ඉතිං මගේ පදිංචිය ගාල්ලට වෙනස් වුණා. 2005 දී මම රාජ්‍ය සේවයට බැඳුණා. ඒ, ගාල්ල ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ මූල්‍ය සහකාරවරියක් විදියටයි. ක්‍රම සම්පාදන සේවයට එක් වෙන්නේ 2013දී. ඉන් පස්සේ සහකාර ක්‍රම සම්පාදන අධ්‍යක්ෂවරිය විදියට රාජකාරි ආරම්භ කළේ තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දීයි.

වසම් 44ක් තියෙන තිස්සමහාරාම කොට්ඨාසයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ජීවනෝපාය සංවර්ධනය ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කළා. ඒ වගේම ඒ ප්‍රදේශයේ තියෙන පුරා විද්‍යා නටබුන් රැක ගනිමින් යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ව්‍යාපෘති රැසක් දියත් කළා.

 

ඉන් පසුව රැකියාවේ වෙනස් වීම් සිදු වුණේ කොහොමද?

2014 දී හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන ලෙස රාජකාරි ආරම්භ කළා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මගේ උපරිම දායකත්වය හා කැපවීම දැක්වූවා.

2018 දී මම මාගම්පුරයෙන් මාතොටට ආවා. 2019 දී නියෝජ්‍ය අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන ලෙස මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජකාරි ඇරැඹුවා.

 

ඔබේ තනතුරට අයත් කාර්යයන් ගැන සඳහනක් කරනවා නම්...

ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවය මෙරට කීර්තිමත් සේවයක්. එහි නිලධාරීන්ගේ ප්‍රමුඛ රාජකාරි වෙන්නේ අමාත්‍යංශ, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් රටේ සංවර්ධන අවශ්‍යතා හඳුනා ගැනීමත් ඒවාට අදාළ සැලසුම් සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම හා පසු විපරම් කිරීමයි. මේ කාර්යයන් වචන, වාක්‍ය කිහිපයකින් කිව්වත් එහි ක්‍රියාපටිපාටිය සුළු එකක් නෙවෙයි. මේ දේවල් හරියට ක්‍රියාත්මක නො වුණොත් එය සමාජ ගැටලු දක්වා දුර දිග යන්න පුළුවන්.

ග්‍රාමීය මට්ටමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය ගැන වැඩි අවධානයක් යොමු කරනවා. මෙහිදී කාන්තාවන් සවිබල ගැන්වීමට දක්වන ප්‍රමුඛතාව වැඩියි. මොකද පවුලක වැඩි ක්‍රියාකාරීත්වයක්, වැඩි බලපෑමක් ඇති කළ හැකි තැනැත්තාත් එම පවුලේ කාන්තාවයි.

 

මේ රැකියාව, ඔබ සමාජයට සලසන සේවය ගැන තෘප්තිමත් ද?

මම මගේ රැකියාවට, මේ තනතුරට ගොඩක් කැමැතියි. මොකද මේ රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා ඍජු දායකත්වයක් ලබා දීමට හැකියාව ලැබෙන නිසා. ඒ වගේම නිර්මාණශීලිව කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය කිරීමට සම්පත් දායිකාවක් ලෙසත් කටයුතු කරනවා. ඒකෙන් මම ලබන්නේ ලොකු සතුටක්. ඒක මගේ දැනුම දියුණු කරගන්නත් මට ලැබෙන හොඳ අවස්ථාවක්.

 

කාන්තාවන්ගේ අධ්‍යාපනය, රාජ්‍ය සේවය ගැන සමාජයේ තිබෙන ආකල්ප ගැන ඔබේ හැඟීම මොකක් ද?

සෑම ගැහැණු දරුවකුට ම හොඳ අධ්‍යාපනයක් අනිවාර්යයෙන් ම ලබා දිය යුතුයි. ඒක වැදගත් වෙන්නේ රැකියාවක් කිරීම සඳහා විතරක්ම නොවෙයි. ඇයට දියණියක්, බිරියක්, මවක් විදියට සිය භූමිකාවන් සාර්ථකව ඉටු කිරීම සඳහා අධ්‍යාපනය අවශ්‍ය වෙනවා. ඒ වගේම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් හැකියාව ලැබෙනවා.

රාජ්‍ය සේවය ගැන සමාජයේ බොහෝ දෙනෙක් තුළ තිබෙන්නේ වැරැදි ආකල්පයක්. රාජ්‍ය සේවය ඵලදායී නැති බව හිතනවා. ඒත් නිර්මාණශීලීව කටයුතු කිරීමට රාජ්‍ය සේවයේ දී ත් පුළුවන්. රටේ සංවර්ධනය වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන බොහෝ පිරිසක් රාජ්‍ය සේවයේ යෙදී සිටිනවා.

ඇය රාජ්‍ය සේවයේ තම රාජකාරිය අකුරට ඉටු කරමින් රටට සේවය කරන්නියකි. ඔබටත් අධ්‍යාපනය පරිපූර්ණ කර ගැනීමෙන් පසුව රටට සේවය කිරීම සඳහා ඵලදායී, නිර්මාණශීලි රාජ්‍ය සේවකයෙක් විය හැකියි.