'කිසිම වෘත්තියකට ගැහැනු පිරිමි භේදයක් නැහැ.'

නිවේදන කලාවෙන් ඔබ හමුවට එන පාරින්ද්‍යා
සැප්තැම්බර් 12, 2022

 

කලා අඹරට පායා එන තරුකැට වගේම මාධ්‍ය ක්ෂේත්‍රයේ දක්ෂතා ​සපිරි සොඳුරු චරිතවල සිත් කියවන්නට ආදරණීය ඔබත් කැමැති ඇති. අද අපි එවැනි තරුණියක් ඔබට හඳුන්වා දෙන්නම්.

 

ඇය මේ දවස්වල දෙරණ නාළිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසින් ඔබේ ආලින්දයට ගොඩවදින පාරින්ද්‍යා සහශ්‍රිකා ගුණසේකරයි.

 

ඉතින් පාරින්ද්‍යා ඔබ ගැන කෙටි විස්තරයක් කියන්නකෝ?

මම පාරින්ද්‍යා. වයස අවුරුදු විසි දෙකයි. මගේ පවුලේ අම්මයි, තාත්තයි, නංගියි ඉන්නෙ. මම කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. මේ වන විට සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ශිෂ්‍යාවක්. ඒ වගේම වෘත්තියෙන් ජනමාධ්‍යවේදිනියක්.

 

ඔබ පාසලේ විවිධ දක්ෂතා දැක්වූ ශිෂ්‍යාවක් කියන්නේ ඇත්ත ද?

ඔව්. කලා කටයුතුවලට වගේම ක්‍රීඩා අංශයෙන් හා මාධ්‍ය අංශයෙන් වගේ විෂය බාහිර ක්‍රියාකාරකම් බොහොමයකට ඉදිරිපත් වුණා. ඒවායෙන් සමස්ත ලංකා ජයග්‍රහණ පවා අත් පත් කර ගත්තා.

 

ඒ ජයග්‍රහණ මොනවාද?

2017 වසරේ අන්තර් පාඨශාලීය සමස්ත ලංකා නිවේදන තරගාවලියේ ෙඡ්‍යෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය. 2018 වසරේ අන්තර් පාඨශාලීය නිවේදන තරගාවලියේ ෙඡ්‍යෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගත්තා. නර්තන අංශයෙනුත් ජයග්‍රහණ කිහිපයක් මට ලබාගන්න පුළුවන් වුණා. ඒ අතර 2017 වසරේ සමස්ත ලංකා නර්තන තරගාවලියේ ඒකල අංශයෙන් තෙවැනි ස්ථානයත් 2018 වසරේ සමස්ත ලංකා නර්තන තරගාවලියේ ෙඡ්‍යෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානයත් දිනාගත්තා. මෙය දේවි බාලිකාවට විශේෂ ජයග්‍රහණයක් වුණා. ඒ වසර 17 කට පසුව අපේ පාසලට එම ජයග්‍රහණය මා ගෙන ඒමයි.

 

නර්තනයට විශේෂ දක්ෂතාවක් තිබේද?

නර්තනයට මගේ උපන් හැකියාවක් තියෙනවා වෙන්න පුළුවන්. මගේ හැකියාව දැන ගත්ත අම්මා මාව අවුරුදු හතර වෙද්දි ෙඡ්‍යෂ්ඨ නර්තනවේදී කුලසිරි බුදවත්ත මහතාගේ කලායතනයට සම්බන්ධ කළා. ඉන්පසුව දෙරණ ලිටිල් ස්ටාර් අටෙන් පහළ තරගාවලියට සහභාගී වන්නට අවස්ථාව ලැබුණා. එහි season 2 තරගාවලියේ අවසන් හතරදෙනා අතරට එන්නට හැකි වුණා. මම උසස් පෙළින් පසුව බුදවත්ත සර්ගෙ නර්තන කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස කටයුතු කළා. එහිදී අවස්ථා ගණනාවක දී ම විදෙස් ප්‍රසංග සඳහා සහභාගි වීමේ විශේෂ අවස්ථාව ද හිමි වුණා.

 

ඔබ මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසුණේ කොහොමද?

පොඩි කාලේ මම මයික් එකක් අරන් ගේ ඉස්සරහ හයියෙන් එනවුන්ස් කරනවලු. නිවේදනයට හිතේ ආසාව තිබ්බා. පාසලේ මාධ්‍ය කණ්ඩායමටත් බැඳුණේ ඒ නිසයි. කොහොමහරි අහඹු ලෙසින් දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 3 තරගාවලියේ නිවේදන කටයුතු කරන්න අවස්ථාව හිමිවුණා. ඉන් පසුව දෙරණ නාලිකාවේ "ටිකිරි පොකුර" වැඩසටහන, පෝයට "අපේ දහම් පාසල", "කවි දැහැන" වගේ වැඩසටහන් නිවේදනයෙන් මෙහෙයවන්නට අවස්ථාව ලැබුණා. දැන් මම දෙරණ නාළිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසින් කටයුතු කරනවා. වෘත්තියෙන් නිවේදන කටයුතු පටන් අරන් දැනට අවුරුදු හතරක් වෙනවා.

 

ගැහැනු ළමයකු මාධ්‍ය වෘත්තීයට පිවිසීම ඔබ දකින්නේ කොහොමද?

කිසිම ක්ෂේත්‍රයකට ගැහැනු පිරිමි භේදයක් විශේෂ වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ හැකියාවත් එහි රඳා පැවැත්මත් විතරයි. මාධ්‍ය ක්ෂේත්‍රය කියන්නේ ලෝකයම පිළිගත් වගකීම් සහගත උසස්ම වෘත්තියක්. සමාජයට මුලින්ම වඩාත් නිවැරැදි තොරතුරක් ලබා දෙන්නේ මාධ්‍යවේදීන්. ඕනෑම තැනක පිළිගැනීම වගේම පළමු තැන මාධ්‍ය ක්ෂේත්‍රයට හිමි වෙනවා. හැමෝටම මේ ක්ෂේත්‍රයට පිවිසීමට නො හැකියි. පිවිසුණත් රැඳී සිටීමට නම් විශාල කැපකිරීමක් කරන්න ඕනේ. ඒ කැපකිරීම හැමෝටම කරන්නත් බැහැ. ඇත්තටම ජනමාධ්‍යවේදිනියක් වීම ගැන මට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්. සතුටක්.

 

ඔබේ අනාගත බලාපොරොත්තුව?

අධ්‍යාපන අංශයෙන් ඉහළටම ගිහින් කථිකාචාර්යවරියක් වන්නට කැමැතියි. ඒ වගේම දක්ෂතා සපිරි ජනමාධ්‍යවේදිනියන් වීමත් මගේ ලොකුම හීනයයි.

 

ඔබට මෙතෙක් ආ ගමනට අත්වැල් සැපවූයේ කවුරුන්ද?

මගේ අම්මා, තාත්තා වගේම දෙරණ නාළිකාවේ විධායක අධ්‍යක්ෂ මාධව මඩවල, ෙඡ්‍යෂ්ඨ ප්‍රවෘත්ති නිවේදිකා වසන්ති නානායක්කාර, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ යුවරාජ් අතුකෝරළ, ප්‍රවීණ ප්‍රවෘත්ති නිවේදිකා දිල්කා සමන්මලී, තරංග කුමාරසිරි මගේ මාධ්‍ය ගමන් මඟට අත්වැල් සැපයූ අයයි. ඔවුන් මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතුමයි.