ශ්‍රී ලාංකේය රස නාමය ලෝකයේම බැබලවීමට ලැබීම අසීමිත සතුටක්

2022 ලෝක සූපවේදී තරගාවළියේ රසයෙන් ලොවක් දිනු අපේ සූපවේදිනිය
දෙසැම්බර් 19, 2022

 

ඈත පෙනෙන මහ සයුරුතෙර අතුරින් නවුකාවක් කෙමෙන් කෙමෙන් වරාය සිප ගනිමින් සිටියි. මගේ එක් පසෙකින් පෙනෙන්නේ ආසියාවේ දැවැන්තම වරාය නගරයයි. ඒ PORT CITY යේ අසිරියයි. තවත් පසෙකින් මැවෙන්නේ ගාලු මුවදොර අද්දර වරායයි. මේ සියලු දර්ශන මගේ නෙත් මානයේ මවන්නේ අපූරුවතම සිතුවමකි.

 

මේ සියලු සිතුවම් මවන පසුතලයක් පෙනෙන සුවිශල් හෝටලයකට අප පිවිසෙන්නේ ලොවක් රසයෙන් මවිත කළ සුපවේදිනියකගේ හමුවීමයි. සැබැවින්ම ඒ හමුවීම සුවිශේෂිතය. ඇය පසුගියදා ලැබූ ජයග්‍රහණය ශ්‍රී ලංකේය නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය තවත් අභියෝගාත්මක ගමනකි. අභියෝග මැදින් ඇය අප පුංචි මව්බිමට රැගෙන ආවේ මිල නොකළ හැකි වූ අමිල සම්මානයකි.

සුපවේදිනි සුදර්ශනි කිරිදිගල....

ඇය කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ Cheif De- partie හි ප්‍රධාන සුපවේදිනියයි. එපමණක් නොවෙයි. පසුගියදා ස්විට්සර්ලන්තයේ ලක්සම්බර්ග්හිදී පැවැති 2022 ලෝක කුසලාන තරගය සඳහා අප පුංචි මව්බිම නියෝජනය කළ එකම කාන්තා නියෝජනයයි.

ඉතිං සුදර්ශනි... කොහොමද අපි මීට පෙර හමුවෙලා තියනවා වාගේ... මට ඔයාව හොඳ හුරු මතකයක් තියෙනවා. ඇය දුටු පමණින්ම මා පැවසුවේ මගේ මතකය වසර ගණනක ඈතට දිව යමිනි.

ඔව්නේ... අපි හම්බවෙලා තියනවානේ... මම මුලින්ම වැඩ කළේ දීපිකා ගුණසේකර මැඩම් ගාවනේ. Hair Drssing කරන කාලේ තරුණී පත්තරේ වැඩවලට කොච්චර හම්බ වෙලා තියනවාද?

 

අපි මුලින්ම කතා කරමුකෝ ඔයාගේ ජයග්‍රහණය ගැන...

පසුගියදා තිබුණු 2022 ලෝක සුපවේදී තරගය මට ලොකු අත්දැකීමක් වුණා. ඇත්තටම මේ තරගය අත්දැකීමක් වගේම ලොකු දැනුමකුත් ලැබුණා. මේ තරගය අපේ රට නියෝජනය කිරීමට මාව තෝරා ගත්තේ chef grell එකෙන්. මාව තරග දෙකකට select වුණා. ඒ දෙකෙන් එකක් තමයි ප්‍රංශ පේෂ්ට්‍රි කාණ්ඩය යටතේ පැවැති තරගයේදී මට Top gold medal එක හම්බ වුණේ. තව තරගයක් තිබුණා. ඒ තරගයේ රිදී පදක්කම දිනා ගත්තා.

 

නමුත් ගිය අවුරුද්දේ Expo culinary තරගාවලිය පැවැත්වුණා. ඒ තරගයෙනුත් මට Top gold එක දිනාගන්න ලැබුණා. ඒ තරගයට සහභාගීවීම නිසා තමයි මට මේ වසරේ ලෝක සුපවේදී තරගයට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණේ. අපේ හෝටලයෙන් ලංකාවෙන් තුන් දෙනෙකුට අනුග්‍රහය දැක්වූවා. ඒ නිසා තමයි මටත් යන්න අවස්ථාව උදා වුණේ. මමයි, chef අල්මේදා, සුජිත් තුන්දෙනා තමයි ඒ තරගයට ගියේ. ඒ දෙන්නා ඉදිරිපත් වුණේ උණුසුම් කෑම තරගයට. මම ඉදිරිපත් වුණේ පේෂ්ට්‍රි අංශයෙන්.

 

මේ තරග සඳහා කාන්තා නියෝජනය කොයි වගේ මට්ටමකද තිබෙන්නේ?

ඇත්තටම සුපවේදී තරගවලට කාන්තා නියෝජනය ලංකාවේ අඩුවක් තියෙනවා. නමුත් ජාත්‍යන්තරයට ගිහාම අපි දකිනවා පේෂ්ට්‍රි අංශයෙන් හොඳ තරගයක් දෙන්න සුපවේදිනියන් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වෙනවා. නමුත් අපේ රටේ මේ ක්ෂේත්‍රයේ රැඳෙන ප්‍රමාණය පිරිමින්ට සාපේක්ෂව අඩුයි.

 

ඔබේ පෞද්ගලික තොරතුරු

මගේ පියා වෘත්තියෙන් විදුහල්පතිවරයෙක්. නම කේ.එම්.ලීලාරත්න. තාත්තාගේ රැකියාව නිසා මට ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉගෙන ගන්න සිද්ධ වුණා. අපේ අම්මා නම් රැකියාවක් කළේ නැහැ. තව මට සහෝදරයෙකුයි, සහෝදරියකුයි ඉන්නවා. ඒ දෙන්නම විදේශ රටවල පදිංචිය. මගේ සැමියා දනුෂ්ක. ඔහු සේවය කරන්නෙත් ෂැන්ග්‍රිලා හම්බන්තොට ශාඛාවේ පරිගණක ක්ෂේත්‍රයේ. මම දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුවෙකුයි පුතෙකුයි ඉන්නේ. අපි හරිම අවිවේකයි. නමුත් වැඩ කොහොම හරි කළමනාකරණය කරගෙන මවක් ලෙස බිරියක් ලෙස ඉටුවිය යුතුකම් මම ඉටු කරනවා.

 

කොහොම ද ඔබ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයෙන් සුපවේදී ක්ෂේත්‍රයට පිවිසෙන්නේ...

 

ඇත්තටම මගේ මුල්ම රැකියාව වුණේ දීපිකා ගුණසේකර මැඩම් ළඟ. ඇයගෙන් මම හුඟක් දේවල් ඉගෙන ගත්තා. කේක් කලාව, අත්කම් කලාවටත් මගේ හරි ආසාවක් තිබුණා. මම ඒ ක්ෂේත්‍රයට යොමු වුණේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියක් කරන කාළේ. මගේ අයියා හෝටල් ක්ෂේත්‍රයේ හිටිය නිසා මමත් මේ පැත්තට යොමු වෙන්න ආසාවක් ඇති වුණා. මුලින්ම හෝටල් course එකක් කළා. නුගේගොඩ ආසියානු හෝටල් පාසලේ තමයි මම හෝටල් පාඨමාලාව කළේ.

 

ඊට පස්සේ තමයි හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේ රැකියාවකට ඉල්ලුම් කළේ. මුලින්ම ලංකාවේ ෂැන්ග්‍රිලා හෝටලයක් ආරම්භ කළේ හම්බන්තොටනේ. එතැනට මාව ගත්තේ chef මාටිනන්. ඊට පස්සේ කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය ආරම්භ කළාට එදා පටන්ම මම කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සේවය කරනවා.

 

කාන්තාවක් ලෙස ඔබ මේ සුපවේදී ක්ෂේත්‍රය දකින්නේ කොයි වගේද ?

ඇත්තටම මේ ක්ෂේත්‍රය කාන්තාවන් අඩුයි නේද?

ඇත්තම... තරමක් අසීරුයි. හෝටල් ක්ෂේත්‍රයේ උදේ, දවල්, රාත්‍රී තුනේම වැඩ කරන්න වෙනවා. දවසේම හිටගෙන ඉන්න වෙන අවස්ථා තියනවා. මගේ දෙවැනි දරුවා ලැබෙන්න ඉන්න කාලේ මම දිගටම වැඩ කළා. එතැනදී අපට අනෙක් අයගෙන් ලැබෙන සහයෝගය තමයි වැදගත්. වැඩ කරන්න ගියාම ගැහැනු පිරිමි භේදයක් නැහැ. පැවරෙන වැඩේ කරන්න ඕනේ. අපිට මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න නම් අවබෝධයෙන්, නිවසේ වැඩ කළමනාකරණය කරගෙන රැකියාව කළොත් අපහසු නැහැ. මේ ක්ෂේත්‍රය අපි මතුපිටින් දකින ලස්සනට වඩා ගැඹුරින් ඉගෙන ගන්න ඕනේ. අලුත් දේවල් නිර්මාණය කරන්න ඕනේ නැත්නම් රැ‍‍ඳෙන්න බැහැ. මට ඒ සඳහා හොඳ අවස්ථාවක් ලැබුණා තිබෙනවා. මම දැන් පේෂ්ට්‍රි බේකරි අංශයේ තමයි සේවය කරන්නේ. මට හිතෙන හොඳ නිර්මාණශීලි දෙයක් කරන්න එය හොඳ අවස්ථාවක්. අපිට වෘත්තිය සුදුසුකම් තියනවා නම් නිර්මාණාත්මක හැකියාවක් තියෙනවා නම් මේ සුපවේදී ක්ෂේත්‍රයේ කාන්තාවකට ඉදිරියට යන්න හොඳ අවස්ථාවක් තියෙනවා. අපට මේ වගේ හෝටලයක ලබන අත්දැකීම ජාත්‍යන්තරයට යන්න හොඳ අවස්ථාවක්.

 

ඇය සමඟ කළ අර්ථවත් කතාබහට සමුදෙන මොහොතේ අපට ෂැන්ග්‍රිලා හෝටලයේ ප්‍රධාන සුපවේදී පැක්ට්‍රික්, සුපවේදී සුජිත් සිරිමල් මහතා ද අපට සමුදීමට පැමිණියේ හෝටල් ක්ෂේත්‍රයේ ආගන්තුක සද්කාර ගැන දක්වන උනන්දුව මැනවින් පිළිබිඹු කරමිනි.

 

 

 

ඡායාරූප - ශාන් රූපස්සර