ලෝකයම රස කළ මිලියන 495 ක ආදරය දිනූ අපේ අම්මා

පෙබරවාරි 6, 2023

 

ඕනම දෙයක් හරියට කරොත් හරියනවා

උයන්න ඉගෙන ගත්තේ අහම්බයක් නිසා

අපි මොකක් හරි දෙයක් පටන් ගත්තොත් ඒක හරියට කරන්න ඕනේ. අපි කෑමක් හදනවනම් ඒකේ රස හරියටම විඳලා තියන්න ඕනේ. ඒ රසේ විඳලා නැතුව කොහොමද ඒක හරියට හදන්නේ. ඉතිං මං කෑමක වීඩියෝ එකක් කරන්න කලින් ඒකේ නියම රස හරියටම ලබා ගන්න ඒ කෑම එක කිහිප සැරයක්ම හදනවා.

 

 

ශ්‍රී ලංකාවේ බොහෝ නිර්මාණකරුවන් එක්ව සිදු කරනු ලබන යූ ටියුබ් නාලිකා මේ වන විට ලෝකය පුරා ප්‍රචලිතව පවතී. ඒ අතර ලෝකයම කතාබහ කරන යූ ටියුබ් නාලිකාවක් බවට ape amma මේ වන විට පත්ව ඇත.

එය ප්‍රමාණාත්මකව ගතහොත් විව්ස් මිලියන 495ක්. මේ එම ආදරය ගැන අපේ අම්මා තරුණී සමඟ කතා බහට එක් වූ සොඳුරු මොහොතයි. ඇයි මේ වගේ යු ටියුබ් චැනල් එකක් කරන්න හිතුවේ...

 

විශ්‍රාම ගියාට පස්සේ ප්‍රයෝජනවත් දෙයක් කරන්න ඕනේ කියලා හිතුවා. ලංකාවේ බොහෝ අයගේ ආහාර රටාව සෞඛ්‍යාරක්ෂිත නැහැ. ඒ අය බෝ නොවන රෝගවලින් පීඩා විඳිනවා. ඒ නිසා මම හිතුවා මේකට මම මොකක්ම හරි කරන්න ඕනේ කියලා. ඒ ගැන හිතලයි මම මුලින්ම දියවැඩියාවට, කොලෙස්ටරෝල්, ගැස්ට්‍රයිටිස් වැනි රෝගවලට ගැලපෙන ආහාරවර්ග ගැන කියලා දුන්නේ. ඒ විතරක් නෙවෙයි ඒ රෝග සුවකරගන්න කරන්න ඕනේ දේවලුත් මම කියලා දුන්නා.

අපේ දුවලා පුතාලා කඩ කෑම කන්න හරි ආසයි. ඉතිං මම කඩ කෑම හදන හැටිත් කියලා දුන්නා. දැන් කඩෙන් කාලා පුරුදු වුණ දුවලා පුතාලා ගෙදරදිම කඩ කෑම හදලා මට ෆොටෝ එවනවා. ඉතිං මගේ ව්‍යායාමය සාර්ථකයි. මම මැරෙන්න කළින් මගේ දැනුම අනිත් අයට දෙන්න ඕනේ. ඒකයි මගෙ අරමුණ.

 

මුලින්ම උයන්න ආසාව ඇති වුණේ කොහොම ද?

 

උයන්න පුරුදු වුණේ අහම්බෙන් වුණු සිද්ධියක් නිසා. දවසක් අපේ අම්මා වැටිලා අත කැඩුණා. එතකොට මට වයස අවුරුදු 9යි. ඒ සිදුවීමත් එක්ක අම්මට උයන්න අමාරු වුණා. ඉතිං අම්මා කළේ පුංචි මාව ළඟට අරගෙන හාල් ටික හෝද ගත්තා. පොල් ටික ගාගත්තා. පරිප්පු හදවගත්තා. ඉතිං එයා කියපු විදිහටම කළා. අම්මට මාසයක්ම ඒ විදිහට ඉන්න සිද්ධ වුණා.  ඒ මාසෙම මම ඉව්වා. අවුරුදු 12 වෙද්දි මට හැම කෑමක්ම හදන්න පුළුවන්. තාත්තා නැති වෙද්දි මට අවුරුදු 11යි. පොඩිකාලේ ගමනක් යනකොට තුනපහ බෝතල් හන්ගලා තියලායි යන්නේ. එයා ගියාට පස්සේ මම එක එක කෑම ජාති හදලා ඒවා ඉවර කරයි කියලා.

 

ඒ කියන්නේ අම්මාත් ඔබ වගේම රසට කෑම හදපු කෙනෙක්..

 

අපි පදිංචි වෙලා හිටියේ පිටකොටුව කිට්ටුව. වරාය පේන දුර. ඉතිං අපේ ගෙදර අවට විවිධ ජාතීන් පදිංචි වෙලා හිටියා. සමහර ගෙවල්වල තෝසේ හදනවා. තව ගෙදරක බිරියානි හදනවා තවත් ගෙදරක පිට්ටු හදනවා. අපි පොඩි කාලේ ඉඳන් දැක්කේ ඒ දේවල්. අපේ අම්මත් රසට කෑම උයනවා. ඉතිං අම්මගේ යාළුවො ගෙදර ආවම කතා වෙන්නේ උයන පිහින දේවල්. අම්මට උයන්න විතරක් නෙවෙයි හොඳට මහන්නත් පුළුවන්. එයාට හොඳට එම්බ්‍රොයිඩරි පුළුවන්. එයාට මැලේ යාළුවෝ ටිකක් හිටියා. ඉතිං මැලේ කෑම ජාති හදන හැටි එහෙමත් කතා කරනවා. අම්මා වගේම පොඩි කාලේ ඉදලම මමත් කෑම හදන්න ආසයි.

 

දැන් යූ ටියුබ් චැනල් එකේ තත්ත්වේ කොහොම ද?

 

යු ටියුබ් නාලිකාව ආරම්භ කළේ 2016 දෙසැම්බර් 21 වැනිදා. මම මුලින්ම දැනගෙන හිටියේ නැහැ යූ ටියුබ් වලින් සල්ලි ලැබෙනවා කියලා. ඒක දැනගත්තෙත් මාස 4ක් ගියාට පස්සෙයි. යූ ටියුබ් නාලිකාව පටන් අරන් අවුරුදු 4ක් යද්දි ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබ් කළා. ඊට පස්සේ අවුරුද්දේ තවත් ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබ් කළා. ශ්‍රී ලාංකික තනි පුද්ගල චැනලයකට මුලින්ම ස්බ්ස්ක්‍රයිබර්ස්ලා මිලියනය සහ මිලියන 2 ආවේ අපේ අම්මා චැනලයටයි.

දැන් විව්ස් මිලියන 495ක් ලැබිලා තියෙනවා. සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන 2.7ක් ඉක්මවලා ගිහින් තියෙනවා. මම මේ චැනල් එකේ හැම දෙයක්ම කරන්නේ සිංහලෙන්. ඉංග්‍රීසි භාෂාවෙන් හෝ Audio එකක් රහිතව කලා නම් මීට වඩා ප්‍රමාණයක් මට ලැබෙනවා. නමුත් මම හිතුවේ මම ලබා දෙන දෙය අපේ අයට තේරෙන විදිහට ලබා දෙන්නයි. ඒ වගේම මම වීඩියෝ එකක් කරන්න කළින් අධ්‍යනය කරලයි විඩියෝ එකක් කරන්නේ. පසු කාලයේදී තමයි ape amma vidyalaya කියන චැනල් එක පටන් ගත්තේ. ඒ හරහා මම දරුවන්ටත් දැනුම ලබා දෙනවා. අපේ අම්මා විද්‍යාලය යූටියුබ් චැනලයේ තියෙන පාඩම් අපේ අම්මා විද්‍යාලය ෆේස්බුක් පේජ් එකටත් දානවා. හුඟක් අය හිතනවා මම විඩියෝ කරන්නේ සල්ලි හොයන්න කියලා. මම එහෙම අරමුණක් ඇතුව නෙවෙයි මේක කරන්නේ.

මාස 4ක් ගිහින් සබ්ස්ක්‍රයිබර්ස්ලා පනස්දාහක් ආවට පස්සෙයි මුදල් ලැබෙන එක (monetisation) ඇක්ටිව් කරේ. මේ වෙනකොට මම වීඩියෝ 1696ක් චැනල් එකට දාලා තියෙනවා. දිනපතා එක් වීඩියෝ එකක් අනිවාර්‍යෙන්ම දානවා. ඒ විතරක් නෙවෙයි ස්වයං රැකියා කරන අයට වෙනම වීඩියෝ දානවා. අපේ අම්මා චැනලයට 2017 Youtuber silver award, 2018 Social Media day awarded the "Most Popular channel for Original content", 2020 Youtube Gold Award යන සම්මාන ද හිමි වුණා.

 

චැනලය හරහා ඉවුම් පිහුම්වලට අමතරව කුළුබඩු සහ ඖෂධීය ශාක ගැනත් දැනුම ලබා දෙනවා නේද?

 

ගෙදරදිම කුළුබඩු, තුනපහ හදාගන්න ක්‍රම ගැන, ඖෂදීය ශාක ගැන, ඒවලින් ලැබෙන ප්‍රයෝජන ගැන නිතරම මම මගේ රසිකයින්ට කියලා දෙනවා. කොරියාවේ ඉන්න දරුවෝ එහෙම කියනවා දැන් තනියම කුළුබඩු හදන්න ඉගෙන ගත්ත නිසා අපි රසට කනවා කියලා.

ඒ විතරක් නෙවෙයි විවිධ ක්‍රමවලට උයන හැටිත් කියලා දුන්නා. දර ළිප, මැටි ළිප, කුඩු ළිප, ගඩොල් ළිප (රොකට් ළිප) මේ හැම දැනුමක්ම මගේ රසිකයින්ට ලබා දුන්නා.

 

ඔබේ සාර්ථකත්වයට හේතුව කුමක් ද?

 

අපි මොකක් හරි දෙයක් පටන් ගත්තොත් ඒක හරියට කරන්න ඕනේ. අපි කෑමක් හදනවනම් ඒකේ රස හරියටම විඳලා තියන්න ඕනේ. ඒ රසේ විඳලා නැතුව කොහොමද ඒක හරියට හදන්නේ. ඉතිං මං කෑමක වීඩියෝ එකක් කරන්න කලින් ඒකේ නියම රස හරියටම ලබා ගන්න ඒ කෑම එක කිහිප සැරයක්ම හදනවා. මොකද මට ඕනේ හරිම රසට හදන හැටි කියලා දෙන්නයි. මේක හරිම අමාරු කාලයක්. ඉතිං මගේ විඩියෝ එකක් බලලා කෙනෙක් හදපු කෑම එකක් වැරදුණොත් හරි අපරාධයක්. ඒක හදන්න වියදම් කරපු සල්ලි අපරාදේ. මම එහෙම වෙන්න දෙන්න කැමති නැහැ. ඒකයි මම හරිම විදිහට හදන්නේ. ඒක තමයි මගේ සාර්ථකත්වයේ රහස. ඒ වගේම මම මගේ චැනල් එකේ වෙළෙඳ දැන්වීම් කරන්නේ නැහැ. එක එක නිෂ්පාදන ප්‍රමෝට් කරන්නේ නැහැ.

මම රසකාරක යොදලා කෑම හදන්නේ නැහැ. කුකුළු මස් හැර වෙනස් මස් වර්ග අරගෙන කෑම හදලා නැහැ.  මගේ රසිකයනුත් සේරම උගත් අය. ඉතිං මම හැම දෙයක්ම අවබෝධයකින් කරන්නේ. කට්ටිය මං හදන කෑම උයලා

අපේ අම්මා ෆේස්බුක් පේජ් ඒකට ෆොටෝස් එවනවා.

 

ඔබ විශ්‍රාමික ගුරුවරියක්..

 

මම වයස අවුරුදු 64ක විශ්‍රාමික ගුරුවරියක්. මගේ ගුරු ජීවිතයට වසර 35ක් වෙනවා. මම බොහෝ පාසල් වල දරු දැරියන්ට උගන්වලා තියෙනවා. පොළොන්නරුවේ පාසලක අවුරුදු 5ක් සේවය කළා. ඒ කාලෙදි කුඹුරු කෙටුවා. වගා කළා. කුකුළු ෆාම් එකක් කළා. ඒ වගේම රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ දෙමළ භාෂා ගුරුවරියක් විදිහටත් කටයුතු කළා. මම සොබා දහමත් එක්ක ජීවත් වෙන්න කැමැති කෙනෙක්. අදටත් මම මගේ ගෙවත්තේ වගා කරනවා. පැළ වර්ග හිටවනවා. ඖෂධීය පැළ වර්ග, පළා වර්ග, එළවළු වර්ග ඒ හැම දෙයක්ම තියනවා. කොවිඩ් කාලේ මම ගෙදර නෙල්ලි, බිලිං පලා වර්ග හිටෙව්වා.

විශ්‍රාම දිවියෙන් පස්සේ තමයි මේ චැනල් එක පටන් ගත්තේ. සමහර අය කිව්වා කෑම ගැන පොතක් ලියන්න කියලා. මට තේරුම් ගිය දෙයක් තමයි පොතකින් කැමක් හදන්න බැහැ කියන එක. පොතක කෑමක තිබිය යුතු සියලුම දේ අඩංගු නැහැ. නමුත් විඩියෝ එකකින් එය කරන්න පහසුයි. විඩියෝ එකක් කරනවා කියනෙත් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි.

 

ඉදිරි පරම්පරාවට දෙන්න තියන උපදෙස මොකක් ද?

 

ඉස්සර පොඩි කාලේ අපි සෙල්ලම්බත් ඉව්වා. හැමෝම එකතු වෙලා කරපු වැඩක් ඒක. නමුත් දැන් ඒ දේවල් ගිලිහිලා ගිහින්. මට හිතෙන්නේ පොඩි කාලේ ඉඳන් දැන් ළමයි අතර සමඟියක් නැත්තේ ඒ නිසා කියලා. ඒ සමඟිය අපි අතර ඇතිකර ගන්න ඕනේ.

දැන් මේ රටේ තියෙන්නේ හරිම අසරණ තත්ත්වයක්. ඉතිං දරුවෝ වගකීමෙන් වැඩ කරන්න ඕනේ. යූ ටියුබ් තුළ හොඳ නරක දෙකම තියෙනවා. තෝරා බේරාගෙන කටයුතු කරන්න ඕනේ. යූ ටියුබ් කියන්නේ හොඳ අයට හොඳ දෙයක් වගේම නරක අයට නරක දෙයක්. ඉතිං මේකේ තියන හොඳ පැත්ත ගැන හිතලා දේවල් ලඟා කරගන්න. දේවල් හොයා ගන්න. නොදන්න දේවල් ඉගෙන ගන්න.

 

 

ඡායාරූප - ශාන් රූපස්සර