අම්මා දුන් දැනුම අදටත් වලංගුයි

දීපා එදිරිසිංහ
මාර්තු 6, 2023

 

තම අඩි පාරේ යන දුවක දෙස මවක් බලා සිටිනුයේ ඉතා ඕනෑකමිනි. ඇයට ද අවසන් කාලයේ තම දෝණිය පිළිබඳ එවැනි අනාවැකි පළ කෙරෙන්නට ඇති. විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ මවුවරුන්ගේ අඩිපාරේ යන දියණිවරුන්, පියවරුන්ගේ අඩි පාරේ යන පුතුන් අපට හමුවේ.

 

අද අපේ කථානායිකාව වන ඇය ද මවකගේ අඩි පාරේ යන දියණියකි.

සිංහල සිනමාවේ චිත්‍රපට නිෂ්පාදිකාවන් ඇත්තේ අතළොස්සක් වූ පිරිසකි. සෝමා එදිරිසිංහ නාමය ඒ අතරින් මුල්තැන්හීලා සිටියි.

ඇගේ දියණිය දීපා එදිරිසිංහ ද අද වන චිත්‍රපට නිෂ්පාදන ක්ෂේත්‍රයට අත්පොත් තබා ඇත.

ඊ.ඒ.පී. එදිරිසිංහ නම් වූ ඇගේ පියාගේ මඟ යමින් මව සෝමා එදිරිසිංහ චිත්‍රපට නිෂ්පාදනයට අත ගැසීය. ඒ අනුව ඇය නිෂ්පාදනය කළ චිත්‍රපට ගොන්නට බොක්ස් ඔෆීස් චිත්‍රපට රැසක් ම එක් විය. ඇගේ එකම දියණිය දීපා එදිරිසිංහ චිත්‍රපට නිෂ්පාදනයට අත ගසනුයේ මවගේ අභාවයෙන් පසුවයි.

මේ දිනවල තිරගත වන හෝ ගානා පොකුණ චිත්‍රපටය ඔස්සේ සිනමා ලෝලීන්ගේ හද බැඳ ගත් ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ ‘වෙඩි නොවදින ළමයි‘චිත්‍රපටයේ නිෂ්පාදිකාව වන්නේ ඇයයි. ඇගේ චිත්‍රපට නිෂ්පාදනකරණයේ ආගමනය සිදුවන්නේ ඒ අනුවයි.

*ඔබ චිත්‍රපට නිෂ්පාදනයට අතපොවන්නට සිතූයේ මවගේ අඩි පාරේ යෑමේ අභිලාෂයෙන් ද?

මගේ මවට මගේ පියා හොඳ ආරම්භයක් ලබා දුන්නා. ශක්තිමත් සෙවණැල්ලක් වූවා. ව්‍යාපාරික පවුලක දූ දරුවෝ ලෙස අපි ඒ අන්‍යෝන්‍ය සබැඳියාව හොඳින්ම දුටුවා. අපි පුංචි කාලේ අපේ අම්මා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරණීය මවක්. යුතුකම් නොපිරිහෙළා ඉටු කරන්නියක්. පියාගේ වියෝවත් සමඟින් අපි තරුණ වයසට එද්දී ව්‍යාපාර ජාලය මෙහෙයවීමේ වගකීම මව මත පැටවුණා. ඒ වෙද්දී ඇය තරමක් කාර්යබහුලයි. මගේ මව අතිශය ‘ශක්තිවන්ත‘ දරා ගැනීමේ හැකියාවෙන් අනූන වූ තැනැත්තියක්. ඇය කරන කියන දේ දෙස මම පුංචි කාලේ ඉඳන්ම බලා සිටියේ හරිම ඕනෑකමකින්. මම මගේ අම්මව දකින්නේ සිනමා ‘අඹරේ පුරාවෘත්තයක් ලෙසයි. ඇගේ එකම දියණිය ලෙස තේරෙන කාලේ ඉඳන්ම පුදුමාකාර අභිමානයක් තිබුණා. චිත්‍රපට නිෂ්පාදිකාවකගේ භූමිකාවට ඇය සාධාරණයක් ඉටුකරද්දී අපට ඇය මවකගේ භූමිකාව මැනවින් ඉටු කරන්නියක්. ජනසරණ පදනම කරගෙන යමින් සමාජ සේවිකාවකගේ භූමිකාවටත් මනා ජීවයක් දුන්නා. නිවෙසේ දී ඇය මේ සියලුම භූමිකාවන්ගෙන් ඔබ්බට ගිය මවක්. ආදරණීය මවක්. ඇය අපෙන් වෙන්ව ගොසින් වසර හතක් වෙනවා. මීට වසර 6කට පෙර එනම් 2017 වසරේ අවසානයේ පටන් මම මේ චිත්‍රපටයේ වැඩ කටයුතු සඳහා අතපොවනවා. 2018 වසර අවසන් වනතුරුම පවා චිත්‍රපටයේ විවිධ කර්ත්‍යයන් හි නියැළෙනවා. 2019 පාස්කු ප්‍රහාරය, කෝවිඩ් සමඟ සිනමා කර්මාන්තය එහෙම පිටින්ම බිඳ වැටෙනවා. ඒත් සමඟින් චිත්‍රපට පෝලිමක් හැදෙනවා. 2023 වසරේ තමයි අපිට චිත්‍රපටය තිරගත කරන්න අවස්ථාව ලැබෙන්නේ.

 

*ඔබේ මව ජීවත්ව සිටින කාලයේ ඇය නිෂ්පාදනය කරන චිත්‍රපටවලට ඔබලාගේ ඊ.ඒ.පී.මණ්ඩලයේ චිත්‍රපට සඳහා ප්‍රේක්ෂක ආකර්ෂණය නොඅඩුවාම ලැබෙනවා.

ඇයට හොඳ වාසනා මහිමයක්. තරුගුණයක් තිබුණා කියලා හිතෙනවා. මගේ මව මාධ්‍ය ජාලයක් හිමි ආසියාවේ එකම කාන්තාව. ඔබ කීවාක් මෙන් ඇතැම් චිත්‍රපටවලට එතරම් ආකර්ෂණයක් නොතිබුණු කාලෙත් ඊ.ඒ.පී මණ්ලයේ තිරගත වන චිත්‍රපට වලට මනා ආකර්ෂණයක් ලැබෙනවා.

 

*මවගේ වියෝවත් සමඟින් එහි යම් කඩාවැටීමක් ඇතිබවත් නොකියාම බැහැ.

ඔව් ඇත්තටම අපිත් එය අත් වින්දා. නමුත් ඇගේ දැක්ම ඉදිරියටම ගෙන යන්න මම හැමවිටම උත්සහ කරන්නේ.

ඔබ සොයුරන් තිදෙනෙකුගේ එකමක සොයුරිය

 

මම පවුලේ දෙවැනියා අයියා ජීවක, ඊට පස්සේ මම. ඊළඟට නාලක මල්ලි. බඩපිස්සා අසංක මල්ලි

 

*ඔබේ පළමු සිනමා ආගමනයට මහාචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩුව තෝරාගන්නේ කොහොමද?

ඔහුගේ හෝ ගානා පොකුණ චිත්‍රපටය මම දෙතුන් වතාවක්ම ආසාවෙන් නැරැඹුවා. වරක් මම ඔහුට සුබ පැතුවා. ඒ වෙද්දී මට චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. මෙරටට ගෙන්වන හින්දි, දෙමළ, ඉංග්‍රීසි චිත්‍රපට පවා මම නරඹනවා. චිත්‍රපට නැරැඹීම මගේ විනෝදාශංයක්.

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිටින කාලේ ඔහු වැඩිපුර අධ්‍යාපනයට ඕස්ට්‍රේලියාව බලා පිටත් වෙනවා. ඔහු ලංකාවට පෙරළා පැමිණි පසු චිත්‍රපටයක් නිර්මාණය කරන්න සිතන බව මට පැවසුවා. ඒ අනුව ඔහුගේ ඊළඟ සිනමා නිර්මාණය සමඟ අත්වැල් බැඳගන්න මට ආරාධනා කළා. ඒ කාලේ මගේ මව ජීවතුන් අතර හිටියා. ඔය අතරේ මගේ මව මිය ගියා. ඉන්දික අධ්‍යයන කටයුතු නිමකර ලංකාවට ආවා. මමත් හිතුවා චිත්‍රපටයකට අතපොවලා බලන්න ඕන කියලා. මම කලා නිර්මාණවලට කලාකරුවන්ට ආදරය කළ කෙනෙක්. කලාකරුවන් තුළ ඇති නිසඟ කුසලතා නිසාම ඔවුන් හරිම සෞන්දර්යවාදියි.

 

*මේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සඳහා ඔබට හවුල්කරුවෙක් සිටිනවා.

චිත්‍රපටයේ වැඩ කටයුතු කරගෙන යද්දී මුල්‍යමය ගැටලුවක් පැන නැඟුණා. මගේ ජපානයේ ඉන්න හිතවතෙක් වන යොහාන් බණ්ඩාර ඒ සඳහා උදව් කළා. ඉතිරි වැඩ ටික කරගන්න. මගේ සැමියා ශ්‍රීනාත් එදිරිසිංහත් නිෂ්පාදන කටයුතු සඳහා දායක වෙනවා. ඔහු තවමත් මට සහය වෙනවා මේ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා. පවතින ආර්ථික අර්බුදයත් සමඟ ඇස්තමේන්තුගත මුදල අබිබවා යන්න සිදු වුණා.

*කොහොමද ප්‍රතිචාර

හොඳ ප්‍රතිචාර තිබෙනවා. මිනිස්සු අතරට චිත්‍රපටය ගියාට හැමෝම ඒ ගැන කතා කළාට තවම මිනිසුන්ට එය නරඹන්න සිනමාශාලා සඳහා යන්න වෙලාවක් ලැබී නැහැ. චිත්‍රපටය ප්‍රේක්ෂකයාගේ සිතට කාවැදුණොත් ඉදිරියේදී හොඳ ප්‍රතිචාර තියේවි කියන විශ්වාසය තියෙනවා. සිනමාශාලා 56ක පමණ චිත්‍රපටය එළි දක්වා තිබෙනවා. මේ චිත්‍රපටයේ ලස්සන සිංදු 3ක් තියෙනවා. කොළඹ සිට අනුරාධපුරයට යන බස් එකක ගමන ආරම්භයේ සිට අතරමැද දක්වා සමාජයේ වෙසෙන විවිධ පුද්ගලයන්ගේ සිතුම් පැතුම්, ඔවුන්ගේ ජීවිතය ගලාගෙන යන අයුරු පවා අපුරුවට විදහා දැක්වෙනවා.

 

*චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙසින් හා හා පුරා කියා දොරට වඩින ඔබේ පෞද්ගලික විස්තර ටිකක් දැන ගන්න කැමැතියි.

මම ඉන්නේ බොරැල්ලේ. දරුවෝ හතර දෙනෙක්ගේ අම්මා කෙනෙක්. දුලා දෙන්නෙක් සහ පුතාලා දෙන්නෙක් ඉන්නවා. එක් දුවෙක් විතරයි මා සමඟ ඉන්නේ. අනෙක් අය විදෙස් ගත වෙලා ඉන්නේ. බාල පුතාත් ළඟදීම ලංකාවේ පදිංචියට එන්න හිතනවා. මම ඒ අයට කියලා තියෙන්නේ මේ ඔයාලගේ රට. මෙහේ තියෙන පිළිගැනීමට සරිලන දෙයක් කරන්න කියලා හැමවිටම. රටේ දියුණුවට යමක් කළ හැකි නම් ඒ දේ කරන්න කියලයි ඔවුන්ට උපදෙස් දෙන්නේ. හතරදෙනාම තවම අවිවාහකයි. මගේ සැමියා ව්‍යාපාරිකයෙක්.

ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය මම අධ්‍යාපනය හැදැරූ පාසල. කතෝලික පාසලක් වුවත් හැම ආගමක්ම එකක් කියන ආදර්ශය දෙමින් හොඳ මඟ පෙන්වීමක් ලැබෙනවා. මම බෞද්ධයකු වුවත් මාගේ හොඳම මිතුරිය අදටත් මුස්ලිම් තැනැත්තියක්.

මම කාගෙන්වත් උදව් ඉල්ලගෙන යන්නේ නැහැ. පුළුවන් දේ කරනවා. බැරි දේ අතහරිනවා. කාන්තාවකට මේ ගමන කටුක ගමනක් ලෙසයි යන්න වෙලා තියෙන්නේ. මම කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් ලෙස දේශපාලනය භූමිකාවකුත් කරගෙන යනවා.